නටන කෙනෙක් මහත් වුණොත් බලන් ඉන්න කෙනාගෙ ඇහැට අමාරුයි
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගෙ ක්ෂීර සාගරය චිත්‍රපටයේ ඇතුළත් නර්තන අංග සඳහා පෙනී සිටින්නේ කපිල පලිහවඩන ප්‍රවීනයාගේ ‘නටන්ඩා’ නර්තන කණ්ඩායමේ කළණි, සචිත්‍රා විජේබණ්ඩාරය. මේ නර්තනය ගැන හැමෝම කතා කරන මොහොතක ‘නටන්ඩා’ ඩාන්ස් තියටර් කණ්ඩායමේ කලණි ඔබට මුණගැස්වීමටයි මේ සූදානම. ක්ෂීර සාගරය නර්තනයෙන් කැළඹූ ඇය කවුද? කියා අපි බලමු.
කළණි, ඔබ ගැන හැඳින්වීමක් කරමු මුලින්ම?
මම කළණි විජේබණ්ඩාර. ක්ෂීර සාගරයේ මගේ චරිතයේ නම භරණි. වෘත්තියෙන් මම නර්තන ශිල්පිනියක්. වසර විස්සක් තිස්සේ කපිල පලිහවඩන සර්ගේ නටන්ඩා ඩාන්ස් තියටර් ආයතනයේ වැඩ කරනවා. වෘත්තියක් විදියට කරන්නෙ කොන්ටෙම්පරරි (Contemporary) ඩාන්ස් කලාවයි.
මොකක්ද මේ කොන්ටෙම්පරරි ඩාන්ස් (Contemporary) කියන්නෙ?
සමකාලීන නර්තනය කිව්වොත් හරි.
අනෙකුත් නැටුම් සම්ප්‍රදායයන්ට අනුව මේ සමකාලීන නර්තනය වෙනස් වෙන්නෙ කොහොමද?
අපට බොහෝවිට දකින්න ලැබෙන්නෙ සම්ප්‍රදායික අංශයේ නර්තන නිර්මාණ. සමකාලීන නර්තනය ගත්තොත්, අපි කරන්නෙ යම්කිසි තේමාවක් අරගෙන ඊට අදාළව නර්තන අංග පෙළගැස්වීමයි. සමකාලීන නර්තනයේදී, සම්ප්‍රදායික නර්තන රටාවලදී මෙන් සීමා නැහැ. නිදහසක් තියෙනවා. ඒ අනුව ඒ තේමාවට අනුව සිරුර සහ මුහුණ උපයෝගී කරගෙන අපට ප්‍රකාශ ඉදිරිපත් කරන්න පුළුවනි.
මේ සමකාලීන නර්තන රිද්මය තියෙන්නෙ ‘නටන්ඩා’ කණ්ඩායමේ විතරද?
නටන්ඩා තමයි, ලංකාවේ පළවැනි ආයතනය. අපි මේ ආයතනය පටන්ගෙන අවුරුදු විස්සක් වෙනවා. කපිල පලිහවඩන සර් ජාත්‍යන්තරව බොහෝ වැඩ කර අත්දැකීම් ලැබූ කෙනෙක්. ඒ සියල්ල සමඟ ඔහුගේ අත්දැකීම් සියල්ලත් මුසු කරමින් ‘නටන්ඩා’ ආයතනය මෙරට ස්ථාපිත කළ බව කියන්න පුළුවනි.
නටන්ඩා කණ්ඩායම ෆිල්ම් එකක මේ විදියට නර්තනයකට එක්වුණේ පළමු වරටද?
මේ අවස්ථාව නටන්ඩා සහ මට ලැබුණු පළමු අවස්ථාව ලෙස හඳුන්වන්න පුළුවනි. මහාචාර්ය සුනිල් සර් එක්ක ඒ අවස්ථාව ලැබීම ඇත්තටම ගෞරවයක්. මියුසික් ට්‍රැක්ස්වලට අපි අපේ නර්තන අංග නිර්මාණය කළා.
මිනිස්සු විශේෂයෙන් ෆිල්ම් එකේ මේ නර්තන ගැන කතා කරන්නෙ ඇයි?
ලංකාවේ මේ වගේ රිද්මයක් ෆිල්ම් එකක දැක්කෙ පළමු වරට කියලා තමයි ප්‍රේක්ෂකයින් කියන්නෙ. අපට අවශ්‍ය වුනෙත් ඒ වගේ දෙයක් කරන්න තමයි. අවුරුදු විස්සක් අපි ඩාන්ස් කළාට, අපි වටා හිටියෙ ජාත්‍යන්තර ප්‍රේක්ෂකාගාරයක්. ඒත් මේ වගේ ෆිල්ම් එකක් නරඹද්දි හැදෙන ප්‍රේක්ෂකාගාරය වෙනස්. මේ චිත්‍රපටයේ සුළු අවස්ථා කීපයකදී පමණක් නර්තනය ඉදිරිපත් වුනත් කවුද මේ කියන කුතුහලයෙන් ප්‍රේක්ෂකයින් ඒ දෙස බලන බව කියන්න පුළුවනි.
විවිධ නර්තන ප්‍රසංග අපට දකින්න ලැබෙනවනෙ. ඒත් මේ අංශයේ ප්‍රසංග නැත්තෙ ඇයි?
සෑම වසරකදීම අපි ප්‍රඩක්ෂන් එකක් කරනවා. ඒත් අපේ ප්‍රේක්ෂකාගාරය වෙනස්. ඒක කරන්නෙ අවුරුද්දක් විතර මහන්සිවෙලා, අපේම ස්ටයිල් එකකට. ලංකාවේ ඩාන්සින් කියන දේ දකින විදිය තවම වෙනස්. ඒකයි ඔබ කියන විදියට ප්‍රසංග නැත්තෙ.
ලංකාවේ නැටුම ප්‍රේක්ෂකයින් හිතාගෙන ඉන්නෙ මොන විදියටද?
මිනිස්සු බොහෝ වෙලාවට දකින්නෙ මියුසිකල් ෂෝවලදී සිංදුවලට එහෙම නටන විදියයි. ඊට එහා ගැඹුරින් හිතන්න අයිඩියා එකක් නැතුව ඇති. අපි කරන්නෙ ගැඹුරින් ඒ නර්තනය විඳින ප්‍රේක්ෂකාගාරයකට අපේ නිර්මාණ නැරඹීමට සැළැස්වීමයි. හැබැයි අද වන විට විවිධ අංශයේ ඩාන්සින් ෂෝ දක්නට ලැබෙනවා. ඒවාත් බොලිවුඩ් සහ සිංදු වලට අනුව කරන ඒවා.
නැටුමට ලංකාවේ හොඳ වටිනාකමක් තියෙනවද?
අපි ගැන කතා කළොත් අපට සිටින ප්‍රේක්ෂකාගාරය වෙනස්. මොකද මේක තේරුම් ගන්නත් රසයක් තියෙන්නත් ඕනෑ.
ෆිල්ම් එකට මේ අවස්ථාව ලැබුණු විදිය ගැන කිව්වොත්?
මම කිව්වනෙ අපි වසරකට සැරයක් ප්‍රඩක්ෂන් එකක් කරනවා කියලා. ඒ විදියට කළ ෂෝ එකක් නරඹන්න ජැක්සන් ඇන්තනි සර් ආවා. 2014 දී. ඊට පස්සෙ කාලයක ජැක්සන් සර් තමයි මේ ෆිල්ම් එකට අපිව සම්බන්ධ කරවන්න යෝජනා කරලා තියෙන්නෙ. සුනිල් සර් සහ ජැක්සන් සර් දවසක් අපේ ස්ටුඩියෝ එකට ඇවිත්, අපේ නිර්මාණයක් කරන විදිය බලාගෙන හිටියා. ඊට පසුව තමයි, භරණිගෙ චරිතයට මාව තෝරාගත්තෙ. අමතරව අනෙක් පිරිසට තෝරා ගන්නෙත් අපේ කණ්ඩායමේ සාමාජිකයින්.
කළණිගෙ, ගම?
මගේ ගම කැලණිය.
ඉගෙන ගත්තෙ?
සපුගස්කන්ද විශාඛා බාලිකා විද්‍යාලයේ. කපිල සර් තමයි මගේ නර්තන හැකියාව හඳුනාගත්තෙ. අපේ පාසලට ඇවිත් බැලේ නර්තනය ගැන අපට ඉගැන්නුවා. පසුව සර්ගෙ බාහිර පංතිවලටත් ගිහින් මට මේ නර්තනය ප්‍රගුණ කරන්න අවස්ථාව ලැබුණා. පාසලේදී මම වැඩිපුර කළේ ක්‍රීඩා. උසස්පෙළ ඉවර වුනාට පස්සෙ මම තෝරාගත්තෙ නර්තනය.
පවුලේ විස්තර එහෙම?
අම්මයි, තාත්තයි, අක්කලා දෙන්නයි මමයි. අම්මා නැතිවුණේ මම පාසල් යන කාලයේදීමයි. එදා ඉඳලා තාත්තා තමයි මගේ හැකියාව වර්ධනය කරගන්න උපරිම සහයෝගය ලබාදුන්නෙ. අවුරුදු විස්සක් එකම නර්තන කණ්ඩායමක සිටීමම මම දකින්නෙ සාර්ථක ගමනක් කියලයි. තාත්තාගෙ උදවු වලින් පස්සෙ දැන් මට ලොකු සපෝට් එකක් දෙන්නෙ මගේ සැමියා. තාත්තා වගේම නිදහස ආරක්ෂාව මට ලබාදීලා මට උදවු කරනවා.
කොහොමද විවාහ ජීවිතය?
ලංකාවේ විවාහ ජීවිතය කිව්වාම බලන්නෙම වැරදි විදියට. බැන්ඳට පස්සෙ වෙනස් වෙනවාය කියන එක. ඒත් මට නම් විවාහ ජීවිතය කියන්නෙ ඉතාම සුන්දර දෙයක්. සමාජයක් සහ විවිධ මිනිස්සු එක්ක ලබන අත්දැකීම් සහ අදහස් එක්ක ගත්තාම අපට විවාහ ජීවිතය හොඳින් තේරුම්ගන්න පුළුවන්. ඉතින් මට නම් විවාහ ජීවිතය අරුත්බර සුන්දර දෙයක්. නර්තනය හා විවාහ ජීවිතය යන දෙකම මගේ ජීවිතයෙ උඩින්ම තියෙන බව කියන්න පුළුවනි. ඒ දෙකටම ඒ විදියට කැප කිරීම මම කරනවා.
විවාහයෙන් පස්සෙ කාන්තාවක් අවුට්ඔෆ් ෂේප් වෙනව කියනවනෙ. ඉතින් නටන්න නම් ස්ලිම් වෙන්නම ඕනෑද? සිරුර කෙට්ටු වෙන්නම ඕනෑද?
එහෙම කියලා දෙයක් නැහැ. ඒත් කෙනෙක් ඩාන්ස් කරද්දි, එයා මහතට පෙනෙනවා නම්, ඒක බලන කෙනාට ඇහැට අමාරුයි. මගේ අදහස නම්, අපි සිරුර හොඳ රිද්මයකින් පවත්වාගෙන යාම වඩා සුදුසුයි. අපේ නටන්ඩා කණ්ඩායම ඒ වෙනුවෙන් හරියට මහන්සි වෙනවා. මම දිනපතා එක්සයිසස් කරන කෙනෙක්. වැඩිපුර කරන්නෙ යෝග ව්‍යායාම්. ඩාන්සර් කෙනෙකුට ඇඟ ලස්සනට තියෙන්න ඕනෑය කියලා පුද්ගලිකව මම හිතනවා.
සඳුන් ගමගේ