’’ද නිවුස්පේපර්’’ ඉන්දියානු උප මහද්වීපයේ හොඳම චිත්‍රපටයට නිර්දේශ වේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඉන්දියානු චිත්‍රපට සේම, ඉන්දියානු උප මහද්වීපයේ සෙසු රටවලට අයත් චිත්‍රපටද ඇගයීමේ අරමුණින් වාර්ෂිකව ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ඉන්දියානු මෙල්බර්න් සිනමා උළෙලේ (Indian Film Festival of Melbourne) 13 වෙනි අදියර අද (අගෝස්තු 12) මෙල්බර්න් නුවරදී ආරම්භ විය. එහිදී උළෙල නියෝජනය කිරීමට තෝරා ගත් දකුණු ආසියානු කලාපීය රටවල චිත්‍රපට අතුරින් "හොඳම ඉන්දියානු උප මහාද්වීපික චිත්‍රපටය" උදෙසා වූ සම්මානය වෙනුවෙන් නිර්දේශ ලැබීමට සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර සමව අධ්‍යක්ෂණය කළ "ද නිවුස්පේපර්" චිත්‍රපටය සමත්ව ඇත. 

2010 වසරේ සමාරම්භය සනිටුහන් කළ ඉන්දියානු මෙල්බර්න් සිනමා උළෙලේ 13 වෙනි අදියරට "ද නිවුස්පේපර්" සමග චත්‍ර වීරමන්ගේ "ආයු" චිත්‍රපටයද සුදුසුකම් ලබා තිබීම විශේෂත්වයකි. 

එසේම මීට පෙර 2012 දී "ඉගිල්ලෙන මාළුවෝ",  2013 දී "ඉනි අවන්" , 2014 දී 'තණ්හා රතී රඟා", "මයිල්ස් ඔෆ් අ ඩ්‍රීම්" හා "බෝම්බ සහ රෝස", 2017 දී "දිසදි පත්", 2018 දී "තුන් දෙනෙක්" යන ශ්‍රී ලාංකේය දීර්ඝ චිත්‍රපට උළෙලේ තිරගතව ඇත. එනමුදු උළෙලේ පිරිනමන සම්මානයක් වෙනුවෙන් ශ්‍රී ලාංකේය චිත්‍රපටයක් නිර්දේශ වූ පළමු අවස්ථාව සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර කුළුදුලේ අධ්‍යක්ෂණය කළ "ද නිවුස්පේපර්" හරහා සනිටුහන් වීම කැපී පෙනේ. 

පසුගිය දෙවසර තුළ, ජාත්‍යන්තරව පිළිගත් සිනමා උළෙල නියෝජනය කළ දකුණු ආසියානු කලාපයේ විශිෂ්ටතම චිත්‍රපට 05 ක් ජූරිය විසින් උළෙලේ "හොඳම ඉන්දියානු උප මහාද්වීපික චිත්‍රපටය" සඳහා නිර්දේශ කොට ඇති අතර, ඒ අතරට "The newspaper" චිත්‍රපටයද ඇතුළත් ව තිබීම, එම චිත්‍රපටය ලද ජයග්‍රහණයකි.  

ඒ අනුව 

  • 2022 ඔස්කාර් සිනමා සම්මාන උළෙලේදී "හොඳම අන්තර්ජාතික නැතහොත් හොඳම විදෙස් භාෂිත චිත්‍රපටය" ලෙසින් නිර්දේශ වූ භූතානයේ "Lunana: A Yak in the Classroom" චිත්‍රපටය, 
  • ලෝ ප්‍රකට කාන් සිනමා උළෙලේදී සම්මාන ද්විත්වයකින් පිදුම ලද පකිස්ථානයේ 'Joyland" චිත්‍රපටය,
  • ලොව ප්‍රමුඛතම ඔස්කාර්-කාන්-ලන්ඩන් උළෙලවල නිළ තෝරාගැනීමක් වූ බංගලාදේශයේ 'Rehana Maryam Noor" චිත්‍රපටය,
  • ආසියාවේ සුවිසල්ම සිනමා උළෙල වන දකුණු කොරියාවේ බූසාන් අන්තර්ජාතික සිනමා උළෙලේදී "කිම් ජිසෙයිඕක්" සම්මානය සඳහා නිර්දේශ වූ බංගලාදේශ- ඉන්දියා සම නිෂ්පාදනයක් වූ No Land's Man" චිත්‍රපටය, 
  • ෆිඇප්ෆ් අනුමත ඉන්දියාවේ බෙංගලූරු සිනමා උළෙලේ හොඳම දෙවෙනි ආසියාතික සිනමාපටයට හිමි සම්මානයෙන් පිදුම් ලද ශ්‍රී ලංකාවේ "ද නිවුස්පේපර්" චිත්‍රපටය,

උළෙලේ පිරිනමන ඉහත කී "ඉන්දියානු උප මහාද්වීපික හොඳම චිත්‍රපටය"  සම්මානය වෙනුවෙන් තරග වදී. මෙහිදී  ඔස්කාර් හා බැෆ්ටා සම්මාන සඳහා නිර්දේශ වූ  සංස්කරණ ශිල්පී ජිල් බිල්කොක්ද ඇතුළත් වූ ජාත්‍යන්තර ජූරියක් විසින් එළෙඹෙන 14 වෙනිදා පැවැත්වෙන සම්මාන ප්‍රදානෝත්සවයේදී ජයග්‍රාගී චිත්‍රපටය ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.   

කරන් ජොහාර්, අභිෂේක් භච්චන්, අනුරාග් කාෂ්‍යප්, අපර්ණා සෙන්, තමන්නා භාටියා, තාප්සේ පන්නු ආදී ඉන්දියානු සිනමාවේ ජනප්‍රිය චරිත බෝහෝමයකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන සිනමා උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවයට, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෙලි හා චිත්‍රපට නිෂ්පාදක අසංක දොඩංතැන්න සහභාගි වීමට නියමිතය. 

අමාත්‍ය බන්දුල ගුණවර්ධන නිෂ්පාදනය කළ "ද නිවුස්පේපර්", මෙල්බර්න් ඉන්දියානු සිනමා  උළෙලට නිර්දේශ කිරීම හා සම්බන්ධීකරණය යූඑල්කේ ෆිල්ම්ස් පුද්ගලික සමාගම විසිනි. 

උදිත ලක්මාල් කහඳවආරච්චි