දස සිල් මාතාවක් වීමේ අරමුණත් තිබුණෙ එදා ඉඳලමයි
2016 ට පෙරදී ඇය කටයුතු කළේ රංගන ශිල්පිනියක ලෙසය. ඒ දක්වා ටෙලි නාට්‍ය 136ක පමණ සහ චිත්‍රපට 10ක පමණ රඟපා ජනප්‍රිය චරිතයක්ව සිටියාය. මුල් කාලයේදී විකාශනය වූ ‘මෙගා නාට්‍ය නිර්මාණ රැල්ලේ, ගෞතම්, වසුදා, කාව්‍යා වැනි නාට්‍යවල රඟපෑ ඇය වඩාත් ජනප්‍රිය වූයේ අමන්දා නාට්‍ය නිසාය. අවසානයට ඇය රඟපෑ නාට්‍යයක් ලෙස විකාශය වූයේ ප්‍රවීණ රංගන ශිල්පී ලකී ඩයස්ගේ සීතල ගිණිදැල්ය. කොළඹ විශාඛාවෙන් අධ්‍යාපනය ලබා යහපත් පවුල් පසුබිමක් තිබූ නීතා සමරනායක, විවාහ දිවියට ඇතුළත්ව දරු දෙදෙනකුගේ මවකද වී සිටියාය. ඒත් ඒ සියල්ල දැන් අතීතයේ සිදුවූ දේ පමණකි. 2021 මැයි 22 ක් පසුව ඇය අපට හමුවන්නේ මහබාගේ ධම්ම සතිමා මෙහෙණින් වහන්සේ නමිනි. මේ හරයාත්මක කතා බහ ලෞකික දිවිය අත්හැර භික්ෂුණී දිවියට සමීපව බුදු දහමේ සැබෑ අරුත සොයා සංසාර ගමනට අවතීර්ණව සිටින භික්ෂුණී ධම්ම සතිමා මෙහෙණින් වහන්සේ සමගය.
මෙහෙණින් වහන්ස, එදා ගිහි ජීවිතයට මොහොතක් ප්‍රවේශ වෙමු? ඒ ගත කළ ජීවිතයේදී අනුගමනය කළ යුතු දේ තිබුණද?
සාමාන්‍ය ගැහැණු කෙනෙකුගේ, මවකගේ, ජීවිතයක් ගත කළේ. ඒ හැර ලොකු විශේෂත්වයකින් ජීවිතය ගත කළේ නැහැ. නිළියක් වෙන්න ආසා කළේ පුංචි කාලයේ ඉඳළමයි. ඒ වගේම දස සිල් මාතාවක් වීමේ අරමුණත් තිබුණෙ එදා ඉඳලමයි. මට දැන් දැනෙන විදියට සංසාර පුරුද්දක් තිබිලා තියෙනවා. මෙහෙණින් වහන්සේ කෙනෙක් වෙනවා කියන එකම. සමහර අය අහන දෙයක් තමයි කොහොමද එතැනට හිත හදා ගත්තෙ කියලා? එතකොට තමයි මට ඒ විදියට තේරෙන්නේ. මොකද ගෙදර සැමියා ළමයි ඔක්කොම අත්හැරලා එක්පාරටම ඒම එක් නිමේෂයකින් වෙන දෙයක් නෙවෙයි. මගේ පුතාටත් පුතෙක් ඉන්නවා. අවුරුද්දක් විතර යන කල් ඒ දරුවා හැදුවෙත් මම. ඉතින් ඒ ඔක්කෝම අත්හැරලා මේ ගමන එන්නට තරම් සංසාර පුරුද්දක් නැතුව බැහැනෙ. දුව ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ. එහිදීම විවාහයක් කර ගත්තා. පුතා විවාහ වුණාට පස්සේ ගෙදරමයි පදිංචි වුණේ. ඉතින් ලේලිය, මුණුපුරා මගේ සැමියා මේ ඔක්කෝම එක්ක ගෙවූ ඒ ජීවිතයට සමුදීලා තමයි මම මේ විදියට මහණ වුණේ.
එදා ඒ විදියට භික්ෂුණී ශාසනයට එක්වීම සිදුවූ විදිය ගැන සටහනක් කළොත්? මොකද එක්වර සිදුවූ දෙයක් නොවෙයිනෙ නේද?
අවුරුදු විසි ගාණක් තිස්සේ ධර්මයේ මම සෙවූ දෙයක් තිබුණා. අප තථාගත බුදුරජාණන් වහන්සේගේ නිර්වාණ අවබෝධය සහ නිවන ගැන දේශනා කරලා තියෙනවනෙ. නමුත් අපේ සමාජයේදී කොතනකදීවත් ඒ ගැන හරියටම කියා දෙන්නෙ නැහැ. චතුරාර්ය සත්‍යය අවබෝධ වුණාම නිවන් දකිනවා කියලා කියනවා. අට ලෝ දහමින් කම්පා නොවී සිටීම නිවන කියලා කියනවා. ඒත් හරියටම ඒකෙ අනුගමනීය මාර්ගය කියා දෙන්නෙ නැහැ. එතකොට මම වසර විසි ගාණක් තිස්සේ ඒ ගැන හෙව්වා, බණ ඇහුවා. ඒත් කාගෙන්වත් මට ඇහුණෙ නැහැ. බුදු හාමුදුරුවෝ නිවන් මගක් ගැන කියලා තියෙනවා. ඒත් කවුරුවත් ඇයි ඒක හරියට පැහැදිලි නොකරන්නෙ? ඒ ප්රශ්නය තමයි මට තිබුණෙ. ක්‍රමයක් කියන්නේ නැහැනේ. විවිධ හාමුදුරුවන්ගේ බණ දේශනා අසමින්, එදා ගිහි දිවිය ගත කරමින් සිටියදී මේ තැන ගැන මට කිව්වෙ මගේ යාළුවෙක්. ත්රිපිකටයේ තියෙන වචන එකිනෙක අපට කවුරුවත් පහදා දෙන්නෙ නැහැනේ. රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය ඇතුළු සූත්‍ර කටපාඩමින් අපි කියවගෙන ගියත් එයින් කියලා තියෙන දේ හරියට කියා දෙන්නෙ නැහැනේ. මෙතැනදී මහා සතිපට්ඨාන සූත්‍රය වචනයෙන් වචනයට අකුරෙන් අකුරට කියලා දුන්නා. එතකොට තමයි මට තේරුම් ගියේ නිවනට යන මග මේ සෑම සූත්රයකම තියෙන වග. ඊට පෙර මේ සූත්‍ර සියල්ල සජ්ජායනා ලෙස ඇසුණත් අරුත පැහැදිලි කරදීලා නැහැ. ඒ ගැන අපේ හාමුදුරුවන්ට දොස් කියන්නත් බැහැ. මොකද කාලයකට පෙරදි පරිවර්ථනය කර ග්‍රන්ථාරූඪ වුණත් වදාරන්නේ මාගදී භාෂාව. හරියට තේරුම් ගත්ත කෙනකුට එය වැටහෙනවා. ඒක සංසාර පුරුද්දට ඇතිවන දෙයක්. ‘චක්කුංච්ච’ කියලා වචනයක් අපි අහලා තියෙනවා. එය අරුත් දක්වන්නෙ ‘ඇස’ කියලයි. නමුත් ‘චාක්කු’ කියන්නෙ ඇසට. ‘චාක්කුං’ කියලා නැවැත්තුවොත් ඇසේ ක්‍රියාවලිය ‘චක්කුංච’ කිව්වොත් ඇසේ සිදුවන ක්‍රියාව අපේ හිතට. අන්න ඒ වගේ සෑම අකුරකම, ඉස්පිල්ලකම, පාපිල්ලකම තේරුමක් තියෙනවා. ඒ සූත්‍ර හරියටම පැහැදිලි කළාම තමයි මට තේරුණේ නිවන් මගට යන මාර්ගය ගැන වැටහීම. මෙහි සිට 2016 දී මුලින්ම බණ අහන්න පටන් ගත්තා. ඉන්පසු දවස් හතේ භාවනා හය හතකට සහභාගි වෙලා ඊට පස්සේ තමයි මීරිගම පරම නිබ්බාන ධර්මායතනයේ සිට මහණ වෙන්න තීරණය කළේ.
මෙම ධර්මායතන ආරාමය පිහිටා තිබෙන විදිය කෙසේද?
විශාල අක්කර ගණනාවක පොල් වත්තක තියෙන්නෙ. කුටි හදා තියෙනවා. ලොකු ධර්ම ශාලාවක් තියෙනවා. කෙළවරට වන්නට මෙහෙණින් වහන්සේලාගේ කුටි තනා තියෙනවා. දැනට 23 නමක් විතර මෙහෙණින් වහන්සේලා වැඩ සිටිනවා.
ඒ ඔක්කොම තරුණ වියේදීම ශාසනයට පැමිණි මෙහෙණින් වහන්සේලාද?
අවුරුද 33ක විතර මෙහෙණින් වහන්සේ නමක් සිටිනවා. වයස අඩුම එයාට. අනිත් අය හතළිස්, පණස් ගණන් වගේ වයස්වල අය. වැඩිම මෙහෙණින් වහන්සේට අවුරුදු 83ක් විතර වෙනවා. ඒ විදියට එක් එක් වයස් සීමාවල.
අපේ මෙහෙණින් වහන්සේ සසුන්ගත වෙලා දැන් කොච්චර කල් වෙනවද?
මේ මැයි 22ට අවුරුදු දෙකයි.
කොහොමද මේ කාලය දැනෙන විදිය?
මහණ වූ කාලයේ පොඩි වෙනස්කම් දැනෙනවා. ඒත් මම ඊට පෙර 2016 සිට බණ අහන්න ආවනෙ. එතැන් සිට තමයි වෙනස් වුණේ. මහණ වීම එක්ක ස්වරූපයෙන් කොණ්ඩය කපා, සිවුරු ඇන්දා. ඒක බාහිරව වෙනස් වුණත් අභ්‍යන්තරය වෙනස් වෙන්න ගත්තෙ 2016 ඉඳළමයි. 2016 න් පස්සේ රඟපාන එක නතර කළා. ගෙදර හිටිය ඒ අවුරුදු පහේදි, ගෙදර සිටිමින් මගේ යුතුකම් වගකීම් ටික කළා. පාටි උත්සව වලින් අයින් වෙවී හිටියෙ. ඒ නිසා ඒ කාලය සහ අද කියලා ලොකු වෙනස්කම් නැහැ. කොහොමටත් වෙනස් වෙලා අත්හැරීම පුරුද්දක් කරගෙන ඉඳලා තමයි චීවරය දරා ගන්න ආවෙ. ඒ කියන්නෙ මගේ මනස වෙනස් වුණේ 2016 ඉඳළමයි.
පාටි, උත්සව, ප්‍රිය සම්භාෂණ එදා අත් හරිද්දි හුදෙකලා බවක් දැනුණේ නැද්ද?
ඒ කිසි දෙයක් බලෙන් අත්හරියෙ නැහැ. මට ඒවා අත්හැරුණා. අත්හැරුණා කියන එකේ තේරුම මට ආයේ ඒවා ඕනැ වෙන්නෙ නැහැ කියන එකනෙ. මේ මග වඩා ගෙන යනකොට ධර්මය ටිකෙන් ටික වටහා ගන්නකොට විටෙක මට හිතන්නෙ සැබෑ මවක් වීම තමයි මේ ලෝකයේ නිවනට තියෙන ලොකුම බාධාව. අම්මා කෙනකුට තමන්ගෙ දරුවන්ව හිතෙන් අයින් කරන එක තමයි අමාරුම දේ. ඒක හරියට ජීවිත්වෙලා සිටියදීම හදවත ඇදලා අරගෙන එළියට දානවා වගේ වැඩක්. මේ මගට ආ අම්මා කෙනෙකුට අතින් දරුවන්ව අතාරින්න පුළුවන්, එයාලට කතා නොකර ඉන්නත් පුළුවන්. මගේ පුතා මා එක්ක අවුරුදු දෙකක් තිස්සේ කතා කරන්නෙ නැහැ. නමුත් මගේ හිතේ ඇතිවෙච්ච උපාදානය ගැලවිලා නැහැ. පුතාගෙ බබා ගැන තියෙන ඒ උපාදානය තවම ගැලවිලා නැහැ. අම්මා කෙනෙකුට නිවන් දකින්න අමාරුයි කියලා මේ මග වඩා ගෙන යනකොට මට තේරෙනවා.
ඒත් ආපසු හැරීමක් නැහැ නේද?
කොහෙත්ම නැහැ. මගේ ඒකායන අරමුණ මේ සංසාරේදීම නිබ්බානගාමී වෙනවා. මේ සංසාර ගමන මෙතැනින් ඉවර කරනවාය යන අරමුණයි. නමුත් න්‍යාම ධර්ම පහක් ක්‍රියාත්මක වෙනවා. ඒවාට අනුව තමයි සියල්ල සිද්ධ වෙන්නෙ. මගේ ජීවිත වැය කිරීම් සංසාර ගණුදෙනු තව කොච්චර තියෙනවද? කියලා මම දන්නෙ නැහැ. ඒ අනුව තමයි මගේ නිවන තීරණය වෙන්නේ. හැබැයි ඒකායන අරමුණු නැවත ඉපදෙන්නෙ නැහැ කියන සිතිවිල්ලයි.
කොයි හැටි වෙතත් මේ විදියට සසුන්ගතව සිටියදී ඒ පරිසරයෙන් පිටව ගිහින් එන්න යන්න නාගරික වූ ලෝකයේ සැරිසරන්න අකැපද? නැත්නම් අකමැතිද?
බුදු දහමේ කොතැනකදීවත් එහෙම තහංචි නැහැ. හරි විදියට බුදුන් වහන්සේගේ ධර්මය අවබෝධ කර ගත්තොත් මේ ලෝකයේ තියෙන කිසිම දෙයක් අත්හරින්න කියලා නැහැ. උන්වහන්සේ වදාරලා තියෙන්නේ උපාදානය කරගන්න එක නවත්වන්න කියලා.
මොකක්ද මේ උපාදානය කියන්නෙ?
හිත ඇතුළෙන් අල්ල ගන්න එක නතර කරන්න. ඔබට ලක්ෂරි මෝටර් රථයක් තියෙන්නෙ කියලා හිතමු? ඒක පෙර පිනකට ඔබට ලැබිලා ඇත්තෙ. අසාධාරණ නොවී ඔබ හම්බ කරගත් සියල්ල පෙර පින් අනුව ඔබට ලැබුණු දේ. ඒවා පරිහරණය කිරීම කිසි ප්‍රශ්නයක් නැහැ. ඒවා ඔබගේ උත්සාහයෙන් යහපත් විදියට උපයාගත් දේ නිසා. නමුත් ඔබ ඒවා මගේ මගේ කියා හිත ඇතුළෙන් අල්ලාගෙන ඉන්නවනනේ. අන්න එතැනයි වැරැද්ද. ඒ නිසා නගරයකට ගියා හෝ සංචාරයකට ගියා හෝ ඒ ගිහින් ඒම හැර ලොබ බැඳ හිතින් අල්ලා ගෙන සිටීම හොඳ නැහැ. එතකොට ආයෙත් මගේ - මම කියන හැඟීම එක්ක අල්ලා ගන්න හදනවා. මගේ යුතුකම කරලා සිටීම තමයි කළ යුත්තෙ. බුදු හාමුදුරුවන් වදාළ පරිදි යුතුකම්, වගකීම් කරන්න. අයිතිවාසිකම්, බලාපොරොත්තු අත්හරින්න යනුවෙනුයි. නමුත් අපි නිතරම ඒකෙ අනෙක් පැත්තනෙ කරන්නෙ. අයිතිවාසිකම් ගොඩාක් බලාපොරොත්තු වීම තමයි කරන්නෙ. යුතුකම් කිරීම, වගකීම අත්හරිනවා. අන්න ඒ දේ වටහා ගැනීම වැදගත්.
සඳුන් ගමගේ