දෙවියෝ මට මේ විදිහේ දඬුවමක් දුන්නේ ඇයි කියලා මං තාමත් කල්පනා කරනවා
ප්‍රේක්ෂකයන්ගේ පමණක් නොව කලා ක්ෂේත්රයේද ආදරබර විනෝදබර චරිතයක් වන පියුමි බොතේජු කාලෙන් කාලෙට රසිකයන්ගේ රසභාවයන් අවදි කරවන චරිත හරහා ප්‍රේක්ෂකාගාරයට ගොඩවෙනවා. මේ දිනවල බොනිකරු තරු, බන්ධනා, අමරබන්දු රූපසිංහ, හාට් කාට් නිර්මාණ කිහිපයකින්ම මුණගැහෙන පියුමි පිළිබඳ පසුගිය දිනවල අසන්නට ලැබුණේ ඉතා කනගාටුදායක ආරංචියක්.
විෂබීජයක් ශරීර ගත වී හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් සමඟ දින ගණනාවක් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබා මේ වනවිට ඇය විවේකී සුවෙන් ඉන්නා මොහොතක පියුමිට ආදරය කරන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඇය සමඟ කතාබහ කරන්න සිතුවා. වෙනදා වගේම සුපුරුදු ආදරණීය ලෙන්ගතුකමෙන් ඇය සඳැල්ල කතාබහට එකතු වුණේ මෙලෙසිනි.
කොහොමද දැන් අසනීප තත්ත්වය?
දරුණු විෂබීජයක් ලේවලට ඇතුල්වෙලා කියලා තමයි වෛද්‍යවරු කිව්වේ. දැන් නම් ගොඩක් දුරට සුවයි. මේ වෙලාවේ වෛද්‍යවරු උපදෙස් දුන්නේ විවේකීව ඉන්න කියලා. සති දෙකක් රූපගත කිරීම් කිසිම දේකට සහභාගි වුණේ නෑ. දවස් 7ක් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබලා ගෙදර ඇවිල්ලා තාම දින කිහිපයයි. වෛද්‍යවරු නම් කියන්නේ තව සතියක් එකහමාරක් විතර විවේක ගන්න කියලා. වෛද්‍යවරු ගෙදර එව්වෙ ඇඳෙන්වත් බහින්න එපා කියලා.
ඒ කියන්නේ අද හෙට පියුමිව නිර්මාණ තුළින් දකින්න ලැබෙන එකක් නැද්ද?
මේ වෙනකොට මම ටෙලි නාට්‍ය හතරක වැඩ කරනවා. මම අසනීපවීමත් එක්ක ඒ හැම කෙනෙක්ම ලොකු අපහසුතාවයකට පත්වුණා. බුද්ධිනි ජයවර්ධනගේ නිර්මාණයක් වන බන්ධනා මේ වෙනකොට මගේ චරිතය ශල්‍යකර්මයකට ගිහින් කියලා වෙනස් කරලා තියෙනවා. ඒ සියලුම නිර්මාණ අධ්‍යක්ෂවරුන්ගෙන් මම සමාව ඉල්ලනවා සිදුවූ අපහසුතාවයන්ට හැමෝම අපහසුතාවයට පත්වුණේ එක ටෙලි නාට්‍යයක් නිසා. මට ලොකුවට මහන්සිවෙලා වැඩ කරන්න බැරිවෙයි. ඒත් පුළුවන් ප්‍රමාණය හරි කරන්න මම උත්සාහ ගන්නවා. ලබන සතිය වෙනකොට නැවත වැඩ පටන් ගන්න හිතාගෙන ඉන්නවා. මගේ වෘත්තිය මේක, ජීවත් වෙන්නේ මේකෙන්. ඉක්මණට සනීප වෙලා වැඩ ටික නැවත පටන් ගන්න පුළුවන් වේවි කියලා මම ප්‍රාර්ථනා කරනවා.
පහුගිය කාලේ කොරෝනා ප්‍රශ්න එක්ක වැඩ නැතුව ඉඳලා වැඩ ටිකක් පටන් ගත්තා විතරයි. දෙවියෝ මට මේ විදිහේ දඬුවමක් දුන්නේ ඇයි කියලා මං තාමත් කල්පනා කරනවා. මම අම්මාව බලාගන්න ඕන කාලේ ඇය මම වෙනුවෙන් වෙහෙසෙන විදිහ දැක්කම හරි දුකයි. මගේ පුංචි මගේ අක්කා මගේ ළඟින් ඉඳගෙන මේ ටිකේම මං වෙනුවෙන් කැප වුණා. මාව ආදරයෙන් බලාගත්තා.
ඇත්තටම පියුමිට කොහොමද අසනීප තත්ත්වය ඇති වෙන්නේ?
මම අසනීප වෙනකොට වැඩ කර කර හිටියේ අමරබන්ධු රූපසිංහ කියලා සිරසේ නාට්‍යයක. ඒක ස්ටුඩියෝ එකක කරන නාට්‍යයක්. මම අසනීප වුණු වෙලාවේ සිරස ආයතනයේ අය තමයි මාව වෛද්‍යවරු ළඟට එක්ක ගිහින් අවශ්‍ය බෙහෙත් ගෙනත් දීලා මාව ගෙදර එක්ක ආවේ. මනුස්සකම අතින් රත්තරන් මිනිස්සු ටිකක් එදා මම සිරස ආයතනය තුළ දැක්කා.
හැබැයි මම අසනීප වෙන්න මූලික හේතුව වුණේ වෙනත් නාට්‍යයක්. ඒ ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් තිබුණේ කැලේක. කැලේ ඇතුලෙදි පුංචි පුංචි සත්තු වගයක් මගේ කකුල් දෙකට විදලා ඒ විදපු තැන්වල පලු දැම්මා. ඒ කෘමීන්ගේ විෂබීජයක් විදිහට ලේවලට ගිහින් කියලා තමයි වෛද්‍යවරු කිව්වේ.
මට තනියම මගේ වැඩ ටිකවත් කරගන්න අපහසු මට්ටමකට ගියා. මට තවමත් හරියට තව කෙනෙකුගේ වාරුවක් නැතුව ඇවිද ගන්න අපහසුයි. මුල් දවස් ටික ගත කරේ හරිම අමාරුවෙන්. කියන්න හරිම දුකයි අපි අපේ වෘත්තිය කැප කිරීම් කොච්චර කරත් මේ වෙනකම් මම අසනීප වුණ ටෙලි නාට්‍යයේ කිසිම කෙනෙක් මට කතා කරලා කොහොමද කියලාවත් ඇහුව්වේ නැහැ. කලාව කියන්නේ හරිම මානුෂීය මිනිසුන් ඉන්න තැනක් වුණාට කලාව බිස්නස් එකක් කරගත්ත මිනිස්සු ළඟ ඒ මනුස්ස ගතිගුණ නැහැ.
සනීප වුණාට පස්සේ ඒ නිර්මාණයේ ඉතුරු කොටස්වලට දායක වෙනවද?
මනුස්සකමක් නැති මිනිස්සු එක්ක මම වැඩ කරන්නේ නැහැ. ඒ නිර්මාණයට නැවත දායකත්වය ලබා දෙන්නේ නැහැ කියලා මම තීරණය කළා. මම වැඩ නොකරපු නිර්මාණවල මගේ හිත මිතුරොත් ඇවිත් මාව බලලා යද්දි මම අසනීප වෙන්න හේතු වුණු නිර්මාණයේ වැඩ කරපු මිනිස්සු මම දවස් හතක් රෝහලේ ඉඳලත් වචනයකින්වත් මා ගැන හොයලා බැලුවේ නැහැ. ඒ මිනිස්සු ගැන මට හරියට කලකිරුණා. හිත ගොඩක් රිදුණා.
රෝහලේ ගෙවුණු දින හත ප්‍රේක්ෂක ආදරය පියුමිට දැනුණේ කොහොමද?
ශ්‍රී ජයවර්ධනපුර රෝහල කියන්නේ ආදරණීය මිනිස්සු පිරුණු තැනක්. මාව රෝහල්ගත කරපු මොහොතේ ඉඳලා රෝහල් වෛද්‍යවරු, හෙද, සාත්තු සේවිකාවන් මට සත්කාර කළේ හරිම ලෙංගතුකමින්. ඒ රෝහල් කාර්ය මණ්ඩලයට මම අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම වයස් භේදයකින් ජාති ආගම් භේදයකින් තොරව මට ආශිර්වාද කරපු හැමෝටම පිං. ඒ ප්‍රාර්ථනාවත් තුරුණුවන්ගේ සරණින් මට ලැබුණා.
කාලෙකට පස්සේ, බන්ධනා ටෙලි නාට්‍යය හරහා පියුමිව වෙනත් රූපරාමුවකින් දකින්න ලැබෙනවා?
ඇත්තටම ඔව්, ගොඩක් කාලෙකින් බන්ධනා හරහා මට සීරියස් චරිතයක් කරන්න ලැබුණා. මට කාලයක්ම සින්න වෙලා තිබුණේ කොමඩි චරිතවලට. මාව වෙනත් විදිහට දකින්න බුද්ධිනි ජයවර්ධන බන්ධනා හරහා කරපු උත්සාහය සාර්ථකයි කියලා හිතනවා. බන්ධනා ටෙලි නාට්‍යයේ රන්දනා කියන්නේ මම බොහොම ලක ගෑස්ති වෙලා දායක වුණු චරිතයක්.
කොහොම වුණත් පහුගිය කාලේ හොඳම ප්‍රතිචාර ලැබුණේ බොනිකර තරු ටෙලියට එහෙම නේද?
අම්මෝ ඔව්. බොනිකරතරුවලට මට ආරාධනා කරන්නේ රවි අයියා. දනුකයි මමයි බැන්දා කියලා සමාජ මාධ්‍යවල කවි ගී ඇතිවෙන්න ලියවුණා. බොනිකර තරු සුනේත්‍රාට ලැබෙන ප්‍රතිචාර ඉතාම ඉහළයි.
බොනිකර තරු ගැන මම මෙහෙම කියන්නම්. අපි සැනසුනා නෙවෙයි වෙන අය සැනසුවා. අපේ ජීවිතවලට කොයිතරම් බොනිකර තරු කරන අය ඇවිත් ඇත්ද? කොයිතරම් අඬන්න ඇද්ද, තනියම විඳ දරාගන්න ඇතිද මේ ඔබේ කතාව මගේ කතාව විය හැකියි.
පබා ටෙලි නාට්‍යයේ හිමාලිගෙන් ලැබුණු ප්‍රේක්ෂක ආදරය අද කොහොමද පියුමිට දැනෙන්නෙ?
කේතුමති නෑයෝ ටෙලි නාට්‍යයේ මගේ රඟපෑම දැකලා ආනන්ද වික්‍රමගේ මහතා තමයි හිමාලිගේ චරිතයට මාව යෝජනා කරන්නේ. ඇත්තටම පබා ටෙලි නාට්‍ය මගේ කලා ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක්. හිමාලි කියන්නේ මගේ කලා ජීවිතේට ලොකු වටිනාකමක් දීපු චරිතයක්. අදටත් මට ගොඩක් දෙනා කතා කරන්නේ හිමාලි කියලා.
ආදරය සහ විවාහය කියන දේ ඇතුලේ පියුමිගේ අදහස කොයි වගේද?
අපේ ජීවිතේ ලස්සන වෙන්න ආදරේ ඕන. හැබැයි වැරැදි ආදරයක් ජීවිතේට ඇවිල්ලා ජීවිතේ නැත්තටම නැති වෙනවට වැඩිය තනියෙන් ඉන්න එක හොඳයි කියලා මගේ ජීවිතේ මූණ දෙන්න සිදුවුණු සිදුවීම් එක්ක මම දැනිලා තියෙනවා. අද මට මගේ අම්මයි තාත්තායි එක්ක හරිම සැහැල්ලුවෙන් සතුටෙන් ඉන්නවා. විවාහය කියන තැනදි සමහරු සහකාරියක්, සහකරුවෙක් සොයා ගන්නේ නමට, එහෙම නැත්නම් දේපළවලට. එහෙම නැත්නම් ඒ වටපිටාවට අද විවාහය ඇතුළේ තියෙන තේරුම් ගැනීම් ආදරය කියන දේ අපේ ජීවිතවලින් ගොඩක් ඈතට දුවලා ඉවරයි. ඇත්ත ආදරයක් හොයන්න හරිම අමාරුයි. ඒ නිසා මට නම් සුපුරුදු තනිකම හොඳා. ජීවිතේ පසුතැවීම් දුක, වේදනාව හොඳට දැනුණු ඒවා උපරිමයට දරාගන්න ගැහැණියක් මාත්. ඒ හැමතැනින්ම මට නැගිටින්න ශක්තිය දුන්නේ මගේ අම්මා. ජීවිතේ මූණ දෙන්න වුණු සමහර දේවල් ගැන දුක් වෙනවා. හැබැයි මම කවදාවත් මනසින් කඩා වැටෙන්නේ නැහැ.
නදීශා අතුකෝරළ