දුලිකා අක්කගෙ කොපියක් වෙන්න ගියේ නෑ
කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයට ඒ චරිත වලට ආදරය කරපු ප්‍රේක්ෂකයින්ට ලොකු දුකක් වගේම හිස් බවක් දැනුණේ පසුගිය දිනවල අයිරා අම්මාගේ චරිතයෙන් දුලිකා මාරපන මහත්මිය ඉවත් වීමත් සමඟයි. ඒ හිඩැස පුරවන්න ආපු අලුත් අයිරා අම්මා තමයි රංගන ශිල්පිනී ධනුෂ්කා ජයරත්න. ධනුෂ්කා ජයරත්න කියන්නේ කලා ලෝකේ ශිල්පීන් අතර වේදිකාවන් පුංචි තිරයත් එක ලෙස ජයගත් අති දක්ෂ රංගන ශිල්පිනියක්. විවිධ වූ චරිත හරහා නිරතුරුවම දැකගන්න ලැබෙන ඇයව මේ දිනවල පුංචි තිරයේ දැඩි කතා බහට මෙන්ම අවධානයට ලක් වී තිබෙන්නේ කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ අයිරා අම්මාගේ චරිතය නිසා. මේ ඇය සමඟ කළ කතාබහකි.
ඔබට අයිරා අම්මාගේ චරිතය ලැබෙන්නේ දැවැන්ත අභියෝගයක් එක්ක?
ඇත්තටම ඔව්. මට ධනුෂ්ක රත්නායක කතා කරලා කිව්වාම ඒ චරිතය කරමුද ද කියලා මම ඒ චරිතය භාරගන්නම් කියලා එක පාරටම හා කිව්වේ නැහැ. නිෂ්පාදක කණ්ඩායමේ ගැටලුවක් හින්දා දුලිකා අක්කා අයින් වෙලා කියලා තිබුණාට දුලිකා අක්කා ඇත්තටම අයින් වෙලාද කියලාත් හරියටම දැනගෙන හිටියේ නැහැ.
අයිරා අම්මා කියන්නේ කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයට අත්‍යවශ්‍ය චරිතයක් වගේම කතාව ඇතුලේ චරිත වටා ගෙතිච්ච මුදුන් මුලක්. ඒ වගේ චරිතයක් ටෙලියකින් අතරමග අයින් වෙනවා කියන්නේ ඒක ටෙලියට ලොකු පාඩුවක්. ඒ චරිතයට මට කතා කරහම මම ගොඩක් හිතුවා. කල්පනා කළා
චරිතය ලැබුණාට පස්සේ දුලිකා අක්කා එක්ක කතා කරේ නැද්ද?
අම්මෝ කතා කළා. දුලිකා අක්කයි මමයි හරිම හොඳ යාළුවෝ. මගේ ජ්‍යෙෂ්ඨ ශිල්පිනියක් විදිහට මම ගොඩක් ගරු කරන චරිතයක් ඇය. ධනුෂ්ක මට චරිතයට කතා කරාම මම දුලිකා අක්කාට කතා කරලා කිව්වා. එතන වුණු ප්‍රශ්නයවත් ඇයි ඉවත් වුණේ කියලවත් මම ඇයගෙන් අහන්න ගියේ නැහැ. දුලිකා අක්කා මට කිව්වේ කිසි ප්‍රශ්නයක් නෑ ධනුෂ්කා ඔයා එ්ක භාර අරගෙන හොඳට කරන්න කියලා විතරයි කිව්වේ. අපි දෙන්නා කතා කරලා එකඟතාවයකට ඇවිල්ලා තමයි මම චරිතය භාරත්තේ. කොච්චර වුණත් ඇය මගේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනියක් නිසා චරිතය ලැබුණු ගමන් චරිතය මම බදාගන්න ගියේ නෑ.
ප්‍රේක්ෂකයාට සාධාරණයක් කරන්න පුළුවන් වුණා කියලා හිතනවද?
දුලිකා අක්කා අයිරා අම්මා වෙනුවෙන් හදාගත්ත ප්‍රතිරූපයක් තිබුණා. ඒ අයිරා අම්මා මට පොඩි නෙමෙයි ලොකු අභියෝගයක් වුණා. විශේෂයෙන් දුලිකා අක්කා කියන්නේ අත දිග ඇරලා රඟපාපු ශිල්පිනියක්. දුලිකා අක්කා කැමරාව ඉදිරියේ හැරුණත් හරිම රසයි. කිසිම වෙලාවක මම දුලිකා අක්කාගේ කොපියක් වෙන්න ගියේ නැහැ. දුලිකා අක්කා හදලා තිබුණු චරිතය මගේ විදිහට මම හදාගත්තා. චරිතය මුලින්ම කරන්න ගිය දවසේ ඔළුවට මහ බරක් දැනුණා. මොන දේ කරත් මොන විදිහට චරිතය කරා වුණත් දුලිකා අක්කා හදපු අයිරා අම්මා මගෙන් දකින්න බෑ. බලන විදිහෙන් පවා මම වෙනස්. අයිරාගේ චරිතය ඇතුලේ තියෙන ගති ලක්ෂණ අඳුරගෙන චරිතයට ආසාධාරණයක් නොවෙන්න නිරූපණය කරන්න පුළුවන් කොයි විදිහටද අන්න එතන ඉඳලා තමයි මම අභියෝගය භාරගත්තේ.
මම නොවී මම වෙන එක හරි අවුලක්. කොහොමත් පුංචි දේත් මම හරි ලොකුවට හිතන කෙනෙක්. දුලිකා අක්කා ප්‍රේක්ෂකයාගේ හදවතට කාවද්දපු අයිරා අම්මා මගෙන් ප්‍රේක්ෂකයාට දකින්න ලැබෙන්නේ නෑ කියලා මං දන්නවා. හැබැයි මගේ විදිහට අයිරා අම්මාට උපරිම සාධාරණය කරන්න මට නිතරම උත්සාහ ගන්නවා. කොහොමත් මේක භාර ගනිද්දිම “එළියෙන් එන ප්‍රතිචාර ටික දවසකට අයින් කරලා චරිතේ විතරක් ඔළුවේ තියාගන්න කියලා මගේ අම්මා මට කිව්වා...”
මොනවා වුණත් දුලිකා අක්කා ලොකු ප්‍රේක්ෂකාගාරයක් අයිරා අම්මාට හදලා තියෙනවා. මුලදී මේ අයිරා අම්මාට ලොකු ප්‍රතිචාරයක් නොලැබුණත් දැන් දැන් මේ අයිරා අම්මාටත් ලොකු ප්‍රේක්ෂක ආදරයක් ලැබෙනවා. හොඳ නරක සාර්ථක අසාර්ථක මේ ප්‍රතිචාර සියල්ලම බලාපොරොත්තුවෙන් තමයි මම අයිරා අම්මාගේ චරිතය භාරගත්තේ.
ධනුෂ්ක රත්නායක අධ්යක්ෂවරයා ඔබවම මේ චරිතයට තෝරාගන්න විශේෂ හේතුවක් තිබුණද?
ඇත්තටම මම ධනුෂ්ක එක්ක දාම් ටෙලි නාට්‍යයේ කලින් වැඩ කරලා තියෙනවා. ධනුෂ්ක අයිරා අම්මාගේ චරිතයට මට කතා කළේ මාව ගොඩක් විශ්වාස කරලා. මට චරිතයට කතා කරපු වෙලාවේ ධනුෂ්ක සහ මහේෂ් අයියා කිව්වේ මේ චරිතයට අපේ ඔළුවට ආවේ ඔයා විතරයි... ඔයා ඇරෙන්න වෙන කෙනෙක් නෑ... කියලා කිව්වා. අයිරා අම්මාට හරියන්නේ ඔයාව විතරයි කියල ධනුෂ්ක කතා කරහම මට ලොකු සතුටක් දැනුනා. මොකද දන්නවද මේ නාට්‍යය පටන් ගත්ත දවසේ ඉඳලා මමත් කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ හොඳ ප්‍රේක්ෂකයෙක් මගේ අම්මාත් එහෙමයි. නාට්‍යය පටන් ගත්ත මුල් කාලේ මගේ අම්මා කිව්වා බලන්න දුලිකා අක්කා මාර ලස්සනට රඟපානවා. ඔයාටත් ඒ වගේ චරිතයක් හම්බ වුණා නම් කියලා කිව්වා. ඇත්තටම මම ආසයි අභියෝග හම්බවෙන තරමට. මම ආස නෑ නිකං ගිහින් දෙබස් ටික කියලා එන චරිත වලට. අයිරා අම්මා කියන්නේ මගේ රංගන ජීවිතේ ලැබුණු ලොකුම අභියෝගයක්. මම මේ වගේ පරිසරවල වතු වල ඕන තරම් චරිත වලට දායක වෙලා තියෙනවා. හැබැයි රෙදි මෝල වත්තේ අයිරා අම්මා කියන්නේ අලුතින් චරිතයක් අරගෙන රඟපානවා වගේ නෙමෙයි නේ... කෙනෙක් කරපු චරිතයක් අතරමඟ ඉඳන් කරනවා කියන්නේ ඒක මහ බරක්.
මේ වගේ දාලා යන චරිත වලට මුක්කුව ගහලා කෙලින් කරලා මීට කලින් අත්දැකීම් තියෙනවද?
අපෝ ඔව්.... වේදිකා නාට්‍ය වල නම් ඒ ඒ ශිල්පීන්ට එන්න නොහැකි අවස්ථා වල මම ඒ චරිත නිරූපණය කරලා තියෙනවා. ඇත්තටම දාලා යන චරිතවලට මුක්කු ගහලා කෙළින් කරන්න හොඳ අත්දැකීම් මට වේදිකාවේ ඕන තරම් තියෙනවා. හැබැයි ටෙලි නාට්‍යයක එහෙම දෙයක් වුණේ පළමු අවස්ථාවට.
ඉස්කෝලේ ටෙලි නාට්‍යයේ ඔබව දකින්නේ අහිංසක අම්මා කෙනෙක් විදිහට.
මට විවිධ වූ චරිත ලැබෙනවා. දරුණු චරිතත් මම පහුගිය කලේ නිරූපණය කළා. හැබැයි මේ දිනවල මම නිරූපණය කරන අයිරා අම්මා සහ ඉස්කෝලේ ටෙලි නාට්‍යයේ අම්මා කියන දෙකම දරුවන්ගේ ජීවිතේ ගොඩ දාන්න උත්සාහ දරන සියලුම දුක් උහුලන අම්මෙක්. මගේ පෞද්ගලික ජීවිතෙත් මගේ පුතාව ගොඩ නගන්න උත්සාහ දරන අම්මෙක් මම. මට දැන් අවුරුදු 11ක පුතෙක් ඉන්නවා. එයා තමයි දැන් මගේ ජීවිතේම.
මේ දවස්වල මොනවද අලුත් කලා කටයුතු
කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයට අමතරව ඉස්කෝලේ සහ තවත් ටෙලි නාට්‍යයක වැඩ කරගෙන යනවා. ඊට අමතරව වේදිකා නාට්‍ය දෙකකත් පුහුණුවීම් කටයුතු කරගෙන යනවා. තව හඬ කැවීම් ශිල්පිනියක් විදිහටත් නිර්මාණ වලට දායක වෙනවා. ඇත්තම කතාව නම් මොන නිර්මාණය කරත් ලංකාවේ ආර්ථිකය එක්ක හෙම්බත් වෙලා ඉන්න මේ මිනිස්සු නිර්මාණ රස විඳින්න පුළුවන් මට්ටමක නැහැ.
ඔබ චරිත තෝරාගන්නේ අධ්යක්ෂවරයාට අනුවද?
ක්ෂේත්රයට ආපු මුල් කාලේ මට ලොකු අත්දැකීමක් තිබුණේ නැහැ. අහුවෙච්ච දේවල් ඒ කාලේ කළා. දැන් ක්ෂේත්රය තුළ කාලයක් වැඩ කරලා ඒ ගත්ත අද්දැකීම් එක්ක ප්රවීණයන්ගේ දැනුම එක්ක දැන් තෝරා බේරා ගෙන වැඩ කරනවා. මම කවදාවත් රංගනය පිළිබඳ හදාරපු කෙනෙක් නෙමෙයි. සමාජය ගැන කියවලා ඒ අද්දැකිම් තුළින් තමයි මේ ගමන මම ආවේ... ජීවිතේ වැරදුනු තැන් ප්‍රතික්ෂේප වුණු තැන් අසාර්ථක වුණු තැන් තිබුණා. මට වැරදුනු හැම තැනකින්ම මම ජීවිතේට ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
විලාසිතා කරද්දී ඔබ නිදහස් මනසින් හිතන කෙනෙක්ද?
මෙහෙමයි ඒ ඒ විලාසිතාවන්ට මම කැමති නම් මාත් එක්ක ඉන්න මගේ පවුලේ අය කැමති නම් මම පිට සමාජය ගැන වදවෙන්නේ නෑ. මම කොහොමත් කාටවත් ඕන විදිහට වැඩ කරන කෙනෙක් නෙමෙයි.
නදීශා අතුකෝරළ