දැන් නම් මේ අසිරිමත් මුතු ඇටේ දාලා යන්න හිතිලා තියෙන්නේ
සංජය කසුන් මුරමුදලි කියන්නේ නවක නළුවන් අතරේ කෙටි කාලයක් තුළ ප්‍රේක්ෂක ආකර්ෂණය, ජනප්‍රියත්වය දිනාගත් රංගන ශිල්පිෙයක්. මේ දිනවල ‘පාර වසා ඇත, විසේකාර හාදුවක්, බොනිකර තරු’ ටෙලිනාට්‍යයන් තුළින් ප්‍රේක්ෂකාගාරයට ගොඩවදින සංජය සමග කළ කතාබහකි මේ.
ඉතින් කොහොමද ජීවිතේ?
දැන් නම් මේ අසිරිමත් මුතු ඇටේ දාලා යන්න හිතිලා තියෙන්නේ. හෙටක් ගැන හිතන්න දෙයක් රටේ පාලකයෝ ඉතිරි කරේ නෑනේ.
කොහොමද කලා කටයුතු?
මම රංගනයෙන් දායක ෙවන ටෙලිනාට්‍ය තුනක් මේ දිනවල විකාශය වෙනවා. ‘බොනිකර තරු’ ටෙලිනාට්‍යයේ අභීත, ‘විසේකාර හාදුවක්’ ටෙලිනාට්‍යයේ රඝු, ‘පාර වසා ඇත’ ටෙලිනාට්‍යයේ රූබි යන චරිත නිරූපනය කරනවා. චරිත තුනම එකිනෙකට වෙනස් චරිත.
වැඩිපුරම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන්නේ අභීතට ද? රඝුට ද? රූබිට ද?
‘බොනිකර තරු’ අභීතටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ‘බොනිකර තරු’ ඇතුළේ කියන්නේ සමාජයේ ජීවත් වෙන්න මිනිස්සු පවුලට, තමන්ගේ අයට, සමාජයට කරන බොරු. ඒ කතාවේ අභීත කියන්නේ දේශපාලනඥයකුගේ දරුවෙක් වුණාට ඒ තාත්තාගේ ලොකුකම් ඉහට ගහලා නැති කොල්ලෙක්. ‘බොනිකර තරු’ ටෙලිනාට්‍යය පුරාවටම ඇත්ත කතා කරන එකම කෙනා තමයි අභීත. ඒ වගේම තමයි ‘පාර වසා ඇත’ ටෙලිනාට්‍යයේ රූබිටත් හිතපු නැති විදිහට ප්‍රතිචාර ලැබෙනවා. රූබි කියන්නේ ටිකක් දුෂ්ට චරිතයක්.
සංජය නළුවෙක් වෙන්න හිතුවේ රූපේ නිසාද?
අනේ නැහැ. ඇත්තම කතාව කිව්වොත් මගේ ගම හඟුරන්කෙත. හඟුරන්කෙත ඉඳලා කොළඹ එන්නේ ජපානයට යන්න ජපන් භාෂාව ඉගෙන ගන්න. මගේ එකම අරමුණ වුණේ උසස් පෙළ ඉවරවුණු ගමන් ජපන් යන්න. මහරගම තරුණ සේවා සභාවෙන් ජපන් භාෂා පාඨමාලාව ඉගෙන ගන්න අතරේ මම දැක්කා යූත් එකේම වෙන පැත්තක කෑ ගහනවා, සින්දු කියනවා, නටනවා. එතනදි නාට්‍යවලින් අපි දකින දැවැන්ත චරිත කිහිප දෙනකුත් ඉන්නවා දැක්කා. මට හරිම ආසාවක් දැනුනා ඒ අය දැක්කම. මම ළඟට ගිහිල්ලත් බලාගෙන හිටියා. ඒක දැකපු එක්තරා ප්‍රවීණ ශිල්පියෙක් මට කතා කරලා ඒ පාඨමාලාවට සම්බන්ධ වෙන්න අවස්ථාවක් දුන්නා. අන්තිමට ජපන් භාෂාව ඉගෙන ගන්න කොළඹ ආපු මම ඒක නතර කරලා කලාව ඉගෙන ගත්තා. මුලදී වේදිකා නාට්‍ය, වීදි නාට්‍යවලට තමයි නාට්‍ය පාසල හරහා සම්බන්ධ වුණේ.
දැන් ජපන් යන හීනය අතෑරලද?
කලාවට ආවට පස්සේ මට රංගනයට මාර විදියට හිත ගියා. මුල් කාලේ ලොකු කට්ටක් කෑවා, දුක් වින්දා. ඒත් මම ඒවා විඳ දරාගෙන මේ ගමන ආවා. ටික ටික ජපන් හීනේ අතෑරිලා ගියා. හැබැයි දැන් රට පත්වෙලා ඉන්න තත්ත්වයත් එක්ක ජපන් යන්න හිතිලා තියෙන්නේ.
සංජය ඉගෙන ගත්තේ?
මම ඉගෙන ගත්තේ හඟුරන්කෙත දියතිලක මධ්‍ය මහා විද්‍යාලයෙන්. පාසල් අධ්‍යාපනයෙන් පස්සේ කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. තාම උපාධිය හදාරන ගමන් තමයි කලා කටයුතුවලට දායක වෙන්නේ.
කලාවට එන්න ගත්ත තීරණය ගැන ගෙදරින් කොහොමද ලැබුණු ප්‍රතිචාරය?
මගේ අප්පච්චියි, අම්මයි කරන්නේ ගොවිතැන්. මහලොකු සල්ලිකාර මිනිස්සු නෙමෙයි. හැබැයි අප්පච්චියි අම්මයි, නංගිටයි මටයි දෙන්නටම හොඳට ඉගැන්නුවා. මම උසස් පෙළ කරපු ගමන් විදේශගත වෙන්න හිතුවෙත් ගෙදර ආර්ථික ප්‍රශ්න නිසාමයි. කලාව තෝරාගත්තාට මේකේ ස්ථාවරත්වයක් හදාගන්න අමාරුයි, කාලයක් යනවා, ලොකු කට්ටක් කන්න වෙනවා කියලා දැනගෙන තමයි මම ආවේ. කලාවට එනවා කිව්වාට ඒ ගැන අම්මලාට අවබෝධයක් තිබුණේ නැහැ. දැන් ටීවී එකේ දකිනකොට ඒ දෙන්නා හරිම සතුටුයි.
සංජය පාසල් කාලෙත් කලාවට දක්ෂතා දක්වපු ශිෂ්‍යයෙක්ද?
පාසල් කලා වැඩවලටත් දායක වුණා. හැබැයි මම ගොඩක්ම ජනප්‍රිය වුණේ මදාවි වැඩවලින්. ගහගන්න, රණ්ඩු වෙන වැඩවලදි ඉදිරියෙන්ම තිබුණු නමක් තමයි මගේ නම. ඒවට තාත්තගෙන් මම නොසෑහෙන්න ගුටි කාලා තියෙනවා. පාසල් කාලේ හරිම දඩබ්බරයි.
දැන් ඒ දඩබ්බරකම් අඩු වෙලාද?
අපෝ නැහැ. දැන් දඩබ්බරගති අඩු කරගෙන පාලනය කරගෙන ඉන්නවා. ගමේ ගියාම ඉතින් තාම පුංචි පුංචි දඩබ්බර වැඩ කරනවා.
සංජයගේ ජීවිතේ ප්‍රතික්ෂේප වීම් නැද්ද?
කලාවට ආවම කැපිලි කෙටිලි ප්‍රතික්ෂේප වීම් හරියට විඳින්න සිද්ධ වුණා. අදටත් කැපිලි කෙටිලි තියෙනවා. හැබැයි මම දුක් විඳින්න පුංචි කාලේ ඉඳලා හුරුවෙලා හිටපු නිසා කොච්චර මිනිස්සු මට රිදවන්න හැදුවත් කකුලෙන් ඇදලා පහළ දාන්න හැදුවත් නැගිටින්නේ කොහොමද කියන එක ගැන අවබෝධයක්, ශක්තියක් මට තියෙනවා.
හඟුරන්කෙත ඉඳලා කොළඹ ආපු ගමන ගැන සංජයට අද මොකද හිතෙන්නේ?
කොළඹ ආපු මුල් කාලේ ගොඩක් දුක් වින්දා. ඉන්න තැනක් තිබුණේ නැහැ. මම හිටියේ කොළඹ පන්සල්වල. වීදි නාට්‍ය, වේදිකා නාට්‍ය, පොඩි පොඩි කලා වැඩ කර කර හිටපු කාලේ මාරම කට්ටක් කෑවා. ලොකුවට අතේ සල්ලිත් නැහැ. කොළඹ බෝඩිමක් අරන් ඉන්න ඒවට ගෙවන්න සල්ලි තිබුණේ නැහැ. කැලණිය පන්සල, මහරගම නීලම්මහර පන්සලේ නතර වෙලා හිටපු කාලය මට කවදාවත් අමතක වෙන්නේ නෑ. දුකක් වුණත් ඒ ජීවීතෙන් මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. කොච්චර දුක් වින්දත් මම ඉස්සර සල්ලි එකතු කරගෙන හැම අවුරුද්දකම අම්මටයි අප්පච්චිටයි, නංගිටයි අලුත් ඇඳුම් අරගෙන යනවා. අද මම හම්බ කරලා අප්පච්චිගේ අතට වියදමට සල්ලි දුන්නත් එයා ගන්නේ නැහැ. මට කියන්නේ ඉතුරු කරගන්න කියලා. ඒ වගේ මව්පියන් දෙන්නකුගේ දරුවෙක් වෙලා ඉපදීම ගැන තියෙන්නේ ලොකු සතුටක්.
මම අවුරුදු 3දී මගේ අම්මා රට යනවා. ගෙදර ආර්ථික ප්‍රශ්න නිසාමයි අම්මා රට යන්නේ. අම්මා එන්නේ මට අවුරුදු පහේදී. ඒ වෙනතුරු මම අම්මා කවුද කියලවත් දැනගෙන හිටියේ නැහැ. අප්පච්චි තමයි අම්මගේ භූමිකාවත් කළේ. අම්මා ලංකාවට ආවට පස්සේ ඒ ආදරය බැඳීම පුදුම විදිහට වැඩි වුණා. අද අම්මා නැතුව පොඩ්ඩක්වත් මට ඉන්න බැහැ. මට අදටත් අම්මාගේ කටහඬ ඇහැව්වේ නැත්නම් නින්ද යන්නේ නැහැ. ආර්ථික අපහසුතා කොච්චර තිබුණත් අම්මයි අප්පච්චියි නංගිටයි මටයි ජීවිතේ හරි පාර පෙන්නුවා.
මොනවද අලුත් නිර්මාණ?
අලුත් නිර්මාණ කිහිපයකම වැඩ කළා පසුගිය දවස්වල. චිත්‍රපටිත් කරපුවා තියෙනවා තිරගත වෙන්න.
වෘත්තීමය නළුවෙක් වෙන්නද සංජයගේ බලාපොරොත්තුව?
ඇත්තටම මම කලාවට යන්න කලින් තිරය පිටුපස තමයි වැඩ කළේ. සහය අධ්යක්ෂවරයෙක් විදිහට වැඩ කරන අතරතුර කලාව ගැන ඉගෙනගෙන තමයි කැමරාව ඉස්සරහ නළුවෙක් විදිහට ආවේ. මගේ එකම හීනය ටෙලිනාට්‍ය අධ්යක්ෂවරයෙක් වෙන එක. ඒ තැනට යන්න මට අවශ්‍ය සුදුසුකම්, ඒ වටපිටාව හදාගෙන යනවා. මම ජනප්‍රිය වෙන්න ආස නෑ. මට ඕන මේ කලාව ඇතුලේ දක්ෂයෙක් වෙන්න.
නදීශා අතුකෝරළ