දැන් තියෙන්නේ රටක් විදිහට අපි කොහොම ද ඉස්සරහට යන්නේ කියන එකයි.
සිනහව, සතුට අවැසි රටකට ඒ සතුට, සිනහාව, සැහැල්ලුව මොහොතකට ගෙන දෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව කිව්වොත් හරි. ඒ ආදරණීය ක්‍රිකට් නිසා බොහෝ දෙනාගේ ආදරය දිනාගත්ත වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට නැතුවම බැරි චරිතයක් තමයි චාමික කරුණාරත්න. අවසාන මොහොත දක්වා තරගය ජය ගැනීම වෙනුවෙන් සටන් කරන ධෛර්යවන්ත මේ ක්‍රීඩකයාට රටම ආදරය කරන මොහොතක, සඳැල්ලට ඔහු විශේෂිතව ලබාදුන් පිළිසඳරකි මේ.
චාමික ඔබට රටම ආදරය කරන මොහොතක්, මොකද හිතෙන්නේ? ලංකාවේ හැමෝම ආදරය කරන චරිතයක් බවට පත්වෙලා?
“ඒක සතුටක්. හැබැයි එහෙමයි කියලා මම වෙනස් වෙලා නැහැ. ඉස්සර හිටපු චාමික කරුණාරත්නම තමයි. ක්‍රිකට් වෙනුවෙන් පසුගිය කාලයේදී ගොඩක්ම මහන්සි වුණා. ඒ මහන්සියේ ප්‍රතිඵල නිසා දක්ෂතා අතරට යන්න පුළුවන් වුණා.”
බොහෝ දෙනා ඔබට ආදරය කරන්නේ ඔබගෙ නිහතමානීකම නිසයි. ඒ ගැන කියමු නේද?
“ඒ මගේ හැටි. ළමා වියේ ඉඳලාම මට ඒ ගුණය තිබෙන දෙයක්. ඒ දවස්වල ඉඳලාම අනෙක් අයට උදව් කිරීමට මම කැමැතියි. ඒක අපේ පවුලෙන් ආ දෙයක්. මගේ අයියලාත් එහෙමයි. ක්‍රිකට්වලට කැමැති අපි අපේ පොඩි කාලයේදී මැච් බලන්න ගියාම ක්‍රිකට් තරු එක්ක පින්තූර ගන්න කැමැතියි. කවුරු හරි බැහැ කිව්වොත්, ඒකට දුක හිතෙනවානේ. ඉතින් ඒ නිසා කාගෙවත් හිත් රිදවන්න මම කැමැති නැහැ. හැකි විදිහට එයාලා එක්ක කතා කරනවා. සෙල්ෆි ඡායාරූපයකට හරි පෙනී සිටිනවා. මොකද මට මතක් වෙන්නෙ මගේ පොඩි කාලයේ විදිහ. නිහතමානීකමට වඩා මම ප්‍රේක්ෂකයින්ගේ හිත් රිදවන්න අකැමැතියි. ඒක නිසා වෙන්නැති බොහෝ දෙනා මට ආදරේ.”
එදා හතරවැනි එක් දින තරගයේදී අවසන් ඕවරයේදී ඕස්ට්‍රේලියාවට ලකුණු 19ක් ගහන්න තිබුණා. අන්තිම ඕවරයේ නායක දසුන්ගේ මුල් පන්දුවලට එරෙහිව ඕස්ට්‍රේලියානු පිතිකරුවන් හතරේ පහර එල්ල කරද්දී චාමික සැරින් සැරේ දසුන් ළඟට ගිහින් මොනවා ද කිව්වේ? ඒ වෙලාවේ චාමිකට කේන්ති ගිහිල්ලා ද තිබුණේ?
“මෙහෙමයි. වසර තිහකට පස්සේ ඕස්ට්‍රේලියාව එක්ක අපිට සීරිස් එකක් දිනන්න තිබුණු හොඳම අවස්ථාව ජය පෙනි පෙනී පරාජය වෙන්න බැහැ. ඒ හැරත් ජය ගන්න තියෙන තරගය ජය ගන්නම ඕනෑ. හෙට තරගය ගැන අපට අනාවැකි කියන්න බැහැනේ. ඉතින් එදා ජයග්‍රහණය ගැන තමයි අපි මුළු කණ්ඩායමම හිතුවේ. ඒ කණ්ඩායම බොහෝම ආදරණීය, ලෙංගතු, එක පවුලක අය වගේ කණ්ඩායමක්. දසුන් අයියා අන්තිම ඕවරය යවද්දී මම එයා ළඟට ගිහින් පැට් කමින්ස්ගෙ දුර්වලකම් ගැන කියලා දුන්නා. මෙන්න මෙතැනට පන්දු යැව්වොත් හොඳයි කියලා. මොකද පැට් සහ මම මාස ගණනාවක් ඉන්දීය ප්‍රිමියර් ලීග් එකට ගිහින් එකම කණ්ඩායමේ හිටියේ. එයා මගේ හොඳ මිතුරෙක් වුණා. අපි දෙන්නා බොහෝ වෙලාවට එකට ප්‍රැක්ටිස් කළේ. ඉතින් එයාගේ දක්ෂතා වගේම එයා දුර්වල මොන තැන්වලදී ද කියන එක මම දැනගෙන හිටියේ. ඒ ගැන දසුන් අයියාට කිව්වා. එදා ඒ විදිහේ එකමුතුකම හින්දා තමයි අපි තරගය ජය ගත්තේ.”
කොහොමද ඉතින් පැට් කමින්ස් සහ ඔබ අතර ඒ මිත්‍රත්වය?
“පැට් කමින්ස්ටත් වඩා මා එක්ක ගොඩක් මිත්‍ර වුණේ නායක ඇරොන් ෆින්ච්. මම ඇයි මෙච්චර දඟලන්නේ කියලා එයා මට විහිළුවක් කළා. කොහොම වුණත් ඔයාගෙ ඒ දැඟලිල්ල, කැපවීම, උනන්දුව නිසා තමයි ඔයාව මේ තැනට අද ගෙනැල්ලා තියෙන්නේ කියලා ෆිච් මට කිව්වා. ඔයාගෙ ඔය විදිහ, රිද්මය ඔය විදිහටම අරන් ඉදිරියට යන්න කියලා එයා මට උපදෙස් දුන්නා. පන්දු රැකීමේදී පන්දුව අහුලාගෙන පිටියේ ඈත සිට විකට්ටුව දෙසට වේගයෙන්ම යොමු කරන කෙනා ඔයා කියලා ෆින්ච් මට කිව්වා. ඔයා ඉන්න තැනට ගහලා දෙකක් දුවන එක හරිම භයානකයි කියලත් කිව්වා. ඇලෙක්ස් කේරී ඒ වගේ මෝඩ වැඩක් කළා කියලා හිනා වුණා. ක්‍රීඩකයකු හැටියට එයා මට හරි ආදරෙයි. ෆින්ච් හොඳ නිහතමානී චරිතයක්. අයි.පී.එල්. ගහද්දී එයා උදේට කාලා, දවල්ට එද්දිත් මම ජිම් එකේ ව්‍යායාම කරන හැටි දවසක් එයා දැක්කා. ඔයා මොකද මේ විදිහට මෙච්චර පුහුණු වෙන්නෙ කියලා? ඔයාලගෙ රට ලොකු රටක්, ඔයා නැති වුණත් ඒ තැනට සම කරන්න තව ක්‍රීඩකයෙක් ඉන්නවා. අපේ රට කුඩා රටක්. ක්‍රීඩකයින් එක පාරට හදන්න බැහැ. ඒ නිසා වැටිලා තියෙන ක්‍රිකට් ගොඩ ගන්න අපි සෑහෙන මහන්සි වෙනවා කියලා මම එයාට කිව්වා. ‘අන්න ඒක තමයි වෙන්න ඕනෑ චාමික’ කියලා ෆින්ච් ඒ වෙලාවේ කිව්වා. එහෙ සිටියදී මට මගේ ක්‍රීඩා කරන විදිහේ අවස්ථා දියුණු කරගන්න සෑහෙන්න උදව් කරපු උපදෙස් දුන්න කෙනෙක්.”
ෆින්ච් ඉන්දියාවේදී ලංකාවේ මොන වගේ දේ ගැන ද ඔබ එක්ක කතා කළේ?
“ලංකාවට ආවාම එයාට උණවටුන යන්න ඕනෑ කිව්වා. යාල යන්න ඕනෑ කිව්වා. ඒත් එයා ඉන්දියාවේ මාස දෙකක් විතර හිටපු නිසා ෆැමිලි එකේ කට්ටිය එක්ක ඉන්න ඕනෑ නිසා යනවා කිව්වා. එයා එන්න හිටියේ එයාගේ බිරියත් එක්කමයි. ඒත් කාර්ය බහුලත්වය එක්ක එයාට ඒ විදිහට සංචාරය කරන්න ලැබුණේ නැහැ.”
චාමික විවේකයේදි ගීත අහන්න වගේම ගයන්නත් ආසයිලු නේද?
“ඔව්. සංගීතය කියන්නේ ඕනෑම කෙනෙක්ගෙ මනස සැහැල්ලු කරවන දෙයක්නේ. මාත් විවේකයේදී සංගීතය අහන්න වගේම ගීත මුමුණන්න ආසයි. මම ඒ විදිහට කරනවා. එක එක මූඩ් එක අනුව ගීත අහනවා.”
චාමික ක්‍රිකට් පිටිය දෙවනත් කරද්දී ඒ වගේ අවස්ථා ගැන ඔලිම්පික් ගිය ලෝක ශූර නිලූක කරුණාරත්න අයියා මොනවා ද ඔබට කියන්නේ? ගෙදර අය මොනවා ද කියන්නේ?
“ගෙදර ඔක්කොමලා දැනගෙන හිටියේ මට ක්රිකට්වවලින් යමක් කරන්න පුළුවන් කියලා. පොඩි කාලයේ ඉඳලාම මගේ දක්ෂතා දැකලා මාව ඉදිරියටම තල්ලු කළා. ඔයාගෙ දක්ෂතා ඔයාවත් දන්නෙ නැහැ, ඒ නිසා තව තව උනන්දු වෙන්න කියලා තමයි කිව්වේ. උදේ පාන්දර කෝල් එක පවා අයියා සහ අම්මාගෙන් එන්නේ. මම කෑවා ද බීවා ද කියන එක ගැන අහනවාට වඩා ඔයා හොඳට පුහුණුවීම් කළා ද? උදේ ව්‍යායාම කළා ද? තාත්තා වුණත් අනෙක් අයියලා වුණත් මගෙන් අහන්නේ ඒ විදිහටයි. ක්‍රීඩාව ගැන එයාලාට හොඳ අවබෝධයක් තියෙන නිසයි ඒ විදිහට අහන්නේ. රට වෙනුවෙන් ක්‍රීඩා කරන අවුරුදු කිහිපයට කළ හැකි උපරිමය කරන්න නම් ඒ වෙනුවෙන් කැප වෙන්නම වෙනවා. රටේ නම ඉදිරියට ගෙන යන්නනේ අපි ඔක්කොම උත්සාහ ගන්නේ. ඉතින් මේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානු එක් දින තරගාවලිය මේ වෙලාවේ රටට ඉතාම අනර්ඝ දෙයක් කියලයි මට හිතෙන්නේ. සෑම ක්‍රීඩකයකුම උපරිම කැපවීමක් කළේ. ආබාධ තියාගෙන පවා ඒ කැපවීම කළා.”
චාමිකගේ උරහිසේ ආබාධයක් තියාගෙන නේද ක්‍රීඩා කළේ?
“උරහිසේ බාහුවක පමණක් නොවෙයි කලවා ආබාධ, පාදයේ ආබාධ තියාගෙන වේදනා නාශක බෙහෙත් දිගින් දිගටම අරගෙන තමයි මම ක්‍රීඩා කළේ. ඒ විදිහට දිගින් දිගටම වේදනා නාශක ගැනීම හොඳ දෙයක් නොවෙයි. ඒත් වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. අවදානම පැත්තක දාලා එහෙම කළා. පල්ලෙකැලේදී උරහිස ආබාධයට ලක්වුණාම මම හිතුවෙ කැඩුණා තමයි කියලයි. ඒ තරමටම වේදනාව තිබුණා. ඒත් පේන් කිලර්ස් අරගෙන දිගටම පුහුණුවීම් කළා. ඒ ගැන දැනගෙන හිටියේ මායි මගේ භෞත චිකිත්සකවරයයි විතරයි.”
චාමික, මුළු රටක්ම වගේ ඔබට සහ ක්‍රිකට් කණ්ඩායමට ආදරය කරන මොහොතක කාගේත් ආදරය දිනූ ඔබට රටට මොනවා ද කියන්න තියෙන්නේ?
“මේ පවතින තත්ත්වය අපි හැමෝටම අමාරුයි තමයි. ඒත් අපි තව ටිකක් ඉවසමු. මුළු ලංකාවේ හැමෝටම අමාරු කාලයක්. සල්ලි තිබුණත් වැඩක් නැහැ. ඒ නිසා අපි මේක ඉවසගෙන කොහොම හරි ඉදිරියට යමු. මොකද අපි රටක් විදිහට විවිධ කාලවලදී සිවිල් යුද්ධ වගේම විවිධ ව්‍යසනවලට මුහුණ දීලා ඒවා ජයගත්ත රටක්. අපේ හමුදාව සහ රටේ මිනිස්සු එකමුතු වෙලා තමයි අපි ඒ ජයග්‍රහණය ලැබුවේ. දැන් තියෙන්නේ රටක් විදිහට අපි කොහොම ද ඉස්සරහට යන්නේ කියන එකයි. මේක ආයෙත් හදන එක තියෙන්නෙත් මිනිස්සු අතේ. ඒ නිසා කලබල නොවී හරි තීරණ හරි විදිහට ගන්න. ඒ වගේම තම තමන් අවංක වී තමන් මොන රස්සාව ද කරන්නේ, ඒකට උපරිම කැපවීමක් දෙන්න. සියයට සියයක්ම තමන් කළ යුතු දේ හරියට කරන්න. ලංකාව කියන්නේ හොඳ මිනිස්සු සිටින බුද්ධිමත් මොළ තියෙන රටක්. ඒ සම්පත්වලින් අපි ප්‍රයෝජන ගනිමු.”
සඳුන් ගමගේ