දෙදහස් වතාවක් මනාලියක් වුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දිනූෂා සිරිවර්ධන වෙළෙඳ දැන්වීම් සහ ගීතමය රූප රචනා වගේම මනාලියන් නිරූපණයෙන්  කලා ක්ෂේත්‍රයට පැමිණි කලා ශිල්පිනියක්. ස්වාධීන රූපවාහිනියේ විකාශනය වූ නෙතූ ටෙලි නාට්‍යය හරහා රංගන ක්ෂේත්‍රයට එකතු වූ ඇය නෙතූ චරිතය හරහා විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක්ද දිනාගැනීමට සමත් වුණා.

තමන්ට ලැබෙන අවස්ථාවලින් බොහෝ චරිත සොයා යන ටෙලි නාට්‍ය ශිල්පිනියන් අතරේ දිනූෂා ටිකක් වෙනස් චරිතයක් කිවහොත් නිවැරැදියි. දිනූ මේ වෙනකොට කුඩා දියණියකගේ මවක්.  දිනූ එක්ක කවරය සරසන්න එකතු වුණු පුංචි අමුත්තිය තමයි ආරාධ්‍යා ෂයිනි.

අම්මට වඩා දූ ජනප්‍රියයි නේද?

අම්මෝ ඔව්. මම කොහේට ගියත් හැමෝම අහන්නේ ආරාධ්‍යාව. දැන් හරිම කෝලම් මල්ලක්.

දිනූ බලාපොරොත්තු වුණේ දුවෙක්මද?

දුවෙක්ට තමයි හීන මැව්වේ. ඒ වගේම රෝස මලක් මට ලැබුණා. 

දිනූෂාගේ කලාව පැත්තේ වැඩ කටයුතු කොහොමද?

දුවට දැන් අවුරුදුු දෙකයි. දූ ලැබුණට පස්සේ මම නිරූපණ කටයුතු ඇරෙන්න ටෙලි නාට්‍ය නම් භාරගත්තෙම නැහැ. මේ දවස්වල නම් වැඩි කාලයක් ගත වෙන්නේ දුවත් එක්ක. දුව ලැබිලා මම මාසෙන් වගේ නිරූපන කටයුතු පටන් ගත්තා. ඇත්තටම දරුවෙක් ලැබුණා කියලා මගේ ඇඟ මහත් වෙලාා වෙනස් වුණේ නැහැ. මම හිතන්නේ ඒක නම් පෙර කරපු පිනක්.

දිනූව වැඩිපුරම දකින්නේ මනාලියන් නිරූපණයෙන්. මේ වෙනකොට අවස්ථා කියක් විතර මනාලියක් ලෙස හැඩගැන්විලා තියෙනවාද?

මනාලියක් ලෙස හැඩ ගැන්වුණු අවස්ථා ගණන දෙදහක් විතර ඇති. මම රඟපානවටත් වඩා ආසම මනාලියන් නිරූපනයට. ඉස්සර නම් මනාලියක් විදිහට කීප වතාවක් අඳින්න හොඳ නැහැ. නළල් තැල්ල කීපවතාවක් තියන්න හොඳ නෑ වස් වදිනවා වගේ දේවල් කියපු අයත් හිටියා. ඒත් මගේ අක්කාත් නිරූපන ක්ෂේත්‍රයේ හිටපු නිසා මගේ අම්මා මම මනාලියන් නිරූපනය කරනවාට ගොඩක් කැමැති වුණා. ඒ මතවල සත්‍යතාවක් නැහැ.

නෙතූ ටෙලි නාට්‍යයෙන් පස්සේ ඇත්තටම දිනූට මොකද වුණේ?

නෙතූ ටෙලි නාට්‍යයෙන් තමයි ප්‍රේක්ෂකයෝ මාව හොයන්න ගත්තේ. ඒත් මම ගොඩක්ම ජනප්‍රිය වුණේ වෙළඳ දැන්වීම් හරහා. නෙතූ ටෙලි නාට්‍යයෙන් පස්සේ. මම විවාහ වුණා. දුව ලැබුණා. ඒවා එක්ක ටෙලි කාට්‍ය නිර්මාණ නම් බාරගන්න බැරි වුණා.

විවාහයත් එක්ක කලා ගමන නතර වෙයි කියලා හිතුවේ නැද්ද?

මට බයක් දැනුනා. හැමදේම නතර කරන්න වේවි කියලා. ඒත් මගේ සැමියාත් කලාවට සම්බන්ධ නිසා ඔහු තුළ හොඳ තේරුම් ගැනීමක් තිබුණා. ටෙලා නාට්‍යවලින් නම් මම ඈත් වුණේ මගේ කැමැත්තෙන්මයි. ඒත් ටෙලි නාට්‍යවලට ලැබෙන ආරාධනා නම් අඩුවක් නැහැ. ටෙලි නාට්‍ය තෝරා ගනිද්දී නම් දහස් වාරයක් හිතනවා. 

නදීශා අතුකෝරළ
ඡායාරූප සජීව ලක්ෂාන්