තවම මම ප්‍රේමවන්තියක් නෙවෙයි. මම මගේ ආදරය සොයමින් සිටින්නෙ
‘ඇය ආදරයේ දෙව්රුවයි, ආශාවේ වියරුවයි’ එලෙසින් තේමා කර ගත්ත, Second Show (සෙකන්ඩ් ෂෝ) සිනමා නිර්මානය මේ දිනවල තිරගත වෙනවා. ඉන්දීය සිනමා අධ්යක්ෂ ඒ.ටී. ඥාණම් අධ්‍යක්ෂණය කළ සෙකන්ඩ් ෂෝ චිත්‍රපටයේ හේමාල් රණසිංහ ප්‍රධාන චරිතය රඟපාන අතර, ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට අමුත්තියක නොවූ ‘පල්ලවී සුභාෂ්’ අනෙක් ප්‍රධාන චරිතයට දායකව සිටින වග සඳහන් කරන්න පුළුවනි. ඒත් අද මේ කතා බහ හේමාල් සහ පල්ලවී එක්ක නොවෙයි. සෙසු ප්‍රධාන චරිතයකට දායකව සිටින සුරූපී ඉන්දීය නිළියක වන, අාක්ෂතා සොනවනී සමගයි.
අාක්ෂතා සොනවනී යනු ඉන්දියානු නිළියක, නිරූපිකාවක සහ රූපවාහිනී නිවේදිකාවකි. ඇය වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ 2017 වසරේදී, MTV (Splitsvilla) සීසන් - 10 රියැලිටි වැඩසටහනට දායකවීම නිසාය. ඉන්පසුව ඇය තවත් ජනප්‍රිය වූයේ, විවිධ සංගීත ලේබල යටතේ, වීඩියෝ ඇල්බම් පහකට පමණ දායකවීම නිසාය. අාක්ෂතා සිනමාවට පැමිණියේ, මෙම වසරේදීම තිරගතවීමට නියමිත පෝස්ටර් (තෙළිඟු) චිත්‍රපටය සමගය. ඊට අමතරව තවත් තෙළිඟු චිත්‍රපටයක (Kahaara Sagara Madhanam) චිත්‍රපටයේ චරිතයකට දායක වූවාය. අාක්ෂතා මෙම ‘සෙකන්ඩ් ෂෝ’ චිත්‍රපටයේ රඟපාන්නේ ‘රෝෂිනී’ නමැති චරිතයයි.
අාක්ෂතා ඔබගේ නාමයෙහි තේරුම?
මම මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට අයත්. ඉතින් ඒ නම මහාරාෂ්ට්‍රයේ නමක්. හරිත මංගල්‍යය (Wedding Greens) එහි තේරුම කියලා කියන්න පුළුවනි.
ඉන්දියාවේ කොහෙද පදිංචිය?
මුම්බායි නුවර. මගේ උපාධිය ලබාගත්තෙ මානව සම්පත් අංශයෙන්. ඉන්පසුව තමයි කලා ක්ෂේත්රයට ආවේ. මුලින්ම පටන් ගත්තෙ ටෙලිවිෂනයෙන්. චිත්‍රපට ක්ෂේත්රයට ආවේ ඉන් පසුවයි. මූලිකව එහිදී මම දායක වන්නේ ‘තෙළිඟු’ නිර්මාණවලටයි. ඊට අමතරව දමිළ සහ සිංහල චිත්‍රපටවල රඟපෑමට ලැබීම ගැන සතුටුවෙනවා.
රඟපෑම් ගැන මුලින්ම හිත යොමු වුණේ?
මම හිතන්නෙ මගේ පාසල් කාලයේදීමයි. අවුරුදු 19 දී තමයි. ටෙලිවිෂනය ඔස්සේ නිරූපනයට අවස්ථාව ලබාගත්තෙ. ඉන්පසුව MTV එකේ රියැලිටි ‘ෂෝ’ එකෙන් පසුව ඇයි මටත් රඟපාන්න බැරි කියලා හිතුවා. රියැලිටි ‘ෂෝ’ එකට තරගකාරියක ලෙස තරග කිරීමෙන් පසුව බොහෝ දෙනා අතර ජනප්‍රියවීම එක්ක, පූරි (Puri) නිර්මාණ ඒජන්සියක් සමග හොඳ සම්බන්ධයක් ඇති කළමනාකාරවරයෙක් හඳුනාගන්න ලැබුණා. එයා හයිද්‍රාබාද් සිට වැඩ කරන්නෙ. එයාලට හයිද්‍රාබාද් ෆිල්ම් එකක් කරන්න ඕනෑ වුණා. ඒ විදියට තමයි මට කොලිවුඩ් සිනමාවට ඒමට අවස්ථාව ලැබුණේ. දැනට මම රඟපෑ චිත්‍රපට තුනක් තිරගතවී තිබෙනවා. තවත් තෙළිඟු චිත්‍රපටයක් සහ ‘සෙකන්ඩ් ෂෝ’ දමිළ සහ සිංහල චිත්‍රපටය දැන් තිරගත වෙනවා.
මේ විදියට දමිළ, තෙළිඟු, සිංහල සහ හිංදි නිර්මාණවලත් රඟපෑමට ලැබී තිබෙන ‘අාක්ෂතා’ ගේ ඉදිරි අරමුණු මොනවාද?
විවිධ භාෂා යටතේ නිර්මාණය වන චිත්‍රපට සහ නිර්මාණවලට දායකවීම මගේ අරමුණයි. මොකද ඒ නිසා ලෝකයට වඩාත් සමීප වෙන්න පුළුවනි. විවිධ සංස්කෘතීන් හඳුනාගන්න පුළුවනි. ‘භාෂාවන්’ දැන ගන්න පුළුවනි. ඒක හැමෝටම ලැබෙන අවස්ථාවක් නෙවෙයිනෙ.
මීට පෙර ලංකාවට ඇවිත් තියෙනවාද?
මීට අවුරුදු හතරකට විතර පෙරදී නිවාඩු කාලය ගත කිරීමට මෙහි ආවා. එදා මම තනියම ආවේ. ශ්‍රී ලංකා ටුවරිසම් ආයතනය තමයි මට අනුග්‍රහය දැක්වූයේ. මම දින 6 ක් හිටියා. යාල ගියා, ‘බීච්’ එකට ගියා. ඒක හරිම සුන්දර සංචාරයක් වුණා. දින 6 හැරෙන්නත් මදි. මේ රට කොච්චර නම් ලස්සනද කියලා එදා මට හිතුණා. ඒ නිසා ආයෙත් එන්නට ඕනෑ කියලා මගේ හිත නිතරම කිව්ව දෙයක්.
ලංකාවෙ වැඩිපුරම ආස කොහේටද?
‘වෙරළට’ ලංකාවේ වෙරළ තමයි මට නම් සුන්දරම.
ඉන්දියාවේ වගේම, ලංකාවේ අයටත් ක්‍රිකට් පිස්සුවක්, උමතුවක් තියෙන්නේ? ‘අාක්ෂතා’ කොහොමද?
මම නම් ක්‍රිකට් එක්ක එච්චර ලොකු බැඳීමක් නැහැ. මගේ උපාධිය කළ කාලයේදී ‘බාස්කට් බෝල්’ ක්‍රීඩා කළා. මගේ ආසම ක්‍රීඩාව බාස්කට් බෝල්.
උපාධිධාරිණියක වන ඔබ, රඟපෑම හැර වෙනත් රැකියාවක් කරන්න කැමති නැද්ද?
රැකියාවක් කරන්නත් ආසයි. මානව සම්පත් කළමණාකරණය අංශයෙන් ඉගෙනගත් නිසා මගේ දැනුම ලබාදෙන්න ආසයි. කළබලයක් නැහැ. මොකද තවම මම බොහොම තරුණ වයසේ ඉන්නෙ.
‘අාක්ෂතා’ ගේ පවුලෙ විස්තර?
මගේ අම්මා ගෘහණියක්. තාත්තා පරිගණක ක්ෂේත්රයේ (DSP) කටයුතු කරනවා. මට ඉන්නෙ බාල සහෝදරයෙක් විතරයි. එයා තවම ඉගෙන ගනිමින් ඉන්නෙ.
කොහොමද ‘ආක්ෂතා’ ගෙ ආදරය?
ම්ම්.... තවම මම ප්‍රේමවන්තියක් නෙවෙයි. මම මගේ ආදරය සොයමින් සිටින්නෙ. මට ආදරයක් තිබිලා තියෙනවා. ඒත් දැන් මගේ සම්පූර්ණ අවධානය තියෙන්නෙ රංගනය සහ මගේ වෘත්තිය වෙනුවෙන් විතරයි.
ආක්ෂතාට ජීවිතය දැනෙන්නේ මොන විදියටද?
ජීවිතය කියන්නෙ ගමනක්. ඒ ගමනේදී ඒ මොහොතට වඩාත් අවංක වෙමින්, ජීවිතය සතුටු වීම සහ සතුටින් ගෙවීම මගේ විදියයි.
‘සෙකන්ඩ් ෂෝ’ චිත්‍රපටයේ රඟපාද්දී ඔබගේ මතකයන්, මොන වගේද?
‘සෙකන්ඩ් ෂෝ’ චිත්‍රපටයේ රූගත කිරීම් වෙනුවෙන් දින 30 ක් විතර ලන්ඩනයේ සිටියා. ඒ කාලය හරිම සුන්දරයි. හේමාල් සහ අපේ මේක් අප් ආටිස්ට් එක්ක ලොකු මිත්‍රත්වයක් ඇතිවුණේ ඒ කාලයේදීයි. අපි ලන්ඩනයේ විවිධ තැන්වල විවේකයේදී ගියා. ජර්මන් මාකට් එක අපේ ප්‍රියතම ස්ථානයක්.
කොහොමද හේමාල්?
දර්ශන තලයේදී නම් එයා හරිම සීරියස් කෙනෙක්. ඉන් පසුව නම්, එයා හරිම මිත්‍රශීලී, හරිම හොඳ කෙනෙක්.
‘අාක්ෂතා’ ට භාෂා කීයක් කතා කරන්න පුළුවන්ද?
ඉංග්‍රීසි, හිංදි මගේ මව් භාෂාව වන මරාති සහ තෙළිඟු භාෂාව පුළුවනි. දමිළ තරමක් දුරට පුළුවනි. සිංහල භාෂාවෙ වචන කීපයකුත් පුළුවනි.
ලංකාවේ ඔබගේ කැමතිම ආහාර – පාන මොනවාද?
මම ආසම ඉස්සන්ට. ලංකාවේ ඉස්සන් ඕනෑ තරම් කන්න ආසයි. ‘සී-ෆුඩ්’ තමයි මගේ ප්‍රියතම.
අද ‘සෙකන්ඩ් ෂෝ’ මෙහේ තිරගත වෙනවා. කොහොමද ඒ හැඟීම?
තමන්ගෙ රටේ නොවී, වෙනත් රටක, තමන්ගේ රූප සහිත පෝස්ටර් දකිද්දී මිනිස්සු මා දිහා බලද්දී රසික ප්‍රතිචාර ලබද්දී දැනෙන සතුට වචනයෙන් විස්තර කරන්න බැරි තරම්.
ලංකාවේ ඔබගේ ප්‍රියතම චරිතය?
කෞෂල්‍යා මැඩම්. කෞෂල්‍යා වික්‍රමසිංහ මැඩම් ඇත්තටම හරිම හොඳ කෙනෙක්. ඇය එක්ක ඉන්නකොට මට මගේම ගෙදර ඉන්නවා වගේ දැනෙන්නෙ. අපිව හොඳින් බලා ගන්නවා. ඇය වගේ කෙනෙක් හඳුනා ගැනීම මට ලොකු ගෞරවයක්.
සටහන/ඡායාරූප: සඳුන් ගමගේ