තෝර් වගේ වෙන්න ආස සචින් ලියනගේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

'කියා දෙන්න ආදරේ තරම්' ටෙලි නාට්‍යයේ නිර්වාන් ලෙස මේ දිනවල ඔබ අතර වඩාත් ජනප්‍රිය සචින් ලියනගේට අපි මෙවර සාරවිට තුළින් මෙසේ ඉඩක් වෙන් කළා. නිරන්තරයෙන්ම තරුණ පිරිසගේ අවධානය දිනාගන්නා රංගන ශිල්පියෙකු වන සචින්ගෙන් අප අද ඇහුවේ වෙනස්ම විදිහේ ප්‍රශ්න කිහිපයක්.

සචින් කියන රංගන ශිල්පියා මොන වගේද?

සාමාන්‍ය ජිවිතයක් ගෙවන ඉතා සරළ ගති පැවතුම් තියෙන කෙනෙක්. ඒ වගේම තමයි ඕනැ දෙයක් කෙලින් කතා කරන ඔලුව උස්සගෙන කාටවත් කරදරයක් නැතුව පොළෙවේ පය ගහලා ජිවත් වෙන තරුණයෙක්.

ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න හීන මවපු සචින් දැන් කලා තරුවක් වෙලා?

අදටත් ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙන් ඉදිරියට යන අදහස මම අත්හැරලා නැහැ. දැනටත් මම වත්තල ඇන්තෝනියන්ස් ක්‍රිකට් සමාජයට සම්බන්ධ වෙලා ක්‍රීඩා කරනවා. මම හිතන්නේ නැහැ කවදාවත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන හීනය මගෙන් ඈත්වෙයි කියලා. නමුත්, කුමක්දෝ වාසනාවකට මට අහම්බෙන් කලාව පැත්තටත් අද වෙන කොට යොමු වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් හැම දෙයක්ම සතුටින් සමබරව කරගෙන යන්න තමයි අදහස.

වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සචින්ගේ අදහස මොකක්ද?

දැන් ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ තත්ත්වයක තියෙනවා කියලා මට හිතෙනවා. අදටත් අපි ක්‍රිකට් තරග පැරදුණත් ඉදිරි කාලය අපිට ගොඩක් සුබවාදි වෙයි කියන බලාපොරොත්තුවේ මම ඉන්නවා. වර්තමාන කණ්ඩායමේ දක්ෂ තරුණ ක්‍රීඩකයෝ ටිකක් ඉන්නවා. උනන්ඳුවෙන් ක්‍රීඩා කළොත් අපිට ඕනැම කණ්ඩායමක් පරාජයට පත් කරන්න පුළුවන්.

විදෙස් සිනමාවකට සම්බන්ධ වෙනවා නම් සචින් තෝරගන්නේ මොකක්ද?

මම කැමතියි හොලිවුඩ් සිනමාවට. ගොඩක් වෙලාවට මට විවේකයක් ලැබුණොත් මම නරඹන්නේ හොලිවුඩ් චිත්‍රපට. විශේෂයෙන්ම ක්‍රියාදාම ඒවා. බොලිවුඩ් සිනමාවටත් මගේ අකමැත්තක් නැහැ. නමුත්, මට දැනෙන දෙයක් තමයි දැන් බොලිවුඩ් සිනමාව තරමක් ඒකාකාරි වෙලා. එකම කතා තමයි බිහි වෙන්නේ. ඒ වගේම තෙළෙඟු සිනමාව දැන් බොලිවුඩ් වලට වඩා දියුණු වෙලා ඉදිරියට ඇවිල්ලා තියෙනවා.  

රංගන ශිල්පිණියක් සමග රඟපාන්න ලැබුණොත් කවුද සචින්ට ගැළපෙන්නේ?

එමා වොට්සන්. මම පොඩි කාලේ ඉඳලාම එමාට කැමතියි. ඇයට තියෙන කැමැත්ත නිසාම මම හැරී පෝටර් චිත්‍රපට හැම එකක්ම කිහිප සැරයක් බැලුවා. එයාත් එක්ක රඟපාන එක නම් හීනයක්. නමුත්, ඇය එක්ක රඟපාන්න අවස්ථාවක් ලැබුණොත් එකපයින්ම මම ඊට කැමති වෙනවා.

හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටවලට කැමතියි නේද. ඇවෙන්ජර්ස් තරුවකට ඔබ තෝර ගත්තොත්?

එහෙනම් මම කැමතියි තෝර්ට පෙනි ඉන්න. තෝර් කියන්නේ ඉතින් අඩි හයක් හතක් උස හොඳ ශක්තිමත් ශරිරයක් තියෙන කඩවසම් කෙනෙක්. හැබැයි ඉතින් ඒ චරිතය මට ගැළපෙන්නේ නැහැ කියලා හිතෙනවා. ගොඩක් වෙලාවට මාව ටෝනි ස්ට්‍රාක් (අයන් මැන්) වගේ චරිතයකට නම් ගැළපෙයි.

නිතරම මේ දවස්වල සචින් කියන ගීතය මතකද?

සඳුන් පෙරේරාගේ ඔබ මගේ හදවතේ කියන ගීතය. ඒ ගීතයට මම ගොඩක් කැමැතියි. හේතුව ඒ පද ටික ලස්සනයි. අනික සඳුන්ගේ හඬට ගැළපෙන විදිහට ලස්සන ගී තනුව සංගීතය නිර්මාණය කරලා තියෙනවා. මේ දවස්වල නම් මේ ගීතය මගේ කටේම තියන එකක්.

බුද්ධික සේනාධීර