තරිඳුගෙන් කළුවරේ උපන් දින කේක් එකක් - චන්දිමා කරුණාදාස



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

චන්දිමා දක්ෂ කලාකාරියක්. අද වෙද්දි මෙයාට (චන්දිමා) කියලා කියනවාටත් වඩා (ඩාලිං අක්කා) කිව්වොත් නම් බොහෝ දෙනා හඳුනනවා. ජයප්‍රකාශ් සිවරුගුනාදන්ගේ අධ්‍යක්ෂණයක් වන (පාර දිගේ) ටෙලිනාට්‍යයේ වෙනස්ම විදිහේ අපූරු චරිතයක් වන ඩාලිං අක්කට පණ පොවන්නේ චන්දිමා කරුණාදාසයි. පසුගිය උපන් දිනේට චන්දිමාට එයාගේ සැමියා අමතක නොවන උපන් දින සප්‍රයිස් එකක් දුන්නා කියලයි චන්දිමා අපිට කිව්වෙ.

''පුංචි කාලේ, ඉස්කෝලෙ කාලේ මගේ උපන් දිනය පුංචියට සැමරුවට ලොකුවට උපන් දින සාද විදිහට නම් සමරලා නැහැ. හැබැයි මම විවාහවෙලා තරිඳු එක්ක වෙනම පදිංචියට ආවට පස්සෙ එයා හැම අවුරුද්දෙම පෙබරවාරි 16 මගේ උපන් දිනයට මාව සප්‍රයිස් කරනවා. මේ අවුරුද්දෙ මගේ උපන් දිනය දවසේ මම (පාර දිගේ) නාට්‍යයේ ෂූටිං හිටියෙ. උදේ පාන්දර ගෙදරින් ගියාම ෂූටිං ඉවරවෙලා රෑ තමයි ගෙදර එන්න වෙන්නෙ. මුලදි නම් තරිඳු උපන් දින දවසේ මම ෂූටිං යනවට කැමති වුණෙත් නැහැ. හැබැයි දින ගැටලුත් එක්ක මට එදා යන්න වුණා. එදා මාව ගන්න රූගත කිරීම් කරන තැනට ආවේ තරිඳුගේ අක්කයි දුවයි. එදා තරිඳු මාත් එක්ක එළියට යන්නයි කතාවෙලා හිටියෙ. කොහොමටත් මම ආසයි තරිඳු එක්ක රෑවෙලා නිදහසේ ඇවිදින්න. ඒ නිසා මම ඒකට කැමතිවෙලයි හිටියෙ. අපි ගෙදරට යද්දි ගෙදර (ලයිට්) නැහැ. දුව කිව්වෙ ''කරන්ට් ගිහින්'' කියලයි. ඉතින් අපි ගේ ඇතුළට ගියාම එකපාරටම (ලයිට්) දැම්මා. ඒ වෙලාවෙ ගේ පිරිලා කට්ටිය හිටියා. තරිඳු හැමදේම ලෑස්ති කරලා තිබුණා. එදා මට පුදුම සතුටක් දැනුණා.''

පොත පතට වැඩි නැඹුරුවක්

ඩාලිං අක්කගේ කට ඔයාලට මතකයිනෙ. කියවිල්ලේ ඉවරයක් නැහැ. හැබැයි ඔයාලා විශ්වාස කරනවද චන්දිමා කියන්නෙ පාසල් ජීවිතේ හරිම නිහඬ, තමන්ගෙ පාඩුවේ හිටපු ළමයෙක් කියලා. අපිටත් විශ්වාස කරන්න බැහැ. හැබැයි එයා කියන්නෙ නම් එහෙමයි.

''පාසලේදි නම් මම එහෙම රණ්ඩු කරන චරිතයක් නෙමෙයි. යාළුවෝ එක්ක එකතුවෙලා හිටියට මම ඒ කාලෙ එහෙම ඒ තරම් සමාජශීලී කෙනෙක් නෙමෙයි. හැබැයි මම මගේ අධ්‍යාපන කටයුතුවලට මුල්තැන දුන්නා. මම ඉගෙන ගත්තෙ පූනෑව මහ විදුහලෙයි. ඊට පස්සෙ මැදවච්චිය මෛත්‍රීපාල සේනානායක ජාතික පාසලෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබුවා. ඒ හැම පාසලකදිම මම මුල්තැන දුන්නෙ අධ්‍යාපනයටයි.''

මම හොඳටම ඇඬුවා නින්ද නොගිය රැයක්

චන්දිමාගෙ උපන් ගම අනුරාධපුර පූනෑව ප්‍රදේශයයි. හැදුණෙ වැඩුණෙ ඒ ගම්මානයෙයි. පුංචි කාලෙදි දවසක් දෙකක් ගමෙන් කොළඹට ආවට චන්දිමා කොළඹ ආපු පළමු ගමන විදිහට ඇයට මතක් වෙන්නෙ කැලණිය විශ්වවිද්‍යාලයට ආපු පළමු දවසයි.

''අම්මයි තාත්තයි අක්කලයි එක්ක හැදුණු මම ඒ වෙද්දි ඒ අය නැතිව එක දවසක් එක රැයක් තනියම නැවතිලා ඉඳලා නැහැ. මම මුලින්ම විශ්වවිද්‍යාලයට ආවෙ මගේ තාත්තයි මගේ අක්කා බැඳලා ඉන්න අයියයි එක්ක. තාත්තලට නේවාසිකාගාරය ඇතුළට යන්න දුන්නෙ නැහැ. ඒ නිසා ගමෙන් ගෙනාපු ලොකු බෑග් එක තාත්තා මට දෙද්දි මම හයියෙන් ඇඬුවා. ඒ බෑග් එක ලොකුයි. බරයි. මට ඇතුළට අරගෙන යන්නත් අමාරුයි. මම තාත්තලව දාලා යන්න බැරිව ඇඬුවා. එදා රෑ එක තත්ත්පරයක් නින්ද ගියේ නැහැ. ඇස් දෙකේ කඳුළු නැති එක තත්ත්පරයක් තිබුණෙ නැහැ. මම ගෙදරට ඇමතුම් අරගෙන ''මට ඉන්න බැහැ'' කියලා අඬමින් කිව්වා. විශ්වවිද්‍යාලයේ පළමු වසරේදි හැමදාම සිකුරාදාට මම ගමේ ගිහින් සඳුදා ආවා. සමහර පාඩම් පවා ඒ කාලේ මඟහැරුණා. පස්සෙ ටිකෙන් ටික මම විශ්වවිද්‍යාල ජීවිතයට පුරුදු වුණා.''

අපූරු (රැග්)

''විශ්වවිද්‍යාල ජීවිතය හරි සුන්දරයි. ඒ කාලේ අපිට අද වගේ දරුණු නවක වද තිබුණෙම නැහැ. හරි සුන්දර රැග් නම් තිබුණා. විශ්වවිද්‍යාලයේ මගේ විෂය වුණේ නාට්‍යකරණයයි. ඒ නිසා සෞන්දර්ය විෂයන්ට අදාළව අපිට සින්දු කියන්න දුන්නා. පොඩි පොඩි නාට්‍ය කොටස් කරන්න තිබුණා. හැබැයි ඒවා හරිම සුන්දර සිදුවීම්. විශ්වවිද්‍යාල ජීවිතය නිසා නාට්‍යවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. විශ්වවිද්‍යාලයේදි නාට්‍ය හා රංග කලාව විශේෂ උපාධිය තෝරාගනිද්දි අවුරුද්දකට නිර්මාණයක් කරන්නම ඕනෙ. පළමු වසරේ ඉඳිද්දි අපිට කෙටි නාට්‍ය කරන්න තිබුණා. ඒක තමයි මගේ පළමු රංගනය වුණේ.''

(ඩාලිං අක්කා) මම බලන්නෙ තනියම

''ඇත්තම කිව්වොත් මම රඟපාන චරිතයක් තවත් කට්ටිය එක්ක බලන්න අදටත් මට හරි ලැජ්ජයි. මට ඒ රංගනය නිදහසේ බලන්නයි ඕනෙ. ඒ මම කියන දෙබස්වල මගේ අඩුපාඩු තියෙනවද.. රංගනයේ අඩුපාඩු තියෙනවද කියලා මට දැනගන්න ඕනෙ. තරිඳුත් නාට්‍ය හා රංග කලාව හදාරපු කෙනෙක්. ඒ නිසා එයාගෙනුත් මගේ අඩුපාඩු හදාගන්න ගන්න තැන් තියෙනවා. ඉතින් අදටත් ඩාලිං අක්කව තවත් පිරිසක් එක්ක බලන්න මට ලැජ්ජයි. මම බොහෝ වෙලාවට ඒ නාට්‍ය YouTube එකෙන් බලන්නෙ.'' 

රුවන්වැලි සෑයෙදිත් ඩාලිං අක්කා ගාගෙන කට්ටිය ළඟට ආවා

ඩාලිං අක්කට ලැබෙන ප්‍රතිචාර ගැන ඉතින් කතා දෙකක් නැහැනෙ. චන්දිමා කියන්නෙ ඒ ආදරේ නම් පුදුමයි කියලයි.

''ඩාලිං අක්කට මාව සම්බන්ධ කර ගත්ත අධ්‍යක්ෂක ඇතුළු මුළු කණ්ඩායමටම ස්තූති කරන්න ඕනෙ. මගේ රංගන ජීවිතේදි මම කරපු විවිධ චරිතවලට විවිධ ප්‍රතිචාර ලැබුණා. ඩාලිං අක්කට මේ තරම් ප්‍රතිචාර ලැබෙයි කියලා නම් මම මුලදි හිතුවෙම නැහැ. මෑතකදි මම අනුරාධපුරේ රුවන්වැලි සෑය වඳින්න ගියා. එතන හිටපු අය (ඩාලිං අක්කා) කියලා ළඟට ඇවිත් හරිම ආදරෙන් කතා කළා. ඡායාරෑප ගත්තා. ඒ ආදරේ හරි සුන්දරයි.

දිශානි / සේයාරූ I සුමුදු හේවාපතිරණ