තමන් ආදරය කරන කෙනෙක් දිහා සතුටින් බලා ඉන්න පුළුවන් නම් හොඳයි
‘වොල්ගා’ යනු යුරෝපයේ ඇති දිගම ගංගාවය. මධ්‍යම රුසියාවෙන් පටන් ගෙන දකුණු රුසියාව දක්වා ගලා බසින වොල්ගා නදිය කැස්පියන් මුහුදට වැටෙන්නේ කිලෝමීටර් 3531 පමණ දුර ගෙවාය. ඒ යුරොපයේ වොල්ගා ය. මේ අපේ ලංකාවේ වොල්ගා ය. හැබැයි ඇය නම් ගඟක් නොවේ. මේ වොල්ගා හමුවන්නේ රංගන ක්ෂේත්රයේදී බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ දිනවල වොල්ගා කල්පනී අපට හමුවන්නේ, ‘පාර දිගේ’ සහ ‘මාණික්කාවත’ නාට්‍යයේ අන්ධ යුවතියකගේ චරිතයත් සමගය. එවැනි චරිතයක් ඉදිරිපත් කිරීම එතරම් ලෙහෙසි දෙයක් නොවේ. මනා සංයමයක් සහ චරිතය ගැන ඉතා හොඳ අවබෝධයක් තිබිය යුතුය. ‘වොල්ගා’ඒ අන්ධ තරුණියගේ චරිතය හරි අපූරුවට රඟපාන වග කිව හැකිය. ඉතින් මේ මොහොතේ ඇය සමග කතා කළ යුතුමයි නේද?
වෝල්ගා ජීවිතේ කොහොමද මේ දවස්වල?
රංගන ජිවිතය ගත්තොත් රංගන ජීවිතයේ වසන්තය කියලා කියන්න පුළුවනි. රංගන ජීවිතයේ වසන්ත කාලය ගෙවෙන අතරේ සාමාන්‍ය ජීවිතය කරදරයකින් තොරව, සැහැල්ලුවෙන්, පහසුවෙන් ඉන්නවා.
රංගන ජීවිතයේ වසන්ත කාලය කිව්වෙ?
එකවර එකිනෙකට වෙනස් ටෙලිනාට්‍ය දෙකක් විකාශය වෙනවා. සුදත් රෝහණ මහතාගේ මාණික්කාවත සහ ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගෙ පාරදිගේ. මේ චරිත දෙක සම්පූර්ණ දෙවිදියක්.
එහෙම නම් ඒ චරිත ගැන කතා කරමු. මුලින්ම මාණික්කාවතේ චරිතය?
මාණික්කාවත ගැන කතා වුණේ අවුරුදු තුනකට විතර පෙරදියි. ඊට පස්සේ පිටපත ලැබිලා, නවකතාව වගේම පිටපත කීප වතාවක්ම කියවලා තමයි චරිතයට ලැහැස්ති වුණේ. මුලින්ම ඒ ගැන මට කතා කරලා කිව්වේ සුදත් රෝහණ මහත්මයා. මාණික්කාවතේ ‘ගුණාදරි’ කියලා චරිතයක් තියෙනවා. ඒක රඟපාන්න වෝල්ගාට පුළුවනිනෙ කිව්වා. ඉතින් ඒ විදියට තමයි ‘ගුණාදරී’ වෙන්න අත්තිවාරම වැටුණේ. මාණික්කාවත වෙනුවෙන් ඒ පොත කීප වතාවක්ම මම කියෙව්වා. පසුව සුදත් රෝහණ මහතා වැඩ මුළු කීපයක් කළා. එතුමා නිර්මාණයක් වෙනුවෙන් පෙර සූදානම් වන විදිය ඉතා විශිෂ්ටයි. මම කරන්නෙ අන්ධ තරුණියකගේ චරිතයක් නිසා ඒ ගැන වෙනම සොයා බලන්න ඕනෑ වුණා. එහිදී සුගත් මහතා සහ එයාගෙ බිරිඳ (ඒ දෙදෙනා අන්ධ අඹු සැමි යුවළක්) එයාලා එක්ක දවස් කීපයක් සිටිමින් කතාබහ කරමින් ඔවුනගේ ජීවන රටාව මොන වගේද කියලා විපරම් කර බැලුවෙ, මගේ චරිතය ගොඩනගා ගන්නයි.
කොහොමද මේ අන්ධ චරිතය වෙතින් වෙල්ගා ලබාගත් අත්දැකීම්?
මම හිතන්නේ පෙනෙන අයට වඩා නොපෙනෙන අයට හැඟෙනවා-දැනෙනවා වැඩියි. මුලින්ම මම කළේ ඇස් වහගෙන ඒ අවස්ථාවේ රූගත කිරීමට පෙර පුහුණුවක් ලැබීමයි. අන්ධ අඹු-සැමි යුවළ ඇසුරු කළ නිසා ලොකු අත්දැකීමක් ලැබුණෙ. ඒ වගේම අධ්යක්ෂ සුදත් රෝහණයන් ලබාදුන් සුවිශාල සහයෝගය සහ ජගත් චමිල අයියා ලබාදුන් අගනා සහයෝගය, උපදෙස්, ගෞරවයෙන් සිහිපත් කිරීම හොඳයි. සුදත් රෝහණ මහතා එක්ක වැඩ කරද්දී හරිම විශේෂයි. එතුමා ශිල්පීන්ට මුල් තැන දී වැඩ කරන කෙනෙක්. එක පාරටම ටේක් එකට යන්නෙ නැහැ. ටේක් එකට පෙර සියලු දේ ගැන ඉතා හොඳින් විමර්ශනය කරලා තමයි යන්නෙ. ඒ කණ්ඩායමම හරි විශිෂ්ටයි. කල්තොට පළාතේ හරිම සුන්දර පරිසරයක රූ ගත කිරීම් කළේ. අව්ව තිබුණා, වැස්ස වැටුණා, කඳු නගින්න තිබුණා, පල්ලම් බහින්න තිබුණා. නමුත් ඒ කාලයට ආයෙත් යන්න ඇත්නම් කියලා හිතෙන තරමට සුන්දරයි. අපි ඔක්කෝම පාන්දරම ඇහැරිලා හරිම ආදරණියව, ආසාවෙන් දර්ශන තලයට ගියේ. සමහර අවස්ථාවලදී අධ්යක්ෂවරයා කැමරා කණ්ඩායමේ අයගේ බඩු භාණ්ඩ පවා උස්සාගෙන ගියා. ඒ තරමටම එකමුතුවෙන් කළ නාට්‍යයක්. ‘‘ගුණාදරී’ වගේ චරිත මේ සමාජයේ නැහැ. ඉන්නවා නම් මේ සමාජය හරි ලස්සන වේවි. වොල්ගාට සැබැ ජීවිතයේ දී ගුණාදරීගෙන් ඉගෙන ගන්න බොහෝ දේ තිබුණා.
වොල්ගාට සමාජය ලස්සන කරන්න ගුණාදරීට තරම් ගුණාංග නැද්ද?
එහෙම නොවෙයි මම කිව්වෙ. ගුණාදරී කියන්නේ ස්වභාවධර්මය තේරුම් අරගෙන පරිසරයට ආදරයෙන් ජීවත්වන චරිතයක්. අද කාලයේ මිනිස්සු පාරේ යන කොට ටොෆි කොළයක් හරි පාරට දානවනෙ. ඒත් එදා තාක්ෂණය දියුණු නැති ඒ කාලයේ ගුණාදරීලා තමුන්ගෙ බැඳීම්වලට තැන දුන්නෙ. අද කාලයේ මිනිස්සු වගේ හීනවලට නොවෙයි. හීනවලට යන්න නම් බැඳීම් රැකිලා තියෙන්න ඕන. තාක්ෂණය දියුණුවීම සහ මුදල් පසුපස හඹායාම නිසා බොහෝ විට මනුස්සකම් ගිලිහිලා ගිහින්. හැබැයි ගුණාදරීලා එහෙම නැහැ.
‘පාර දිගේ’ චරිතය ගැනත් කෙටියෙන් කියමු?
පාර දිගේ මම ටුටූ, මාව ක්ෂේත්රයට ගෙනාව සිවගුරුනාදන් මහතාගේ තවත් අපූරු නිර්මාණයක්. වැල්ලෙ ජීවත්වන යම්කිසි ප්‍රමාණයකට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ආදරේ නිසා ආදරේ ලබාගන්න ඕනෑම දෙයක් කරන, මනුස්සකම් අඩු චරිතයක්. ටුටූ අඳින පළඳින විදියත් වෙනස්. ටුටූ ව නිර්මාණය කළේ සද්ධාමංගල සූරියබණ්ඩාර සහ සිවගුරුනාදන් මහතා.
‘වොල්ගා’ අද දවසේ රඟපෑම් විතරද කරන්නෙ?
වීව්ලොග් බයි වොල්ගා (Vlog by Volga) නමින් ඔන්ලයින් ඇඳුම් ව්‍යාපාරයක් කරගෙන යනවා. හැබැයි ඇඳුම්වල මිල නම් සුපිරි නැහැ. ඕනෑම කෙනෙක්ට මිලදී ගන්න පුළුවන් සුපිරි ඇඳුම්.
වොල්ගා, රඟපෑමට නෑවිත් සිටියේ නම්?
එහෙම නම් ව්‍යාපාරික කාන්තාවක් වේවි.
අද වනවිට නළු නිළියන් පොකුරු - පොකුරු මොකද හිතෙන්නේ? ඒක හොඳද ද? නරකද?
ඕනෑ කෙනෙක්ට එන්න පුළුවන්. ඇවිත් ටක් ගාලා ජනප්‍රිය වෙලා ටක් ගාලා නැතිව යන්න පුළුවන්. ඒත් වැදගත් වෙන්නේ පැවැත්මයි. පැවැත්මක් ඇති විදියෙ චරිත සිටිනවා. ඒ අතරින් තිසුරි යුවනිකා, ශලනි තාරකා ඉතාම ලස්සනට එය පවත්වාගෙන යනවා. සජිත ඇන්තනී දුර්ලභ ගණයේ ඕල් රවුන්ඩර් කෙනෙක්. ඒ වගේ අපූරු චරිත මේ ක්ෂේත්රයේ සිටිනවා. පොකුරු පිටින් පිරිසක් සිටියත්, පැවැත්මක් ඇති අය ඉන්නේ අතළොස්සයි. කොහොම වුණත් කලාව කියන්නේ සුන්දර තැනක්. කාටවත් ඊර්ෂ්‍යාවක් නැති තැනක්.
වොල්ගා, අද නිවේදන කටයුතු කරන්නේ නැද්ද?
දැනටත් එක් එක් නාලිකාවල විශේෂ වැඩසටහන් සහ විශේෂ අවස්ථා වගේ දේ නිවේදනය කිරීමට එක්වෙනවා. නමුත් දීර්ඝ කාලීනව ඒ දේ කළේ නැහැ. ඒක අතාරින්න කැමතිත් නැහැ. හොඳ දෙයක් දිගටම කරන්න ලැබුණොත් බාර ගන්නවා. ක්ෂේත්රයට ආ දවසේ ඉඳලාම මට රංගනයේදී විවිධ විවිධ චරිත ලැබෙන්නෙ. ඒ අතින් මම වාසනාවන්තයි. මම මෙතෙක් රඟපෑ පොඩි චරිතයකට පවා මම ආදරය කරනවා.
ආදරේ, ජීවිතේ මොකක්ද මේ?
ජීවිතේ කියන්නෙ දුක-සැප සියල්ල එක්ක ගලා යන දෙයක්. ආදරය කියන්නේ ලබා ගැනීමම නොවූ දෙයක්. තමන් ආදරය කරන කෙනෙක් දිහා සතුටින් බලා ඉන්න පුළුවන් නම් හොඳයි.
‘වොල්ගා’ අද වනවිට ජීවිතයට ලබාගත් අත්දැකීම් එක්ක වොල්ගා ගැන හිතන්නෙ කොහොමද?
මට හිතෙන විදියට බොහොම සරල කෙනෙක්. අනෙක් හැමවිටම හොඳින් ඉන්න ඕනෑ කියලා හිතන කෙනෙක්.
අඩු පාඩු ලෙස දකින්නෙ?
ළඟ සිටින අය අසීමිතව විශ්වාස කරන කෙනෙක්. ඒක මගේ අඩුපාඩුවක්.
වොල්ගා නිතරම හිතන්නේ තමුන් හරි කියලද?
නෑ.. නෑ.. මම එහෙම හිතන්නේ නැහැ.
සඳුන් ගමගේ / ඡායාරූප - සජීව ලක්ෂාන්