තාත්තා හිතක් රිදෙව්වනම් ඒ රිදෙව්වෙත් ආදරේටමයි - අනුරාධා නන්දසිරි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දෙසවනට බොහෝ ප්‍රිය වන්නා වූ දෙය ඇසීමට ඇති කැමැත්ත යනු මිනිසුන් වන අපගේ ස්වභාවයකි. ඒ අතරින්ද තම නම ඇසීම කෙනෙකුට කොතරම් අගයක්ද? එලෙසම රටක්ම දන්නා අසා ඇති ජනප්‍රිය ගීතයක තම නමින්ම ඇසෙන විට එය කොතරම් සුවිශේෂිද? 

දූ අනුරාධා...

මෙරට ගීත කලාව තුළ ඇති කෙටිම ස්ථායී කොටස සහිත ගීතය ලෙසද “දූ අනුරාධා” ගීතය සැලකෙන බවයි ගීතයේ සැබෑම හිමිකාරිනිය නිශාමනි අනුරාධා නන්දසිරි හදසරට කිව්වේ.

“මට නම තබා තියෙන්නේ කරූ මාමා. (ප්‍රවීණ ගීත රචක කරුණාරත්න අබේසේකර) මා ඉපිද තිබෙන්නේ අනුර නැකතින්. රාත්‍රියට මාණික්‍ය, සඳක් යන අරුතින් තමයි ඔහු මට නිශාමනි කියා නම යොදලා තියෙන්නේ. මට වයස මාස දහයක් වගේ කාලේදි අම්මයි (ප්‍රවීණ ගායන ශිල්පිනි මල්කාන්ති නන්දසිරි), තාත්තයි (අපෙන් සමුගත් ප්‍රවීණ ගායන ශිල්පී මහාචාර්ය සනත් නන්දසිරි) දෙදෙනා ප්‍රසංගයකට එක්වූ වෙලාවකදි තාත්තට දූ අනුරාධා... කියන කොටස ගයා තිබෙනවා. ඉතින් තාත්තා අම්මට කියලා තියෙනවා, එය ලියා තබන්න කියලා. මම හිතන්නේ ස්වර ප්‍රස්ථාරය ලියන්න කියලා නම් කරලා තියන්න ඇති. ඊටපස්සේ ගෙදර ආවම අපේ නිවසේ යාවජීව සාමාජිකයෙක් වූ මගේ මව්පියන්ගේ අතිශය සහෘද හිතවතෙකු වූ බුද්ධි මාමාට (ප්‍රවීණ කිවියර බුද්ධදාස ගලප්පත්ති) කියා ගීතය ලියවාගෙන තිබෙනවා. ඒ ගීතයේ තැනක තියෙනවා 

“පිය රජු ලෙස මා කිරුළ දරා 
රජ වෙමි මාගේ දිවි තිබෙන තුරා” 

කියා කොටසක්. එම අදහස තාත්තම කියලා බුද්ධි මාමා ලවා ලියවා ගත් වගයි මා අසා තිබෙන්නේ. 

ඒ අයුරින්ම, සැබෑ ජීවිතය තුළ මොන ආකාරයක ගැටලුවක් වුවත්, දුකක් වුවත් දැනෙන මොහොතක තාත්තා රජෙක් කියන හැඟීම දෙන්න මම හැකි තරම් උත්සාහ කළා. හරියටම කිව්වොත් තාත්තා ජීවත් වූ කාලය පුරාම මම ඒ හැඟීම ඔහුට දැනවීමට හැකි සියල්ල කරන්නට මහන්සි ගත්තා. ඔහු රජෙක් වගෙයි කටයුතු කළේ. දූ අනුරාධා ගීතය තාත්තගේ හදවතේ මා වෙනුවෙන් වූ ආදරය එක්වූ මම ආදරය කරන ගීතයක්. එය ඇසෙද්දි මගේ හිත නිහතමානී ආඩම්බරයකින් පිබිදෙනවා. ඒ පිබිදීම මගේ ජිවිතයට ලබා දෙන්නේ දැවැන්ත ශක්තියක්.

තාත්තයි අම්මයි “ස්වර්ණ කුණ්ඩල” ප්‍රසංගය සමඟ රට පුරා යද්දි මාවත් ගෙන ගියා. මගේ අම්මගේ අම්මයි, සකුන්තලා පුංචියි (සකුන්තලා පීරිස්) මාව බලාගන්නවා ප්‍රේක්ෂකාගාරයේ ඉඳන්. අම්මයි තාත්තයි වේදිකාවේ ගීත ගයනවා. මමත් හොඳින් අහගෙන ඉන්නවා කරදර නොකර. හැබැයි එයාලට මාව බලාගන්න බැරිම වෙලාවකුත් තිබුණා. ඒ තමයි ස්වර්ණ කුණ්ඩලි ප්‍රසංගයේ නිත්‍ය ගීතයක් වූ “දූ අනුරාධා” ගීතය මගේ තාත්තා ගයන වෙලාව. ඒ වෙලාවට මම වේදිකාවට යන්න හදනවලු අන්න තාත්තා මට කතා කරනවා කියලා. ඉතින් මාව බලාගන්න ආච්චිඅම්මා, පුංචි ඇතුළු හැමෝටම හරිම කරදරයිලු කියලා එයාලා මතක් කරනවා. තාමත් මම කොතැනක ගියත් අනුරාධා කියනවට වඩා දූ අනුරාධා යන නමින් හැමෝම මට කතා කරනවා. ඒ වෙලාවට මට මගේ තාත්තා ගැන දැනෙන ආදරණීය හැඟීම වචනවලට පෙරළන්න බැරි තරම්.

මෙරට සංගීත කලාව තුළ සනත් නන්දසිරි නාමය අමරණීයයි. එවන් සුවිශේෂ මිනිසෙකුගේ දියණිය වූ ඇය තම ආදරණීය පියාණන්ගේ නාමය සුරකිමින් ඉදිරියට යාම කොතරම් වගකීමක්ද?

“මගේ තාත්තා මහා වෘක්ෂයක්. ඒ සෙවණේ බොහෝ කුඩා වෘක්ෂයන් හටගත්තා. විශාල සිසු පරපුරකට මඟ කියූ තාත්තා ඒ හැමෝටම මට මෙන්ම ආදරය කළා. කිසිවිට කිසි කෙනෙකුගේ හිත නොරිදවන්නට කටයුතු කළා. බැරි වෙලාවත් තාත්තා අතින් කිසියම් කෙනෙකුගේ හිත රිදවීමක් සිදුවූවානම් ඒ ඔවුන්ගේම යහපත වෙනුවෙන්. තාත්තගෙත් අම්මගෙත් පරපුරක උරුමය සමඟ අලුත් නිර්මාණ කිරීමටත් මා බලාපොරොත්තු වෙනවා. පසුගිය කාලේ 2018 දී පමණ නම් අප ප්‍රසංගයක් පැවැත්වුවා “දූ අනුරාධා” නමින් නෙළුම් පොකුණ රඟහලේ. මගේ නිවසේම සිටින මගේ ඉර සඳ (මවයි, පියයි) දෙදෙනාගේ එළිය ලබමින්ම මගේ කලඑළි දැක්වීමක් ලෙසටයි අප එම ප්‍රසංගය සංවිධානය කළේ. එම ප්‍රසංගයේදි අප හිතවත් විදුර ඩයස් ලියූ, නදීක ගුරුගේ සංගීතවත් කළ දූ අනුරාධා ගීතයට නව අරුත් ගැන්වීමක් එක්වූ ගීතයක් ගායනා කළා. පිළිතුරු ගීතයක් නෙවෙයි. තාත්තා මට ගැයූ ගීතයට මා තාත්තට ගීතයක් ගැයීමයි එහිදී සිදු වුණේ.

“ඉමියුරු ගීයක් වෙද කුමන 
මා ඇමතුම මිස ඔබ නදින”

ඒ කියන්නේ මෙලොවටම ඇහෙන මියුරුම නාදය තමයි මගේ තාත්තා මා ඇමතීම. තාත්තගේ පපුවට කන තියා ගත්තම ඇහෙන රිද්මයයි මා උපද්දවන්නේ, අවදි කරන්නේ යන අදහසයි ඒ ගීතයේ තිබුණේ.”

ජීවිතය යනු හිමිවීම් අහිමිවීම් රුසක එකතුවකි. මහා ගායකයෙකුගේ දියණිය අරභයාද ඒ දහම ක්‍රියාත්මක වනුයේ එලෙසටමය. මෙරට ගීත කලාවට, සංගීත ක්ෂේත්‍රයට මහා මෙහෙවරක් කළ යුග පුරුෂයෙකුගේ දියණියකව ඉපදීම කෙතරම් දුලබ අත්දැකීමක්ද? සජීව ලෙස හඬ නොඇසුණත් පටිගත කොට ඇති ඒ හඬින් තම නමින් එහි ඇමතුම තරම් අගනා හඬක් මෙලොව තව ඇතිද?

''කෝමල අත්පා සෙමින් සැලේ
හිනැහී යළි මව් තුරුලෙ වෙලේ
හදවත රැඳි දුක් සැණින් මැකේ
ජීවිතයම සොම්නසින් පිරේ'' 

පියෙකු තම ආදරණීය දියණියට ගැයූ ඒ ගීය මෙරට සෑම දියණියක කෙරේ සෑම පියෙකුගේම හදෙහි මැවෙන ආදරණියම සිතුවිලි එකතුවක් නොවේද?   

මොනිකා සේරසිංහ