ටෙනිසන් කුරේ පිටපතෙන් පිට දෙබස් කියලා
මම කරපු ජනප්‍රිය නාටයයක් තමයි උතුරේ රාහුල හිමි. මේ නාට්‍යයේ සේලයින් සහ ප්ලාස්ටර් කියන චරිත දෙක නිරූපනය කළේ චන්ද්‍රසිරි කොඩිතුවක්කු සහ ටෙනිසන් කුරේ. ටෙනිසන් ඒ කාලේ ජනප්‍රිය නළුවෙක් නෙවෙයි. පස්සේ කාලේ තමයි ටෙලි සිනමාවේ දැවැන්ත චරිතයක් බවට පත් වුණේ. ටෙනී මගේ නාට්‍යයත් ඔහුගේ ගමනට හොඳ ආයුධයක් බවට පත් කර ගත්තා. ටෙනී මගේ නාට්‍යයේ රඟපාද් දී පිටපතේ තියෙන දෙබස්වලට අමතරව අතිනුත් දෙබස් දාලා රඟපානවා. ඒවාට ප්‍රේක්ෂකයොත් ඉතිත් බක බක ගාලා හිනාවෙනවා. ටෙනිගේ මේ වැඩේ හින්දා පැය 2 නාට්‍යයට පැය තුනක් විතර ගත වෙනවා. ටික දවසක් යනකොට නාට්‍ය කණ්ඩායමෙනුත් මට පොඩි දෝස් මුරයක් එන්න පටන් ගත්තේ ටෙනී මේ කරන වැඩේ නිසා. මොකද නාට්‍ය එහෙම දික් වුණාම අනිත් නළු නිළියන්ට ගෙදර යන්න බස් නෑ. මේක මටත් පොඩි වදයක් වුණා. පස්සේ දවසක මම ටෙනීව ළඟට අරගෙන වෙලා තියෙන සන්තෑසිය හොඳින් පැහැදිලි කරලා දෙන්න උත්සාහ කළා.
‘‘මචං ටෙනී, උඹ අතින් දෙබස් දාලා කියන්න ගිහින් වෙලාව පරක්කු වෙනවා කියලා නළු නිළියෝ මට දොස් කියනවා. ඒක කරන්න එපා මචං.’’
මං කියපු දේ ටෙනී ඔලුව වන වන අහන් ඉඳලා මට කියපු දෙයින් මටත් දුක හිතුණා.
‘‘මචං මට සමාවෙයන්. අතින් දෙබසක් දෙකක් දාලා නාට්‍ය ඉස්සරහට අරන් ගියේ නැත්නම් මට අනාගතයක් නැහැ. මට මගේ හැකියාව තව දියුණු කර ගන්න ඕනෑ මචං. ඒත් උඹ කියනව නම් මොනව හරි කරන්නම්.
කොහොම හරි උතුරේ රාහුල හිමි නාට්‍යයේ තවත් දර්ශනයක් පැවැත්වුණා. හැබැයි ආයේ කවදාවත් ටෙනී පිටපතෙන් එහා ගිහින් දෙබස් කියන්න ගියේ නැහැ. ටෙනීත් පසුකාලීනව දක්ෂ නළුවෙක් බවට පත් වුණා.