ටික්ටොක් බලන්නවත් ඉස්සර මගේ කැමැත්තක් තිබුණේ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කාලයක් තිස්සේ නිරූපණ ශිල්පිණියක් ලෙස ඔබ දකින පූජා වින්දිට සාරවිට අප මෙසේ ඉඩක් වෙන් කළා. වර්තමානයේ බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත් ජනප්‍රිය ටික්ටොක් තරුවක්ද වන පූජා ඉදිරියේදී කලා නිර්මාණ බොහෝමයකින් ප්‍රේක්ෂක ඔබට දකින්නටද ලැබේ. 

ඔබව මුලින්ම අපට අඳුන්වලා දෙන්න..

වෘත්තියෙන් මම නිරූපිකාවක්. ක්ෂේත්‍රයට ආවේ වසර හතරකට විතර කලින්. හරියටම කියනවා නම් එතකොට මට වයස අවුරුදු විසි එකේදී වගේ. කාලයක් තිස්සේ මේ ක්ෂේත්‍රය තුළ කටයුතු කරන නිසා බොහෝ පිරිසක් මාව නිරූපණ ශිල්පිණියක් ලෙස අද දන්නවා.

ඒ වගේම තමා පූජා කියන්නේ ජනප්‍රිය ටික්ටොක් තරුවක්..

ඇත්තටම ටික්ටොක් ලංකාවේ ජනප්‍රිය වුණ කාලේ මම ඒවා බලන්නවත් කැමැත්තක් තිබුණ කෙනෙක් නෙමෙයි. දවසක් ටික්ටොක් කරන මගේ යාළුවෝ වගයක් මට නුවරදී මුණ ගැහුණා. ඔවුන් ටික්ටොක් තරු විදිහට ජනප්‍රිය අය. ඉතින් ලොකු රසික පිරිසක් ඔවුන්ට හිටියා. ඒ අයට ලැබෙන රසික ප්‍රතිචාර දැක්කාම මටත් හිතුණා ටික්ටොක් කරන්න. හැබැයි ඉතින් ජනප්‍රිය වෙන්න කියලා හිතාගෙන නම් නෙවෙයි. ඒකට තිබුණ ආසාවට. පස්සේ මම ටික්ටොක් විඩියෝ ටිකක් කරලා සමාජ මාධ්‍යයට මුදාහැරියා. ඒ විඩියෝ ටික ගොඩක් අය අතරේ ජනප්‍රිය වුණා. ප්‍රතිචාරත් ඉහළ මට්ටමින් ලැබුණා. හිතුණා ටිකට මේ වැඩ කරන්න. අද නම් මාව බොහෝ දෙනෙක් ටික්ටොක් තරුවක් විදිහට දන්නවා. 

නිරූපණ ශිල්පිණියක් විදිහටද නැත්නම් ටික්ටොක් තරුවක් විදිහටද ඔබ වඩා ජනප්‍රිය..

නිරූපණ ක්ෂේත්‍රය තුළ මම වෙනස් දේවල් කරන්න උත්සාහ කරන කෙනෙක්. ක්ෂේත්‍රයට ආපු මුල් කාලේ ඉඳලාම එහෙමයි. ඉතින් වෙනස් දේවල් කරපු නිසා මාව නිරූපණ ක්ෂේත්‍රය තුළ ජනප්‍රිය වුණා. ටික්ටොක් කරන්න ගත්තාට පස්සේ ඒ කරපු විඩියෝ ගොඩක් ජනප්‍රිය වුණා. මම හිතනවා ඒ මාධ්‍යයන් දෙකෙන්ම ලොකු පිරිසක් මාව දැනගත්තා කියලා.

ඔබව අද බොහෝ දෙනෙක් දන්න ජනප්‍රිය තරුවක්..

මම හීනෙකින්වත් හිතපු නැති දෙයක් මේක. ඉතින් මට ආදරේ කරන පිරිසක් වගේම බණින ගොඩක් අය ඉන්නවා. හොඳ වගේම නරක කියන අයත් ඒ අතර ඉන්නවා. හැබැයි ඒ හැමදෙයක්ම මම සතුටින් භාර ගන්නවා. මොකද, අපිට ඒක වගේ හැම පුද්ගලයාව මනින්න බැනේ. ක්ෂේත්‍රය තුළ රැඳිලා ඉන්න නම් මේ හැම දෙයක්ම නිහතමානිව භාරගන්න ඕනා. 

කලා නිර්මාණ වලින් ඔබව අප දුටුවාද..

කලා නිර්මාණ නම් ගොඩකට සම්බන්ධ වෙලා තියෙනවා. ජනප්‍රිය ගීත රූප රචනා ගොඩක් තියෙනවා මා රංගනයෙන් දායක වුණ. තවත් අලුත් නිර්මාණ ගොඩක් තියෙනවා ඉදිරියට එන්න. මට ආදරය කරන රසික, රසිකාවියන්ට ඒවා ඉදිරි කාලයේදී නරඹන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. 

මේ ආපු ගමන ගැන සතුටුද..

පොඩි වයසකින් මිනිස්සුන්ගේ ආදරය දිනාගන්න මට අද පුළුවන් වෙලා තියෙනවා. මම හිතන්නේ ඒක මගේ ජීවිතේ මා ලබපු ලොකුම වාසනාව කියලා. හැමෝටම මේ වාසනාව ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ අතළොස්සෙන් කෙනෙක් වුණ එක ඇත්තටම මට ගොඩක් සතුටුයි. ඒ වගේම හැම වෙලාවේම මා සමග එකට හිටිය හැමෝටම ගොඩක් ස්තුතියි කියලා මේ මොහොතේදී කියනවා. 

බුද්ධික සේනාධීර