ජා ඇල සිංහ පැටියා පහන් තරුෂ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කුඩා අවදියේ සිට ගීත ගායනයට යොමු වු පහන් තරුෂ වර්තමානය වනවිට ප්‍රසංග වේදිකාව තුළ නැතුවම බැරි ගායකයෙක් ලෙස පත්ව සිටියි. මේ වනවිට තමාගේම ගීත රැසක් ගායනා කර ඇති පහන් ඉදිරියේ නව නිර්මාණ කිහිපයක්ම එළිදැක්වීමට සූදානමින් සිටියි. මේ දිග හැරෙන්නේ අපි ඔහු සමග කළ කතා බහයි.

පහන් ගායකයෙක් වුණේ කොහොමද?

මම මුලින්ම ගීත ගායනා කරන්න පටන් ගත්තේ වයස අවුරුදු හයේ ඉඳලා. මුලින්ම ගීත ගායනා කළේ මැතිවරණ කාලේට තිබුණ රෝඩ්ශෝ එකක. ඊට පස්සේ 2014 දී වගේ පළමු වරට ප්‍රසංග වේදිකාවට මම පිවිසුණා. 2015 දී මගේම ගීතයක් වන විෂ දුම් වැටිය ගීතය එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් නිකුත් කළා. මේ වනතෙක් එළිමහන් සංගීත ප්‍රසංග කලාවේ ජා ඇල සිංහ පැටියා කියන අනුවර්ථ නාමයෙන් මාව හදුන්වනවා..

දැනට පහන්ගේ හඬින් එළිදැක්වූ ගීත ප්‍රමාණය කොපමණද?

මගේම කියලා දැනට ගීත 19ක් විතර නිර්මාණය කරලා තියෙනවා. ඒවා අතරින්  විෂ දුම් වැටිය, ජංගම දුරකථනය මේක, සිංහ පැටියා, දළ පූට්ටුවා, බඩ ගෝස්තරේ (ත්‍රීවීල් ගීතය), අරෝ හරා, වතුර තිබහා, පාරමී පුරණ යන ගීත ගොඩක් ජනප්‍රිය වුණා. ඉදිරියේදී තවත් අලුත් නිර්මාණ කීපයක් නිකුත් කරන්න මේ වනවිට සැළසුම් කරමින් ඉන්නවා.

තවමත් ඔබ පාසල් යනවා. පාසලේ පහන් කියන්නේ ජනප්‍රිය කෙනෙක්ද?

මගේ පාසල තුඩැල්ල ක්‍රිස්තුරාජ ජාතික පාසල. මගේ පාසලේ මම සංගීතය හදාරනවා. ඒ වගේ මගේ සංගීත වැඩ කටයුතු වලට පාසලේ විදුහල්පති වන නිහාල් රුද්‍රිගූ  පියතුමා, සංජීව රුද්‍රිගූ සර්, රෝහිනී ගුරුතුමිය විශාල සහයෝගයක් ලබා දෙනවා. ඇත්තම කිව්වොත් ගායකයෙක් විදිහට මම පාසල තුළ යම් ජනප්‍රියත්වයක් ගොඩනගා ගෙන තිබෙනවා.

ගායන ක්ෂේත්‍රය වෘත්තිය කරගන්නද ඔබගේ බලාපොරොත්තුව?/

නැහැ. මම ලොකු වුණාම නීතිඥවරයෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සංගීත වැඩකටයුතුත් කරගෙන යනවා. ලංකාවේ වගේම ලෝකයෙත් ප්‍රසිද්ධ ගායන ශිල්පියෙක් වෙන හීනයකුත් මට තියෙනවා.

රියලටි තරග වගේ දේවල්වලට ඉදිරිපත් වෙන්න සූදානමක් නැද්ද?

සාමානයෙන් රියලිටි වැඩසටහන් වලට යන්නේ ආධුනික ගායක ශිල්පිනි, ශිල්පියෝ. මේ වන විට මා විසින්ම නිර්මාණය කරපු ගීත 19 ක් එළිදක්වලා තියෙනවා. එළිමහන් සංගීත ප්‍රසංගයේ ලොකු ගමනක් ගිහින් තියෙනවා. ඒක නිසා මම හිතන්නේ මට රියලිටි වැඩසටහන් වලට යන්න අවශ්‍යතාවයක් නැහැ කියලා.  

උදව් කරපු පිරිස කවුද?

මුලින්ම මතක් කරන්න ඕනා මගේ තාත්තා, අම්මා, අක්කා.  මට මේ ගමන එන්න ගොඩක් උදව් කරලා තියෙනවා. ඔවුන්ගේ සහය මට ලැබුණේ නැත්නම් අද පහන් තරුෂ කියලා ගායකයෙක් බිහි නොවන්නත් තිබුණා කියලයි මට හිතෙන්නේ. තව මට ගොඩක් උදව් කරන ඉතාලියේ ඇන්ටන් මාමා. සීදූව බ්‍රේව් ඩිලා අයියා, සීදූව සකුරා අජිත් මාමා, අග්‍රා පාලිත මාමා, නාලක හෙට්ටිආරච්චි මාමා, PNK Sounds නීල් මාමා, සහරා ෆ්ලෑශ් ප්‍රදීප් මාමා, shaa fm අකිල් අයියා, Hiru මෝක්ශ අයියා ඇතුලු සංගීත කණඩායම් වල හා ප්‍රසංග සංවිධායකවරු ගොඩ දෙනෙක් අද මම මේ ඉන්න තැනට එන්න උදව් කරලා තියෙනවා.

බුද්ධික සේනාධීර