ජීවිතේ හමුවන විවිධ පුද්ගලයන් විවිධ අත්දැකීම් එක්ක සමහර ප්‍රශ්න ජීවිතේට එනවා
නිම්මි මනෝහාරි කියන්නේ පසුගිය කාලයේ පුංචි තිරය ඔස්සේ වැඩි ප්‍රේක්ෂක ආදරයක් ලබාගත් රංගන ශිල්පිනියක්. ඇයට ආදරය කරන පිරිස වෙනුවෙන්ම ඇයගේ කලා තොරතුරු පිළිබඳ කතාබහක නිරතවෙන්න සැඳැල්ලෙන් ඉඩක් වෙන් කරන්න හිතුවා.
නිම්මි ඉතින් කොහොමද උදාවුණු අවුරුද්ද?
අවුරුද්දේ සුපුරුදු පරිදි වැඩ කටයුතු ආරම්භ කළා. ඉතින් කරපු නිර්මාණ 7 ක් 8 ක් වගේ මේ අවුරුද්දේ එන්න තියෙනවා. ඊට අමතරව අලුතින් U Tubeනාට්‍ය, වෙබ් සිරිස් වගේම අලුත්ම වැඩ කිහිපයක් කරලා තියෙනවා. කලාව පැත්තට වැඩි නැඹුරුවක් දීලා තියෙනවා ඉතින්.
මේ දිනවල දකින්න ඉන්න නිර්මාණ මොනවද?
මම සම්බන්ධ වෙලා හිටපු නිර්මාණ දෙකක්ම පසුගිය සති දෙක තුන තුළ තමයි විකාශය අවසන් වුණේ. ඒ රේස් 2 සහ දෙකඩ කඩ කියන නිර්මාණ. දෙකඩ කඩහි නෙත්මිටත්, රේස් 2 හි දුෂානිටත් ඉතා හොද ප්‍රතිචාර ලැබුණා. ඒ චරිත දෙකෙහි රංගනයන් දෙවිදියක්. ඒ අතරින් රේස් 2 කියන්නේ මට ලොකු අත්දැකීමක් වුණු නිර්මාණයක්.
මොකද ඒ තුළ මම රේස් පැද්දා, මම වැඩියෙන්ම ආසා කළේ ධාවන පථයේ සෙල්ලම් කරන්නට ලැබීම සම්බන්ධව. ඒ තුළින් ගොඩක් දේවල් අත්හදා බලන්න හැකිවුණා. ඉතින් එවාහි චරිත රංගනයන් තුළින් එකතුවෙන්න ලැබීම ලොකු සතුටක්. රේස් 2 වගේම දෙකඩ කඩ නෙත්මි චරිතයත් හරිම විනෝදෙන් සැහැල්ලුවෙන් ඉෙගන ගන්න ළමයෙකුගේ චරිතයක්. ඒ චරිතයටත් විවිධ විදියට ප්‍රතිචාර ලැබුණා.
නාඩගම්කාරයෝ පොඩ්ඩි ගැනත් තවම කතාබහ කරනවා නේද?
ඔව්, ඇත්තටම නාඩගම්කාරයෝ කියන්නේ මගේ ජිවිතේ හැරවුම් ලක්ෂ්‍යය. ඒ නිර්මාණය අවසන් වෙලා ටික කාලයක් ගතවුණත් ඒ චරිතයට ආදරය කරන ලොකු පිරිසක් තවම මගෙත් එක්ක එකතුවෙලා ඉන්නවා. ඒ ප්‍රතිචාර අදටත් එදා වගේමයි.
ඉදිරියේදි එන්න තියෙන නිර්මාණ ගැනත් කියමු?
මෙච්චර කාලයක් මම මෙගා කියන කාණ්ඩයේ තිබුණු ටෙලි නිර්මාණවලට තමයි සම්බන්ධ වෙලා හිටියේ. නමුත් ඉදිරියට එන්න තියෙන මගේ නිර්මාණ සියල්ලම වගේ කොටස් 50, 60 පමණ නිර්මාණයන්. එය සීමිත කොටස් සංඛ්‍යාවකින් යුක්ත වුණත් ලස්සන ගැඹුරු කතාවක් ඒ තුළ දකින්න තියෙනවා. ඉදිරියේදි ඒ නිර්මාණයන් දකින්න ලැබෙයි. ඒ නිර්මාණ තුළ මම විවිධ චරිතවලින් තමයි එකතු වෙන්නේ.
නිම්මි මනෝහාරි කියන්නේ ජිවිතේ හරිම සැහැල්ලුවෙන් ගෙවන්න කැමති කෙනෙක් නේද?
ඔව්, මම පොඩි කාලේ ඉඳන් එහෙමයි. මට ජිවිතේ ප්‍රශ්න නැතිව නෙමෙයි. ප්‍රශ්න තියෙනවා. මොකද මමත් සාමාන්‍ය ගැහැණු ළමයෙක්නෙ. ජීවිතේ හමුවන විවිධ පුද්ගලයන් විවිධ අත්දැකීම් එක්ක සමහර ප්‍රශ්න ජීවිතේට එනවා.
ඒ දේවල් එක්ක ජීවිතේ ගෙවෙනවා. නමුත් මගේ ප්‍රශ්න එකක්වත් මම වටේ ඉන්න අයට කියන කෙනෙක් නෙවෙයි. ඒවා මගේ ළඟ තියාගෙන මේ මොහොතේ ජීවත් වෙනවා. ජීවිතේ ලැබෙන මොහොතේ හැමෝම එක්ක සතුටින් ඉන්න තමයි කැමති.
ඒ නිසාමද නිම්මි නැටුම්, ගැයුම්, රැඟුම් එක්ක දේවල් සමාජ මාධ්‍යයට එකතු කරන්නේ?
මෙහෙමයි. මම සමාජ මාධ්‍යයට එකතු කරන්නේ ගොඩක් වෙලාවට මගේ නර්ථනයන් වගේ දේවල් තමයි. ඒ අතර ඉතින් ටික් ටොක් වගේ දේවලුත් පසුගිය කාලවල එකතු කරලා තිබුණා. මම මීට පෙර සඳහන් කළා වගේ මම ජිවිතේ ගෙවෙන මේ මොහොතේ සරළව ඉතාම සතුටින් ජීවත් වෙන්න කැමතියි. ඒ ගෙවන ජීවිතයේ සමහර වෙලාවට මගේ ගෙදර මගේ පන්තිවලදි හෝ කාර්යාලයේදි මම කරන දේවල් වීඩියෝ කරන අවස්ථා තියෙනවා. ඒ සමහර පිස්සු වැඩ යාළුවෝ වීඩියෝ කරන අවස්ථාත් තියෙනවා. ඒවා තමයි සමාජ මාධ්‍යයට එකතු වුණාම ඒ දේවල් Fb, ඉන්ස්ටග්‍රෑම්, ටික්ටොක්වලින් දකින අය ඒවාට ප්‍රතිචාර දක්වන්නේ.
විවේචන එල්ල කරන පිරිසුත් ඉන්නවා නේද?
ඔව්, අනිවාර්යයෙන්ම සමහර පිරිස් ප්‍රබල විවේචන එල්ල කරනවා. ඒ වගෙම ඉතා ඉහළ ආදරයක් එකතු කරන පිරිසකුත් ඉන්නවා. ඉතින් මොන දේ ලැබුණත් මම ගොඩක් ආදරයෙන් තවත් ඒවා භාරගත්තා.
නිරූපණ අංශයේ වැඩ කටයුතු කොහොමද?
නිරූපනය නම් මම ගොඩක් ලොකුවට හදාරලා නැහැ. නමුත් නිරූපන කටයුතුවලට ලැබෙන ආරාධනා පුළුවන් විදියට භාරගෙන කරනවා. මෑතකදි නම් එකතුවෙන්න ලැබුණේ නෑ.
අම්මගේ කැමැත්තටනේ නිම්මි මේ ක්ෂේත්රයට ආවා කියලා කිව්වේ? ඉතින් ඒ ආපු ගමන ගැන අද තෘප්තිමත්ද?
ඇත්තටම ඔව්. මම මේ ක්ෂේත්රය ගැන හදාරලා තිබුණේ නැති නිසා මේ ක්ෂේත්රයට සම්බන්ධ වෙන්න පොඩි තැතිගැන්මක් තිබුණා. ඉතින් අම්මගේ බල කිරීමට තමයි මේ සම්බන්ධවීම සිදුවුණේ. නමුත් මම දැන් මේ තැනට කලාවට මාරම ආදරෙයි. ඒ නිසාම මේ වෙද්දි කලාව හදාරගෙන යනවා. මොකද මේ දේ කරගෙන යද්දි තේරෙනවා හදාරන්නේ නැතිව කරන්න අමාරුයි සහ පවතින්න, අමාරුයි කියලා. ඕනෑම ක්ෂේත්රයට ඉදිරියට යන්න නම් හැදෑරීමක් තිබියයුතු ෙවනවා මමත් ඒ දේවල් හදාරගෙන අත්හදා බලමින් යන ගමනක් මේ තියෙන්නේ. ඉතින් අද වෙද්දි මේ තැනට එන්න ලැබීම ගැන සතුටුයි සහ මේ තුළින් මට ගොඩක් දේවල් ජීවිතේට ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම මිනිස්සුන්ගෙ ආදරය. ඒ දේ ලොකු වටිනාකමක්.
ධනු විජේරත්න