ජීවිතේ හැමදාම ප්ලෑන් කළේ නැහැ. සෑම දවසක්ම ජීවිතේ හැරැවුමක් තමයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘ධනු ඉන්නාසිතම්බි’ යන නාමය සමාජ මාධ්‍යයට වගේම, ඉංග්‍රීසි රේඩියෝ කලාවට සහ ඉංග්‍රීසි නිවේදන අංශයට ලැදි බොහෝ දෙනා හට අමුතු නාමයක් නෙවෙයි. ඒ හැමෝම ඔහුට ආදරේට කතා කරන්නෙ ‘ධනු’ කියලයි. ඉංග්‍රීසි මාධ්‍යයේ නිවේදන ශිල්පියකුට අමතරව, රංගන ශිල්පියකු වන ධනු, “Hi” ටී.වී. නාලිකාවේ ප්‍රධානියා ලෙස ද කටයුතු කරයි. මේ දිනවල ඒ සියල්ලට අමතරව ධනු හට සිනමා ප්‍රේක්‍ෂකයින් ආදරය කරන්නේ ‘යාළුවෝද යාළුයිද’ ෆිල්ම් එකේ චරිතයකින් හමුවන නිසයි. අද දවසේ මේ සියලු දේ එක්ක කාර්යබහුලව කටයුතු කරන ‘ධනු’ එක්ක අපි පිළිසඳරකට එක්වෙමු. 

ධනු මේ ඔබ රඟපාන කීවැනි ෆිල්ම් එක ද?

“ඉස්සෙල්ලාම රඟපෑවේ ‘ස්වර’ ෆිල්ම් එකේ. ඒක කළේ 2011 දී විතර. එයින් පස්සෙ ෆිල්ම් පැත්තට එච්චර ගියේ නැහැ. එහෙම ඉන්නකොට, ඉන්දියාවේ ෆිල්ම් එකක රඟපාන්න ලැබුණා. ඒක ෂූට් කළේ ලංකාවේ. ඒක තවම රිලීස් වෙලා නැහැ. මම හිතන්නෙ මේ අවුරුද්දෙ රිලීස් වේවි.” 

ඒ කියන්නෙ ධනු මේ වෙනකොට බොලිවුඩ් සිනමාවටත් ගිහින්? 

“ඒක ඉන්දියාවේ දමිළ ෆිල්ම් එකක්.” 

‘ධනු’ කිව්වාම සමාජ මාධ්‍යයට, ඉංග්‍රීසි රේඩියෝ මාධ්‍යයට වගේම ටෙලිවිෂන් කලාවට අමුත්තෙක් නොවෙයි. ඒත් පත්තර කියවන පාඨකයින්ට දැනගන්න පුංචි විස්තරයක් කළොත් හොඳයි නේද? 

“මගේ ගම යාපනය. මට වය අවුරුදු 6 දී විතර මගෙ තාත්තා මිය ගියේ. සමහරවිට තාත්තාට ඒ කාලයේ රටේ තිබුණු ප්‍රශ්න එක්ක ඒවා දරා ගන්න අසීරු වෙන්න ඇති. ඉන් පස්සෙ මගේ ජීවිතය වුණේ අම්මා. පවුලේ අම්මයි, මමයි, අක්කයි. අක්කා ඒ දිනවල බැංකු ක්‍ෂේත්‍රයේ හිටියෙ. දැන් එයාලගෙම ව්‍යාපාරයක් කරනවා. අක්කට රසම රසට උයන්නත් පුළුවනි. මම බෝල ගෙඩියක් වගේ ඉන්නෙ වැඩිපුර අක්කගෙ කෑම කාලා තමයි. අම්මා වැඩ කළේ ගුරුවරියක් විදිහට. ඉතින් ඒ කාලයේදී අම්මගෙ පඩිය විතරනේ. ඒ නිසා ටිකක් අමාරුවෙන් තමයි ඉස්සරහට ආවේ. ඒත් අම්මා කෙනකුට සුපර් පවර් එකක් නැත්නම් අප්‍රතිහත ධෛර්යයක් තියෙනවනේ. ඉතින් ලොකු දේවල් නැති වුණාට, ටී.වී. එකක්, ඇඳක් තියා සුඛෝපභෝගී දේ නොතිබුණාට අපි ජීවත් වුණේ හරි සතුටින්. අම්මාත් නැති වුණේ අවුරුදු 13කට කලින්. ඒක තමයි මගේ ජීවිතේ වඩාත්ම ශෝකජනක සිදුවීම. එදා අම්මා ජීවත්ව සිටි කාලයේදී තමයි, නීටා ප්‍රනාන්දු මහත්මිය මාව ෆිල්ම් එකට තෝරා ගත්තෙ. මුහුරත් එකට යද්දි හිටපු අම්මා ඊට මාස දෙකකට පසුව ජීවතුන් අතර නැහැ. ඒත් මම ෆිල්ම් එකේ රඟපෑවා.” 

පාසල් ගියේ? 

“යාපනයේ ශාන්ත පැට්‍රික් විද්‍යාලයට. කොළඹ ආවාම බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයට.” 

යාපනයේ ගත කළ ජීවිතේ මතකය මොන වගේ ද?

“ඒ කාලයේදී රටේ යුදමය ප්‍රශ්න තිබුණාට පාසල් යන ඒවා නතර වුණේ නැහැ. ලයිට් නැහැ කියලා කොළඹ ළමයි පාසල් නොගියාට, පාඩම් නොකළාට, එදා අපට එහෙම කරන්න වුණේ නැහැ. ලයිට් නැතුව හෝ ඇතිව, ප්‍රශ්න තිබුණා හෝ නැතා අපි පාඩම් වැඩ, පාසල් වැඩ කළා. ගෙදර වැඩ කළ යුතුම වුණා. අපි ඒවා කළා.” 

ඉතින් ඒ කාලයේදී කවුරු වගේ වෙන්න ද ධනුට ඕනෑ වුණෙ? 

“මගේ තාත්තාගෙ පරම්පරාවම වෛද්‍ය ක්‍ෂේත්‍රයේ. තාත්තාගෙ පරම්පරාවේ තාත්තා අයිති වුණේ දහවැනි පරම්පරාවට. ඊට ඉස්සෙල්ලා හිටපු අය වගේම තාත්තාත් වෛද්‍යවරයෙක්.” 

ඇයි ධනුට ඩොක්ටර් කෙනෙක් වෙන්න හිතුණේ නැත්තේ?

“ඒ කාලයේ අම්මා මාව මොන්ටිසෝරි ගෙනිච්ච හැටි මතකයි. ළමයි ටිකක් ෆුට් බෝල් ගහනවා දැක්කා. මම නතර වෙලා බලාන හිටියා. අම්මා ඇහුවා, ඔයා ඒවා කරන්න කැමැති ද කියලා. මම පුංචි ඇක්ට් එකක් කරලා මම කැමැති ස්ටේජ් එකට කිව්වා. ඒ ආසාව පිස්සුව මට තිබුණෙ ඒ කාලයේ ඉඳලාමයි. මම ජීවිතේ වැඩියෙන්ම සතුටු ස්ටේජ් එකේ ඉන්න වෙලාවට. සිංදු කියන්න, නටන්න, රඟපාන්න ඒවාට හරිම ආසා කළා. ගායන කණ්ඩායමේ ලීඩර් වෙලත් හිටියා. ගෝල්ඩ් මෙඩල් පවා ලැබුණා. අම්මා නැති වුණාට පස්සෙ මට ඒවා ඔක්කෝම එපා වෙලා වගේ හිටියේ. ඒ නිසා ගොඩාක් දේ අත්හැරියා.” 

ඊට පස්සෙ?

“ඊට පස්සෙ මාස හයක් විතර ගියාම මීඩියා පැත්තට එන්න ඕනෑ කියලා හිතුවා.” 

ජීවිතය හැරවුණේ කොතැනින් ද? ටර්නින් පොයින්ට් එක?

“ජීවිතේ හැමදාම ප්ලෑන් කළේ නැහැ. සෑම දවසක්ම ජීවිතේ හැරැවුමක් තමයි. මට ලැබුණු දේ සතුටින් බාරගෙන කළා. අපි ඒ කාලයේ බස්වල ගියේ, පයින් ගියේ. කවුරුවත් අපිව දන්නෙත් නැහැ. හෙමිහිට ආපු ගමනේදී තමයි ටිකින් ටික ඉදිරියට එද්දී හොඳ මිනිස්සු අපට හමු වුණේ. මේ ලැබුණු ටික ලැබුණෙ ඒ විදිහටයි. ජීවිතේ කිසි දෙයක් ලෙහෙසියෙන් ලැබිලා නැහැ. ඒ වගේම ජීවිතේ ලෙහෙසියෙන් ගන්න කෙනෙකුත් නෙමෙයි. මට චාන්ස් ලැබිලා තියෙන්නෙ එහෙමයි. ලැබුණු දේ හොඳට කරන්න පටන් ගත්තා. O/L ඉවර කරලා රිසාල්ට්ස් එනකල් ඉන්නකොට එෆ්.එම්. රේඩියෝවකට ගියොත් හොඳයි කියලා හිතුවා. ගෝල්ඩ් එෆ්.එම්. එකට යන්න ලැබුණෙ ඒ විදිහට. එතකොට අපේ ගෙදර තිබුණෙ පුංචි සුදු පාට රේඩියෝ යන්ත්‍රයක්. චැනල් එක අල්ලන්න කරකවන්න ඕනෑ. ටී.වී. එකත් හරිම පොඩියි. ඒ කාලයේදීම නාට්‍යයකුත් ලැබිලා තිබුණෙ. ඔන්න ඉතින් මම කළේ ගෙදර ඉඳන් කෝල් ගන්නෙ නැතුව කමියුනිකේෂන් එකකට ගිහින් යෙලෝ පේජස් එකෙන් නම්බර්ස් හොයාගෙන කෝල් කළ එකයි. මගේ අයදුම්පත යැව්වෙත් එතැන ඉඳලමයි. අන්තිමට මම කතා කළේ ගෝල්ඩ් එෆ්.එම්. එකට. ඒකට කතා කළාම ෆෝන් එකට ආන්ස්වර් කළ කෙනා හිතුවෙ මම අසන්නෙක් කියලයි. මම කිව්වෙ මටත් ඕනෑ ඔයාලා වගේ කතා කරන්න කියලයි. ඒ පාර එයා මාව ප්‍රෝග්‍රෑම් මැනේජර්ට දැම්මා. මට වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකට එන්න කිව්වා. මම ඒ වෙනකොට කොළඹ රස්තියාදු ගහලා නැහැ. වැල්ලවත්තෙ ඉඳලා ශාන්ත පීතර විද්‍යාලයට යනවා, පල්ලියට යනවා, නැත්නම් නෑදෑ ගෙදරකට යනවා. එච්චරයි. ඒ කාලයේ මම බස් එකෙන් දෙහිවල පහු කරලත් නැහැ, බම්බලපිටිය පහුකරලත් නැහැ. අක්කගෙන් අහලා තමයි වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකට ගියේ. ගිහින් ගෝල්ඩ් එෆ්.එම්. හොයා ගත්තා. මාව ඉන්ටර්වීව් කරලා හෙට ඉඳන් ට්‍රේනින් එන්න කිව්වා. ඔන්න ඔහොම තමයි මගේ ජීවිතේ මේ ගමන පටන් ගත්තෙ. ඒ කාලයේදී මීට වඩා මහතයි.” 

ධනු ඉංග්‍රීසි භාෂාවට ඔච්චර දක්‍ෂ වුණේ කොහොම ද?

“අම්මා ඉංග්‍රීසි භාෂා ගුරුවරියක්. අම්මා අපට කියලා තිබුණෙ කරුණාකරලා කතා කරද්දි අහගෙන ඉන්න කියලයි. අපෙ අක්කාගෙ ඉංග්‍රීසිත් හරි හොඳයි. ඒ කාලයේ අපට එහේ තිබුණු ගෙවල් හරි විශාලයි. හරියට වලව් වගේ. තාත්තා ඩොක්ටර් නිසා ගෙදරට එහෙම ලොකු පිරිසක් ආවා ගියා. ඒ අය එක්ක කතා කරන්න මට අවස්ථාව ලැබුණා. අපෙ අම්මාගෙ පවුලෙ අය හිටියෙ කොළඹ. මෙහේ ආවාට පස්සෙ එයාලා කතා කරන විදිහ අහගෙන ඉඳලා ඊට පස්සෙ ඒවායේ තේරුම අම්මගෙන් අහගත්තා. ඒ විදිහට පටන් ගත්තා. පස්සෙ ගායනා කණ්ඩායමට ගියාට පස්සෙ තමයි වචනවල උච්චාරණය හරියට දැන ගත්තෙ.” 

ධනු, සම්පූර්ණ නම මොකක් ද? 

“සැවියෝ ඩනුස්ටන් ඉන්නාසිතම්බි තමයි සම්පූර්ණ නම. ඒක කතෝලික නමක්.” 

ධනු එහෙම නම් අපි ‘යාළුවෝද – යාළුයිද’ ෆිල්ම් එක ගැන කියමු? කොහොම ද ඒ අවස්ථාව ලැබුණෙ?

“මට මේකට ආරාධනා කළ වෙලාවේ ඒකෙ විලාසිතාවල ඉඳලා ඔක්කෝම හරි ලස්සනයි කියලා මට හිතුණා. ඉතින් අපි නිකන් ඉන්න එකේ ඒක කරලා බලමු කියලා හිතුවා. මගේ චරිතයෙ නම ‘චතූ’. ඒ ෆිල්ම් එකේ චරිත ඔක්කෝම හරි රිලැක්ස් චරිත. අලුත් කට්ටියක් එක්ක වඩ කරන්න ලැබුණා. අධ්‍යක්‍ෂ ඩිල්සාර ජයමාන්න සහ නිෂ්පාදක රාසිත ජිනසේන ඇතුළු මේ ෆිල්ම් එකේ ඔක්කෝමලා හරි හොඳයි. හරිම ආසාවෙන් මම රඟපෑවා.” 

අද එෆ්.එම්. රස්සාව කරන්නෙ නැද්ද?

“උදේ 4ට නැගිටලා, නැගිටලා මට ජීවිතේම එපා වෙලා තිබුණෙ. ඉතින් අද ඒක කරන්නෙ නැහැ.” 

අද ප්‍රධානව කරන්නෙ? 

“Hi TV ප්‍රධානියා ලෙස කටයුතු කරනවා. ෆුල් ටයිම් වැඩ කරන්නෙ ඒ වෙනුවෙන්. ඊට අමතරව තවත් වැඩ ටිකක් කරනවා. ඒ වැඩ ටිකට දවස හොඳටම ප්‍රමාණවත්.” 

ඕස්ට්‍රේලියානු ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක්ගෙන් මෑතකදී ෆිල්ම් එකකට ආරාධනා ලැබුණා නේද? 

“ඔව්. එයාගෙ ෆිල්ම් එක ෂූට් කරන්නෙ ලංකාවෙ. මට ආරාධනා කළාම ඒක බාර ගත්තා. ඒ ගැන මේ දිනවල අපි කතාබහ වෙනවා. ඊට අමතරව ශලිනි තාරකා එක්ක ටෙලිනාට්‍යයක රඟපෑමට සූදානමින් ඉන්නෙ. ඒක මම රඟපාන පළමු ටෙලිනාට්‍යය. කොහොමටත් ටෙලිනාට්‍යවලට මම ආසයි. විකාශය වූ ‘ඉටි පහන්’, ‘දූ දරුවෝ’ වගේ නාට්‍ය මගේ ප්‍රියතම ඒවා. හොඳ කලාත්මක ෆිල්ම්වලටත් ආසයි.” 

සඳුන් ගමගේ