ජීවිතේ මම විඳිනවා හැබැයි සියලුම දේ අනිත්‍යයි කියලා දැනගෙන තමයි මම විඳින්නේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තරුණ රංගන ශිල්පිනියක් ලෙස පුංචි තිරයේ නව මාවත් සොයා යන ඔබ ආදරය කරන ජනප්‍රිය, හැඩකාර රුවැත්තියක් මෙවර සඳැල්ල වෙසක් සතිය හැඩ කරන්න අපිත් සමග එකතු වුණා.

හැමදාමත් වෙනස් චරිත තුළින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ඇය තමයි වොල්ගා කල්පනී. රසික සිත් වශී කරපු පාරදිගේ ටූටූ..... ඒ වගේම මාණික්කාවතේ ගුණාදරී වැනි ඇය ප්‍රේක්ෂකයාට කාවැද්ද වූ චරිත රාශියකි. මෙවර රයිගම් සම්මාන රාත්‍රියේ හොඳම නිළිය ලෙස සම්මාන දිනාගත් මාණික්කාවතේ ගුණාදරී එහෙමත් නැත්නම් වොල්ගා කල්පනී වෙනුවෙනුයි මේ ඉඩකඩ.

කොහොම ද වෙසක්වලට සූදානම ?

මම සිංහල බෞද්ධ කෙනෙක්. ඒ වුණාට මම හැම ආගමකටම ගරු කරනවා සහ මම අදහනවා. අනිත් එක අවුරුදුවලට වෙසක්වලට මම හරිම කැමතියි. කැමති හේතුව ඒ වගේ වෙලාවල්වලට තමයි අපේ ආදරණීයන් අපිට මුණ ගැහෙන්නේ.... සම්බන්ධකම් අලුත් වෙන්නේ. ආදරේ අලුත් වෙන්නේ ඒ වෙලාවට. මගේ කුඩා කාලේ වෙසක් කූඩු හැදුවා. තොරණ බලන්න යන්න ඒ කාලේ වෙසක් එනකම් බලාගෙන ඉන්නේ. මම නිතර පන්සල් යන කෙනෙක් නෙමෙයි. මම විශ්වාස කරනවා ආමිස පූජාවට වැඩිය ප්‍රතිපත්ති පූජාව තමයි වැදගත් වෙන්නේ. කොච්චර ආමිස පූජා කරත් වැඩක් නැහැ. ප්‍රතිපත්තියක් නැතුව. මම සිල්ගන්න හරිම ආසයි. ඒත් මොනව හරි වැඩක් වැටෙනවා. ඒ නිසා අම්මාවයි, තාත්තාවයි නම් සිල්ගන්න යවනවා. අවස්ථාවක් ලැබුණොත් සිල්ගන්න බලාගෙන ඉන්නවා.

වොල්ගා ජීවිතේ ගැන කොහොමද දකින්නේ?

ජීවිතේ මම විඳිනවා හැබැයි සියලුම දේ අනිත්‍යයි කියලා දැනගෙන තමයි මම විඳින්නේ. හැමදේම අනිත්‍යයි කියලා ජීවිතේ විඳින්න ඕන නෑ කියන තැන මම නැහැ. සියල්ල යම් දවසක අතෑරෙන බව මම දන්නවා. ඒක තේරුම් අරන් ජීවත් වෙන නිසා මම අද නිදහසේ සතුටින් ජීවත් වෙනවා.

මට මගේ ජීවිතේ ගොඩක් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ඒ හැම අවස්ථාවකම මම ප්‍රගුණ කළේ ඉවසීම. මම බුදු දහම තරමටම සොබාව ධර්මයේ ආශිර්වාදය විශ්වාස කරන කෙනෙක්.

සම්මානය පැත්තට අපි හැරුණොත් රයිගම් සම්මාන උළෙලේ දී මාණික්කවතේ ගුණාදරීට ලැබිය යුතු හොඳම වටිනාකම ඔබට ලැබුණා?

මුලින්ම ඒ ලබා දුන් වටිනාකමට ප්‍රේක්ෂක ජනතාවට හිස නමා මම ස්තුති කරනවා. අපිට අපේ ජීවිතේ සමහර මතක තියෙනවා. දවසින් දවස අලුත් වෙනවා. ඒ වගේම අපිට කවදාවත් අමතක කරන්න බැරි මතක තියෙනවා. අන්න ඒ වගේ කවදාවත් අමතක කරන්න බැරි කෙනෙක් තමයි මට ගුණාදරී කියන්නේ. ගුණාදරී වෙනුවෙන් ලැබුණු සම්මානය මට හරි හයියක්. ගුණාදරී නිසා මට ගොඩක් දේවල් ලැබුණා සහ තව ටිකක් හයිය ආවා රඟපාන්න ඕන කියලා. ඇත්තම කිව්වොත් ගුණාදරී නිසා වොල්ගා තව ටිකක් නිවිලා ජීවත් වෙන්න උත්සාහ කළා. ගුණාදරී එක්ක ජීවත් වුණු කාලයට ආයේ යන්න තියෙනවා නම් ඇත්තටම මම හරි ආසයි.

මේ ඔබ හොඳම නිළිය සම්මානය දිනූ පළමු අවස්ථාව ද?

ඇත්තටම ඔව්. නැගී එන නිළිය ජූරියේ සම්මානය මට ලැබිලා තියෙනවා. ඒත් හොඳම නිළියට නිර්දේශ වෙන්නේ පළමු වතාවට.
හැබැයි මම සම්මාන බලාගෙන කවදාවත් රඟපෑවේ නැහැ. කරපු දේ මම අවංකව කළා. මට ලොකු හීනයක් තිබුණා හොඳම නිළිය අංශයට තේරීපත් වෙන්න. විශේෂයෙන් මගේ නම ඉදිරියෙන් හොඳම කියන කෑල්ල දාගන්න මට ලොකු ආසාවක් තිබුණා.

ඒ හීනය සැබෑ වුණ දවසේ මොකද හිතුණේ?

ඒ හීනය සැබෑ වුණ දවසේ මට දැනුණ දේ කියන්න ඇත්තටම මට තේරෙන්නේ නෑ. අපේ ජීවිත වල සමහර මතක තියෙනවා විස්තර කරන්න බෑ. සමහර හැඟීම් තියෙනවා විස්තර කරන්න බෑ. මේ හැඟීමත් මට විස්තර කරන්න බැරි හැඟීමක්.
මම ගොඩක් වැඩ කරලා නැහැ. හැබැයි මට හදිසියක් තිබුණේත් නැහැ. තාමත් මට කිසිම හදිසියක් නැහැ. විශේෂයෙන් ගුණාදරීව ගොඩ නගපු පිරිසක් හිටියා. මාණික්කාවත නිෂ්පාදකතුමා. සුදත් රෝහණ මහතා, ජගත් චමිල අයියා, උමා අසෙනි අක්කා ලොකු කැපකිරීමක් කළා සහ මට ගුණාදරීව ගොඩනගා ගන්න විශාල හක්තියක් වුණා.

මේ තාක් කරපු චරිත ගැන වොල්ගාට තෘප්තිමක් වෙන්න පුළුවන්ද?

මම මගේ ජීවිතේ හැම දෙයක්ම සතුටින් බාර ගන්න කෙනෙක්. මම නිතරම ලැබෙන වැඩේ ගැන සතුටින් හිතන කෙනෙක්. මේ වෙනකම් කරපු හැම චරිතයකටම මම හරි ආදරෙයි. චරිත ගැන නෙමෙයි, ඒ චරිත තුළින් මම ලබපු අත්දැකීම් ගැන නම් මම ගොඩක් තෘප්තිමත්.

සතුට, තෘප්තිය කියන දේ ඇතුළේ සමහර තැන්වලදී අතාරින්නම හිතුන තැන් නැද්ද?

මේ ප්‍රශ්නයට මම විරුද්ධයි. මම කිසිම දෙයක් කිසිම දේකදී අත්හරින මනුස්සයෙක් නෙමෙයි. එක තැනකින් ෆේල් වුණා කියලා හැම තැනකින්ම ෆේල් වෙන කෙනෙකුත් නෙමෙයි. ජීවිතේ කියන්නෙම ප්‍රශ්නයක්. එහෙමයි කියලා ජීවිතේ කිසිම තැනක කිසිම දෙයක් මම අතැරලා දාලා නැහැ. මම අතැරලා යන්නෙත් නැහැ. විශේෂයෙන් කලාව කවදාවත් මම අත්හරින්නේ නැහැ. ඒ තරමට මම කලාවට ආදරෙයි.

ඉස්සරහට මොනවද අලුත් කලා කටයුතු ?

පාරදිගේ ටූටූ වෙනුවෙන් කාලය වෙන් වෙලා තියෙනවා. ඊට අමතරව සමුද්‍ර වෙල්ලාලන්ගේ වැකේෂන් ටෙලි නාට්‍ය සහ රනිල් කුලසිංහගේ සිත්යාය ටෙලි නාට්‍ය එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා.

සිනමාව පැත්තෙන් වොල්ගාට ඉඩකඩ ඇහිරෙන්නේ ඇයි?

අැත්තටම හේතුවක් මම දන්නේ නැහැ. ටෙලි නාට්‍යය තරමටම මට සිනමාවට ආරාධනා ලැබෙන්නේ නැහැ. නමුත් මංගල තෑග්ග2 සහ අර්ජුණ කමලනාත්ගේ නිර්මාණයකට සම්බන්ධ වුණා. හොඳ ඇරයුමක් ලැබුණොත් භාර ගන්නවා. සිනමාවටත් මම හරිම කැමතියි.

වොල්ගා මේ වෙලාවේ ජීවිතේ සතුටින් ද?

අනිවාර්යයෙන්ම සතුට තියෙන්නේ ජීවිතේ සැහැල්ලු වෙන තරමට. මම ජීවිතේ හරිම සැහැල්ලුවෙන් ඉන්නේ.

නදීශා අතුකෝරළ

 

ඡායරූප -  සජීව ලක්ෂාන්

හැඩගැන්වීම – ලක්ෂාන් ජබුරෙගොඩ