ජීවිතේ පවුල් බරින් සහ ප්‍රශ්න වලින් මිරිකිලා ඉන්න කෙනෙක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දිව්‍යාදරී නාට්‍ය මේ දිනවල විකාශය කෙරෙන නාට්‍ය අතරින් තවත් ජනප්‍රිය වූ නිර්මාණයක්. මේ නිර්මාණයෙහි අධ්‍යක්ෂවරයා වන්නේ ප්‍රදීප් ධර්මදාස. දිව්‍යාදරී අධ්‍යක්ෂණය කරන අතරේ එහි චරිතයකට ද ඔහු දායකව සිටිනවා. චරිතයේ නම මොරිස්. කතාවෙ හැටියට මොරිස්ගෙ ජීවිතයට කරදර වලින් නම් අඩුවක් නැහැ. හැබැයි ඉතිං ඒ දිව්‍යාදරී නාට්‍යයේ මොරිස්ටනෙ. සැබෑ ජීවිතයේ ප්‍රදීප් ධර්මදාස එක්ක අපි ටිකක් කතා කරමු.

ප්‍රදීප් මේ දිනවල ටිකක් අල්ලා ගන්න අමාරුයි වගේ?

මේ දිනවල ටිකක් කාර්ය බහුල වුණා තමයි. දිව්‍යාදරී නාට්‍යයේ ෂූටිං, ඊට අමතරව යූ ටියුබ් එකට කරන වැඩ ටික එක්ක බිසී වුණා. ඊටත් අමතරව ගෙදර වැඩත් තියෙනවනෙ.

දිව්‍යාදරී ගැන කියමු ?

මම අධ්‍යක්ෂණය කළ නාට්‍ය අතරින් දීර්ඝ නාට්‍යයක් ලෙස කරන දෙවැනි එක දිව්‍යාදරී.

මේ නාට්‍යයේ විශේෂත්වය වන්නෙ, අධ්‍යක්ෂණය කරමින්, ඔබ චරිතයක් රඟපෑම නේද ?

ඔව්, මීට කලින් මගේ නාට්‍යවල මම රඟපෑවෙ නැහැ. මේ චරිතයට ගැලපෙන්නෙ මාවම තමයි කියලා අපේ චාමර සමරවික්‍රම නිෂ්පාදකවරයා කිව්වා. මේක රචනය කරන්නෙ ගයාන් හෙට්ටිආරච්චි. හැබැයි චාමරට තමයි ලොකුම වුවමනාව තිබුණෙ. මීට පෙරත් එයා මට චරිතවලට කතා කරලා තිබුණෙ. මේ චරිතය මටම කරන්න කිව්වාම ඉතින් මම බාර ගත්තා. මොරිස් වුණේ ඒ විදියටයි.

මොරිස් මොන විදියෙ කෙනෙක්ද ?

ජීවිතේ පවුල් බරින් සහ ප්‍රශ්න වලින් මිරිකිලා ඉන්න කෙනෙක්. එයා බිස්නස් කරන්නෙ. කලින් විවාහයෙන් ඩිවෝස් වෙලා ඉන්නෙ. ඒත් කලින් බිරිඳ මොරිස් හොයාගෙන එනවා. දරුවො දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක්. ඉතින් ඔහොම ඉන්න කොට තමයි එයාට ඉස්කෝලෙ කාලයේ තිබූ ප්‍රේමයක් යළි හමුවන්නෙ. එතැන් සිට ජීවිතය ගලා යන්නෙ එහෙමයි.

ඔබගෙ කොටස් රූගත කරද්දී කවුද මෙහෙය වන්නෙ ?

මමම තමයි.

එතකොට ඇක්ෂන්, ටේප් රෝලිං, කට් ඒවා කියන්නෙ කවුද?

අධ්‍යක්ෂවරයා විදිහට කට් කියන්න වෙන්නෙ මටම තමයි. බොහෝ වෙලාවට ඇක්ෂන් කියන්නෙ කැමරා අධ්‍යක්ෂවරයා සහ සහාය අධ්‍යක්ෂවරයා.

ප්‍රදීප්ගෙ ප්‍රධාන භූමිකාව රඟපෑමද? අධ්‍යක්ෂණය ද?

අධ්‍යක්ෂණය කිව්වොත් හරි. රඟපෑම ඉඳහිටලා මේ විදියට කරගෙන යන්න පුළුවන්.

වඩා ප්‍රිය රඟපෑමට ද? අධ්‍යක්ෂණයට ද?

ඒ කාලයේ රඟපාන්න ආ දිනවල සිට මට තිබුණෙ සිනමා හීනයක්. ඒක නිසාම තමයි අධ්‍යක්ෂණය කියන දේට වැඩිපුර කැමැත්ත තියෙන්නෙ. රඟපෑමට අකමැති නැහැ. ඒත් ඒකට හොඳ හැඟීමක් එක්ක ප්‍රවේශ වෙන්න ඕනෑ. මගේ වැඩකදී වුණත් ඒ චරිතයට මාව සෙට් වෙන්නෙ නැත්නම් මම රඟපාන්නෙ නැහැ.

දැන් නිවේදන කටයුතු කරන්නෙ නැද්ද? මොකද ඔබ මුලින්ම ආවේ ක්ෂේත්‍රයට නිවේදකයකු විදිහට?

ඒ වැඩේ නම් පසුගිය කාලයේ දී කෙරුණෙ නැති තරම්. ඒ කාලයේදී මම ක්ෂේත්‍රයට ආවේ ස්වර්ණවාහිනියේ නිෂ්පාදන අංශයෙන්. ඉන්පසුව තමයි නිවේදනයට එක් වුණේ. නිවේදකයකු වීමේ සිහිනය තිබුණෙ. හැදෑරීම් කළෙත් ඒ වෙනුවෙන්. ඉතින් ඉන් පස්සෙ නිවේදන අංශයට ආවා. ස්වර්ණවාහිනියෙන් අයින් වෙද්දී, නිවේදන වැඩෙත් යට ගියේ. අධ්‍යක්ෂණ පැත්තට යොමු වුණ නිසයි.

කොහොමද දිව්‍යාදරීට ලැබෙන ප්‍රතිචාර?

ප්‍රතිචාර නම් ඉතා හොඳයි, නාට්‍යයට සහ එහි චරිතවලට වගේම පුද්ගලිකව මට ලැබෙන ප්‍රතිචාරත් ඉහළයි. ඒ හැරත් කාලයකින් මම චරිතයක් රඟපාන්නෙ.

ඔබගෙ බිරිඳ දිනුජා රූපසිංහ අපට අමුත්තියක නෙවෙයි, එයත් ස්වර්ණවාහිනියෙ හිටපු නිවේදිකාවක්. අද ඇය වෛද්‍යවරියක්, ඉතින් ඔබගෙ ඒ සොඳුරු කැදැල්ලේ විස්තර කියමු?

අපට දරුවො තුන්දෙනෙක් ඉන්නවා. පුතාලා දෙන්නයි, දුවයි. පුතාලා දෙන්නා ඉස්කෝලෙ යනවා. දුව තවම පොඩියි. බිරිඳ දිනුජා වෛද්‍යවරියක්. එයා යූ ටියුබ් චැනල් එකකුත් කරනවා. ඉතින් ඒකෙ නිෂ්පාදන කටයුතු ටිකත් කරලා දෙන්නෙ මම. සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන බොහෝ දැනුවත් කිරීම් දිනුජා ඒ චැනල් එක ඔස්සේ කරනවා. ඒක දැන් හරි ජනප්‍රියයි.

දිනුජා වෛද්‍යවරියක ලෙස සේවය ලබා දෙන්නෙ?

මේ දිනවල කළුබෝවිල රෝහලේ. ප්‍රධානව ඉන්නෙ මහරගම රෝහලේ, රක්තවේදය නැත්නම් රුධිර සම්බන්ධව තමයි එයා කටයුතු කරන්නෙ.

ස්වර්ණවාහිනියෙන් එදා ආ මේ නිවේදක යුවළ අද ඔබ අධ්‍යක්ෂවරයෙක්, ඇය වෛද්‍යවරියක් ඒ සුසංයෝගය ගැන ඔබට හිතෙන්නෙ කොහොමද?

ඒක හොඳ දෙයක්. අපි දෙන්නා වෙනම ක්ෂේත්‍ර දෙකක. නමුත් එදා ඇයත් නිවේදන කලාවෙ සිටි නිසා මේ වැඩ කරද්දී අපට බොහෝ දේ ගැන හොඳ අවබෝධයකින්, වටහා ගැනීමකින් කටයුතු කරන්න පුළුවන් වී තිබෙනවා. එයාගෙ යූ ටියුබ් වැඩේදී මගෙන් එයාට සපෝට් එකක් වගේම ඇයගෙනුත් මගේ වැඩවලදී සපෝට් එකක් ලැබෙනවා. ඉතින් සාමකාමීව පවුල් ජීවිතේ ගෙවෙනවා.

ගෙදර අය අසනීප වුණාම බෙහෙත් දෙන්නෙත් වෛද්‍ය දිනුජාද ?

ඔව්, ඔව්, ඒ නිසා ටිකක් බය නැතුව ඉන්න පුළුවන්. දරුවන්ට අසනීපයක් වුණත්, එක පාරට රෝහලට ගෙනයන්නෙ නැතුව කළයුතු දේ ඇය දන්නවනෙ. අපේ හිතවත් අයටත් ඇය උපදෙස් දෙනවා.

ගෙදර ළමයි තුන්දෙනා එක්ක ගත කරන වෙලාවට දැනෙන විදිය මොන වගේද?

හරිම සුන්දරයි. වචනයෙන් විස්තර කරන්න බැරි තරමටම සුන්දරයි. නමුත් ඉතින් ලෝක යුද්ධෙ වගේ තමයි. දන්නවනෙ ඉතින් පොඩ්ඩන්ගෙ හැටි. දුවන්න පනින්න එයාලා ආසයි. ඒත් මේ නාගරිකරණය වූ සමාජය ඇතුළෙ සීමිත ඉඩකඩක් ඒකට තියෙන්නෙ. ළමාකම හරි විදියට එළියට දාගන්න ළමයින්ට තියෙන අවකාශය අඩුයි. ඒ ඉඩක් ලැබුණු විගස එයාලා එක්ක එළියට යනවා.

එයාලාගෙ නම් කිව්වොත්?

ලොක්කා කත්සාන්, දෙවැනි පුතා අභිරත්, දුව අසෙලීයා.

ගෙදර ඉවුම් පිහුම් කරන්නෙත් දොස්තර නෝනාම ද?

අපොයි ඔව්, දොස්තර නෝනාගෙ අම්මා සිටින දවසුත් තියෙනවා. ඒත් බොහෝ දිනවල උදේම නැගිටලා එයා තමයි ඒ වැඩ කරන්නෙ. ඊට පස්සෙ පුතාලා දෙන්නා පාසලට ඇරලවනවා. එක්කගෙන එන්නෙත් එයාම තමයි.

ඒ ප්‍රේමය, ඒ බැඳීම එක්ක විවාහය දක්වා ගොස් අද මේ විදියට ගෙවන ජීවිතය ගැන ප්‍රදීප්ට හිතෙන්නෙ කොහොමද?

ඇත්තටම සතුටක් එක්ක ආඩම්බරකමක් දැනෙන්නෙ. දරුවො තුන්දෙනෙක් ඉන්නවනෙ. පවුලක් විදියට ඒ ගනුදෙනුව සුන්දරයි. හරි සතුටුයි. 

සමහරු රූපය ගැන හිතන නිසා අද කාලයේ එක් දරුවකුට බොහෝවිට සීමා කරනවා, ඒත් ඔබ දෙපළ දරුවන්ට ආදරෙයි වගේ පෙනෙන්නෙ?

දිනුජා විවාහ වෙච්ච කාලයේ ඉඳලම දරුවන්ට ආසයි. දරුවො වැඩිවෙන්නෙ නැහැ. අසීරු වෙන්නෙ දරුවො කුඩා කාලයේදී විතරනෙ. ඊට පස්සෙ එයාලා පොළවෙ පය ගහන්න පටන් ගත්තාම, ලොකු සතුටක් ඇතිවන්නෙ. ඉස්සර මම තනියම හිටියෙ. පවුලක් එක්ක ඉන්න එක සහ පොඩි දරුවන් එක්ක ගෙවන ජීවිතය වෙනමම සුන්දර ජීවිතයක්.

තාත්තා, කෙනෙකුගේ භූමිකාව කොහොම විය යුතුය කියලද හිතන්නෙ?

තාත්තා කෙනෙක් කියන්නෙ ලොකු වගකීමක් තියෙන්නෙ. ඒත් කොච්චර කළත්, අම්මා කෙනෙක් තමයි දරුවන්ගෙ සියලු දේ බාරගෙන කටයුතු කරන්නෙ. තාත්තලාට දරුවන් වෙනුවෙන් කළයුතු ප්‍රධානම දේ වෙන්නෙ එයාලට එයාලගෙ ළමා කාලය ලබාදීම වගේම හොඳ අධ්‍යාපනයකට මාවත සකසාදීම. මිත්‍යා විශ්වාස වලින් තොරව එයාලට වෙනස් විදියට හිතන්න පුරුදු කරනවා නම් නිර්මාණශීලී මිනිසුන් විදියට හෙට දින එයාලා ලෝකයට අවතීර්ණ වේවි.

සඳුන් ගමගේ