ජීවිතේ ගැන මම කණගාටුවෙන් බලන කෙනෙක් නෙවෙයි. සතුටින් ජීවත්වන කෙනෙක්
‘මම ගජමෑන් මම හැමදේම කරන්නෙ බොහොම පිළිවෙළට. මම වැඩ කරන්නෙ මගෝඩිස්තුමාට එතුමට නම් මම නැතුවම බෑ.
මේ විදියට කියන ‘ගජමෑන්’ ව ඔබටත් නැතුවම බැරි චරිතයක් නේද? එයා තමයි පොඩි මල්ලි. ඒත් නැතිනම්, ගාමින්ද. නිකම්ම ගාමින්ද නෙවෙයි, කළුගමගේ ගාමින්ද ප්‍රියවිරාජ් යනු ඔහුගේ සම්පූර්ණ නාමයයි. මේ දිනවල චූටි මල්ලි (සුනෙත්) ගැන වගේම පොඩි මල්ලි ගාමින්ද ගැන බොහෝ දෙනා කතා වෙන්නෙ ගජමෑන් ත්‍රිමාණ සජීවීකරණ ෆිල්ම් එක නිසයි. ඉතින්, ගජමෑන් වූ ගාමින්ද සඳැල්ලට ඇවිත් මොනවද කියන්නෙ බලමු.
ප්‍රියවිරාජ්, කියලා කවුරුවත් අමතන්නෙ නැද්ද?
ඉස්කෝලෙ යන කාලෙයේදි නම්, එක්කෙනෙක් දෙන්නෙක් විතර කතා කරලා තියෙනවා. හැබැයි යාළුවෝ වැඩිදෙනෙක් මට කිව්වෙ ගාමින්ද කියලා. පසු කාලයක දී කලා ක්ෂේත්රයේ වැඩ එක්ක මිනිස්සු පොඩි මල්ලි කියලා කතා කරන්න පටන්ගත්තා. සමහරු ඒ නම් මොනවත් දන්නෙ නැහැ.
නෝනා, කතා කරන්නෙ?
අයියෙ කියලා.
කියමුකො ඒ සුන්දර පවුලෙ විස්තර?
මමයි, බිරිඳයි, දුවයි තමයි අපේ පුංචි පවුල. දුව දැන් මේ වසරේ අ.පො.ස. සා/පෙළට මුහුණ දෙනවා. එයා ඉගෙන ගන්නෙ කොළඹ මියුසියස් විද්‍යාලයේ.
කොහොමද දුවගෙ ඉස්කෝලෙ ළමයින්ගෙන් මේ ජනප්‍රිය තාත්තාට ලැබෙන ප්‍රතිචාර?
එයාලා ඔක්කෝම වගේ මාව දන්නවා. හැබැයි ඉතින් දුව කොහොමටත් පාසලේ ප්‍රසිද්ධ චරිතයක්. මොකද එයා නාට්‍ය, ක්‍රීඩා ඇතුළු බොහෝ ක්‍රියාකාරකම්වලට දායක වන නිසා ඇය ගැන අනෙක් ළමුන් දන්නවා.
සුනෙත් (චූටි මල්ලි) කොහොමද කතා කරන්නෙ?
ගාමින්ද කියලා.
කවුද මේ ගාමින්ද? මොන වගේ චරිතයක් ද?
ගාමින්ද කියන්නෙ එන්ටර්ටේනර් කෙනෙක්. විනෝදාස්වාදය සපයන කෙනෙක්. එයින් අදහස් වන්නෙ විනෝදාස්වාදය විතරක්ම නෙවෙයි. නළුවෝ, ගායකයො ඔය කොයි කවුරුත් එන්ටර්ටේනර්ස්ලා තමයි. ප්‍රධාන දේ ආනන්දය නෙ. ඉන්පස්සෙනෙ ප්‍රඥාවට යන්නෙ. මමත් මාව එන්ටර්ටේනර් කෙනෙකු ලෙස හඳුන්වනවට කැමතියි.
විනෝදාස්වාදය සහ දැන්වීම්කරණ නිර්මාණ ශිල්පියකු වන ඔබ ඉගෙන ගත්තෙත් කොළඹ ආනන්දයෙ නේද?
මගේ පළවැනි පාසල රාජගිරිය ජනාධිපති විද්‍යාලය, ශිෂ්‍යත්වය සමත්වෙලා ආනන්දෙට ඇතුළත් වුණා. වැඩි කාලයක් ගත කරලා තියෙන්නෙ ආනන්ද විද්‍යාලයෙ. ඉගෙනීමට අමතරව පාසලේ දී සංගීත වැඩවලටත් සහභාගි වුණා. පාසල් අතර ප්‍රථම සංගීත කණ්ඩායම බිහිවුණේ මා සිටි කාලයේ දී. ඒකෙ නම රිදම් ඔෆ් ද මෙරූන්ස් (Rythem of the Meroons) එකේ ගායකයකු ලෙස හිටියා. ඊට අමතරව ලයනල් රංවල ශූරීන් යටතේ නාට්‍ය ගැන හැදෑරුවා. නාට්‍ය සංගම්වල හිටියා. ඒ වගේ සොඳුරු කලාකාමී මතක තමයි තියෙන්නෙ.
ඒ කාලයේ හොඳ ගණන් කාරයෙක් නේද? ඒ කියන්නෙ උසස් පෙළ කළේ ගණිත අංශයෙන් නේද?
ගණිත අංශයෙන් උසස් පෙළ හැදෑරුවෙ. ඉංජිනේරුවකු වීමේ අරමුණක් තිබුණෙ. නමුත් ඒ උත්සාහය අසාර්ථක වුණේ කැම්පස් නොතේරුණ නිසයි. ඒත් ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ජනසන්නිවේදනය පිළිබඳව උසස් අධ්‍යාපනය හැදෑරුවා. කොහොම වුනත් ගණිත විෂය ගැන ඉගෙන ගත්ත එක ගැන මට සතුටුයි.
සුනෙත් (චූටි මල්ලි) ගැන කොහොමද හිතෙන්නෙ? ඒ එකතුව ගැන?
1997 විතර අපි තරුණසේවා සභාවේ නිස්කෝ පාඨමාලාවට ආවෙ. ඒ හමුව ඇත්තටම ශක්තියක් වී තිබෙනවා. අපි අපේ නිර්මාණකරණයේ ගමනක් ඒමට පෙර, විවිධ ආයතනවලට සේවය ලබාදුන්නා. ඒ විදියට එකට ආ ගමනක් අපි දෙන්නට තියෙන්නෙ.
ජීවිතේ ගැන අද පොඩි මල්ලිට හිතෙන්නෙ කොහොමද?
ජීවිතේ ගැන මම කණගාටුවෙන් බලන කෙනෙක් නෙවෙයි. සතුටින් ජීවත්වන කෙනෙක්. ඒත් ලංකාව ගැන බලද්දි නම් දුකක් ඇතිවෙන්නෙ. ලංකාවේ හැමෝගෙම ජීවිත අර්බුදකාරී තත්ත්වයකට පත්වෙලා. හෙට දවස ගැන අපි කාටවත් නිශ්චිතව හොඳක් කියන්න බැහැ. වතුර ටික, පෙට්‍රල් ටික, කරන්ට් එක තිබුණට, අපි තවම රටක් ලෙස ස්ථාවර නැහැ. මොන දේ වුණත් ගත කරන ජීවන රටාව ගත්තාම ඒකාකාරී නැහැ. අපි නිර්මාණකරණ කටයුතු වෙනුවෙන්, ගත කරන කාලය ගැන සතුටුයි. මොකද ඒ ස්වභාවය ඒකාකාරී නැහැ.
ගාමින්ද, ‘ගජමෑන්’ ගැන කියමු? නැගලා යනවා නේද වැඩේ?
මේ චිත්‍රපටයේ තිර රචනය, දෙබස් රචනය, හඬකැවීම් අධ්‍යක්ෂණය සහ ප්‍රධාන චරිත කරන්නෙ සුනෙත් සහ මම. රඟපානවා කිව්වෙ ගජමෑන්ට සහ ඇම්ඩාට හඬ කවලා තියෙන්නෙ අපි. චිත්‍රපටයෙ අධ්‍යක්ෂණය චානක පෙරේරා. ගජමෑන් සාර්ථකව තිරගත වීම ලොකු සතුටක්.
මේ ගජමෑන් චිත්‍රපටයේ සෙල්ලංසේන අයියගෙ චරිතයට ලෝප්‍රකට ලසිත් මාලිංගගෙ රූපය යොදාගෙන තියෙන්නෙ මීට කලින් මාව දැකලා නැද්ද කියලා අහනවනෙ? ඒක දැකපු මාලිංග මොනවද කිව්වෙ?
මේ දිනවල වීඩියෝ එකකුත් සංසරණය වෙනවා. මාලිංග ඒ වීඩියෝ කොටස් බලලා විනෝද වෙන. ඔහු මේ චිත්‍රපටය නරඹන්න බලාගෙන ඉන්නෙ. 29 ඉඳලා ගජමෑන් ඔස්ට්‍රේලියාවේ පෙන්වනවා. ඉතින් ඒක බලන්න යනවා කියලා ඔහු අපට කිව්වා. ඔහුට හරිම සතුටුයි ඒ ගැන.
මේ ගජමෑන් සෑහෙන කාලයක් තිස්සේ නිර්මාණ කටයුතු කළ එකක්නෙ. මොනවද මුහුණදුන් අසීරුතා?
ලොකුම අසීරුතාවය තමයි, කාලයක් තිස්සේ වෙනස් වූ නිසා අපට නිතර නිතර තිර පිටපත වෙනස් කරන්න සිද්ධවීම. අපි මුලින්ම ලියපු එකට වඩා සමහර සිද්ධීන් අපට වෙනස් කරන්න සිදුවුණා. රටේ කලින් කලට සිදුවූ සමාජ සිද්ධීන් එහෙමත් අලලා පිටපත වෙනස් කිරීම් කරද්දි තමයි අපි අසීරුතාවට මුහුණ දුන්නෙ. ඒ හැරෙන්නට මෙහි චරිතවලට දෙබස් කැවූ නැසීගිය සුනිල් පෙරේරා මහතාගෙ සිට හැමෝම අපට ලොකු සහයෝගයක් ලබාදුන්නෙ.
සුනිල් අයියා එක්ක වැඩ කරන්න ලෙහෙසි වුණාද?
කලිනුත් අපි සුනිල් අයියා එක්ක වැඩ කරලා තියෙනවා. ඒ අවබෝධය තිබුණා. ඔහු ඉතාම නිහතමානී පුද්ගලයෙක්. වැඩ කරන්න ලෙහෙසි කෙනෙක්. ඒක හැමෝම දැනසිටි දෙයක්. ඉතින් අපට ඔහු ලබාදුන්නෙ ලොකු සහයෝගයක්. දවස් දෙකකදි ඉතා උනන්දුවෙන්, අපේ අධ්‍යක්ෂණයත් උපදෙස් පිළිගෙන ඒ වැඩේ කළා.
ගජමෑන් වූ ගාමින්දට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?
අනේ, ඉතාම හොඳයි. ආදායම් වාර්තා තබමින්, මේ චිත්‍රපටය තිරගත වෙනවා. බලන බලන අය හොඳයි කියනවා. චිත්‍රපටය තිරගත වන සිනමාශාලාවලටත් අපි ගියා. එහිදී ප්‍රේක්ෂකයින්ගෙන් අපට ලැබුණෙ උණුසුම් ප්‍රතිචාර. දෙවැනි එකකුත් එනවද කියලා අහනවා. ඒ වගේ හොඳ ප්‍රතිචාර තමයි.
ඒ හැර, ඔබ දෙපළට චූටි මල්ලි සහ පොඩි මල්ලිට ප්‍රේක්ෂක ප්‍රතිචාර මොන වගේද?
මම හිතන්නෙ අපි ගායන රංගන තරු නෙවෙයි. ඒත් සමහර තැන්වලට ගියාම ක්ෂේත්රයේ සමහර අයට නොලැබෙන උණුසුම් ප්‍රතිචාර අපට ලැබෙනවා. සෙල්ෆි ගන්න කතා කරන්න අපි එක්ක එකතු වන පිරිස බොහොමයි. ලොකු සතුටක් අපට. අපි සුහදව ඔවුන් එක්ක හැසිරීම නිසා ඒ වගේ ප්‍රතිචාර ලැබෙනවා ඇති. ඒ ආදරණීය පිළිගැනීමට අපි හරි ආදරෙයි.
එහෙම වුණාට, සමහරු කියන්නෙ නම් පොඩි මල්ලි හෙවත් ගාමින්ද ආඩම්බරකාරයෙක් කියලයි?
එහෙම නැහැ, සුනෙත්ට සාපේක්ෂව ගත්තොත් මම ටිකක් නිහඬ පුද්ගලයෙක්. කතා කරනවා අඩුයි. මොකටද ආඩම්බර වෙන්නෙ. මොනවටද ආඩම්බර වෙන්නෙ?
ඒ කාලයේ ගජමෑන් චිත්‍රකතාව ගාමින්ද කියවලා තියෙනවද?
ඔව්, මට මතකයි, සතුට පත්තරේද කොහෙද තිබුණා. තවත් පත්තරයක තිබුණා. ඉතින් ඒ කාලයෙන් පසුව චිත්‍රකතා පත්තරත් නැතුව ගියානෙ.
එදා ඒ විදියට චිත්‍ර කතාවෙන් ගජමෑන් බැලූ ඔබට මෙදා ගජමෑන්ට රඟපාන්න ලැබුණම ඇතිවූ හැඟීම?
ගජමෑන් චරිතය අපට වඩා වයසයි. ඒ කැමිලස් මහත්තයා නිර්මාණය කළේ 60 දශකයේ දී. කොහොම නමුත් ලංකාවේ ප්‍රකට කාටුන් චරිතයක් වූ ගජමෑන්ට හඬකවමින් ඒ චරිතයට පණ දෙන්න ලැබීම ලොකු සතුටක්. කැමිලස් මහත්තයා වුණත් ඒ කාලයේ ගජමෑන් හරහා රටේ විවිධ ප්‍රශ්න අලලා විහිළු කළේ. ඉතින් පිටපත ලියද්දී අපට අද කාලයට ගැලපෙන විදියට ලිව්වෙ නැත්නම් වැඩේ නැගලා යන්නෙ නැහැ. මිනිස්සුන්ට හිනාවෙන්න බැරි නම් අපි අසාර්ථකයි. ඒ ගැන තමයි අපට තිබුණ ලොකුම අභියෝගය.
ගාමින්ද, මේ විදියට ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබද්දි ප්‍රේක්ෂකයින් වටකරගෙන සෙල්ෆි ෆොටෝ ගනිද්දි, බිරිඳ මොනවද කියන්නෙ?
මට තේරෙන විදියට එයාට සතුටුයි. කොහොමටත් මගේ කටයුතුවල දි මුලින්ම එහි විචාර ගුණදොස් කියන්නෙ මගේ බිරිඳ සහ දුව. මේ වගේ ෆිල්ම් එකකට සම්බන්ධවීම ගැන එයාලට සතුටුයි. ඇය සමග මේ දක්වා ගෙවූ ජීවිතය අපි සතුටින් හිටියෙ. සුහදව ජීවිතය තේරුම් ගනිමින් අපි ජීවත්වෙනවා.
සඳුන් ගමගේ