ජීවිතයම වෙනස් කළේ අකුණක්
මිනිස්සු ලෝකය දකින්නේ එක එක කවුළුවලින්. කිසිම දවසක සර්වසම කවුළු මිනිසුන් අතර නැහැ. ඒ නිසාම හැම මිනිසෙක්ම අනෙකාට වඩා වෙනස්. ඒ වෙනස්කම අතරිනුත් සුවිශේෂීම වෙනස්කම් ඇති පුද්ගලයන්ව තමා අපි සොයා යන්නෙ. අදත් ඔබ හමුවට අපි අරගෙන එන්නේ ආලෝක සිත්තරෙක්ව. අපේ වචනයෙන් කියනවා නම් ඔහු ඡායාරූප ශිල්පියෙක්.
මේ වන විට ඔහුව නාඳුනන කෙනෙක් සයිබර් අවකාශය තුළ නැහැ. ඔහු නමින් තිළිණ කළුතොටගේ. අපි අද ඔහුව ඔබ ඉදිරියට අරගෙන එන්නේ ඔහු තුළින් නෙවෙයි. අප තුළින්. තවදුරටත් පැහැදිලි කළොත් තිළිණ කළුතොටගේව ලෝකය දකින විදිය තමා අද අපි කතා කරන්න යන්නෙ. මොකද මිත්‍රවරුනේ "අමුතු චරිත" විශේෂාංගයේ හැඩය ටිකක් විතර වෙනස්.
තිළිණ කියන්නේ සයිබර් ලෝකේ කෙරුම්කරුවන් අතර යම් ජනප්‍රියත්වයක් තිබුණු චරිතයක්. කුඩා කාලේ ඉඳන්ම ඔහු ඡායාරූපකරණයට දැක්වූයේ විශේෂ උනන්දුවක්. වනජීවී ඡායාරූපකරණය සම්බන්ධව තිළිණට විශේෂ උනන්දුවක් තිබුණා මුල ඉඳලම. මේ අතර කාලේ අකුණු ඡායාරූපයට නැගීම සම්බන්ධ අපූරු ආශාවක් මේ තරුණයාට ඇතිවුණේ අහම්බයකින්. දවසක් රැකියාවට යන අතර ඡායාරූපයක් ගනිද්දී තිළිණගෙ දුරකථනයේ අකුණු ඡායාරූපයක් සටහන්වෙලා තිබුණා.
කොහොම හරි අහම්බෙකින් සිතට නැගි ඒ අදහස ඔහුගේ දෛවය වෙනස් කළා. අකුණු ඡායාරූපගත කරමින් ඉන්නකොට ඔහු දැක්කා තවත් අපූරූ ඡායාරූපක්. මේ නිසා ඔහුගේ ජීවිතේ හැමදේම වෙනස් වෙන්න පටන් ගත්තා. මේ ඡායාරූපය ප්‍රංශයේ අයිෆල් කුලුනට ඉහළින් පුපුරා යන අකුණු ඡායාරූපයක්.
මේ ඡායාරූපය දැක්කම තිළිණට මතක් වුණේ තමුන් උදේ හවස දකින නෙළුම් කුලුන. නෙලුම් කුලුනට අකුණු ගහන ඡායාරූපයක් ගන්න ඕනෑ කියලා මේ අපූරු තරුණයා තුළ අධිෂ්ඨානයක් ඇති වුණා. කොලොම්පුරේ ප්‍රකට නිවුන් කුලුනුවල බටහිර කුලුනේ 27 වැනි මහලේ ඔහු සේවය කරපු නිසාම, මේ කටයුත්ත වෙනුවෙන් කැපවෙන්න තිළිණට විශේෂ අවකාශයක් ලැබුණා.
2019 පෙබරවාරි දහවැනිදා තමයි දවස. ඒ වෙනකොටත් මාස කිහිපයක් මේ ඡායාරූපය වෙනුවෙන් කොළඹ අහස දිහා බලාගෙන මේ තරුණයා ඉඳලා තිබුණෙ. නෙළුම් කුලුනට කොතරම් ආත්මීය වශයෙන් ඔහු බැඳිලා තිබුණාද කියනවා නම් නෙළුම් කුලුන ආලෝකමත් කරපු පළවෙනි දවසෙත් ඔහු තමා පළමු ආලෝක සිතුවම කරලා තිබුණෙ.
තමන්ගෙ අරමුණට යන ගමන්, කොළඹ අහසෙ පුපුරා ගියපු අකුණුවල හැඩතල මේ කාලය පුරාවට ඔහු මුහුණුපොතට එකතු කළා. වනජීවී ඡායාරූපවලටත් යම් ප්‍රසිද්ධියක් ලැබිලා තිබුණා. දැන් තිළිණ ඡායාරූප ශිල්පියෙක් විදිහට ටිකක් ප්‍රසිද්ධයි.
කොහොම හරි එදා රාත්‍රී 9.30ට විතර ඇසිල්ලක පුපුරා ගිය අකුණ තිළිණ තමන්ගේ තෙවැනි ඇසෙහි සටහන් කරගන්න සමත් වුණා. මේ ඡායාරූපයත් එක්ක තමයි රටම ඔහු ගැන කතා කරන්න පටන් ගත්තේ. ඒ වෙනකොට තිළිණට වයස අවුරුදු විසි දෙකක් විතර ඇති.
ගෙවී ගිය අවුරුදු දෙකකට අධික කාලය තුළ තිළිණ කළුතොටගේ කියන ඡායාරූප ශිල්පියා ලංකාවේ අතිශය ජනප්‍රියම චරිතයක් බවට පත්වුණා. ඇත්තටම ඒක අහම්බයක් නෙවෙයි. ආරම්භයේ ඉඳලම ඔහු තරමක් අමුතු විදිහට හිතපු චරිතයක්. ඒ අමුතු බව, වෙනසම ඔහුව ලොකු ගමනක් අරගෙන ආවා. අද ඔහු අකුණු ඡායාරූප ගන්න ඡායාරූප ශිල්පියෙක් විතරක් නෙවෙයි, අද තිළිණගෙ පරාසය අති විශාලයි.
රටේ දේශපාලන අර්බුද ඇතිවෙච්ච සමයේ තිළිණගෙ තෙවැනි ඇස එය වෙත යොමු වුණා. ඓතිහාසික තීරණාත්මක ඡායාරූප මේ අපූරු තරුණයා සිය තෙවැනි ඇසින් ලබාගත්තා. ඒ ඔහු ලබාගත්ත භූමි දර්ශන ඡායාරූප, ඩ්‍රෝන් ජායාරූප රටේ තාරුණ්‍යය අතර අතිශය ජනාදරයට පත්වෙලා තිබුණා.
අවසානයේ සියලු සීමා මායිම් බිඳගෙන තිළිණ කළුතොටගේ පසුගියදා ජාත්‍යන්තරයත් අතික්‍රමණය කළා. The Guardian වගේ ලෝකෙ අතිශය ජනප්‍රිය පුවත්වල මුද්‍රිත පිටපත්වලත් තිළිණගේ ඡායාරූප පළ වුණා. ඔහු ලබපු මේ ජයග්‍රහණ නිසාමයි, අද මේ කතාව අපිට ඔබ එක්ක බෙදාගන්න හිතුණෙ.
පසුගිය දවස්වල The Guardian වෙබ් අඩවියත් අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකාවේ සුන්දර දසුන් රුගත් තිළිණගෙ ඡායාරූප කිහිපයක් පළ කරලා තිබුණා. ඒ විතරක් නෙවෙයි, ලෝකයේ ජනප්‍රිය ජාත්‍යන්තර පුවත් සඟරාවක් තිළිණ සමඟ සම්මුඛ සාකච්ඡාවකුත් පවත්වලා තිබුණා. මේවා ලංකාවේ සාමාන්‍ය ඡායාරූප ශිල්පියකුට ලැබෙන අවස්ථා නම් නෙවෙයි. ඒ වගේමයි තිළිණගෙ වයස එක්ක බැලුවම මේ හැමදෙයක්ම ඔහුගෙ ජීවිතයේ අද්විතීය කඩඉම්.
අපිට හැඟෙන විදිහට මෑත කාලීනව මේ අපූරු තරුණයා ලබපු සුවිශේෂීම ජයග්‍රහණය අපි දැක්කේ ඔහුගේ පසුගිය ඔක්තෝබර් දහවැනිදා. එදින උදෑසන තිළිණ ලබාගත්ත සීගිරියේ ඡායාරූපයක් හවස් වෙද්දි National Geographic වෙබ් අඩවියේ පළ වුණා. ලෝකේ ඕනෑම ඡායාරූප ශිල්පියෙකුගේ හීනයක් තමා මේ වගේ වෙබ් අඩවියක තමන්ගේ ඡායාරූපයක් පළවන එක. මේ අපූරු තරුණයා එම සිහිනය සැබෑ කර ගත්තා.
ලංකාවේ සංචාරක කර්මාන්තයට නැවත පණ ලබාදීමේ අරමුණින් පළවුණු මේ ඡායාරූපය පිළිබඳ ඇත්තටම මේ තරුණයාට දැනිලා තිබුණේ අභිමානයක්. ඔහු ඒ පිළිබඳ අපූරු සටහනක් මුහුණුපොතටත් එකතු කරලා තිබුණා.
ඇත්තටම තිළිණ කළුතොටගේ ගේ ඡායාරූපකරණය තුළින් ප්‍රකට වන ගොඩක් දේවල් තියෙනවා. කොහොම වුණත් සංකීර්ණ කතාබහකට මේක අවස්ථාව නෙවෙයි. අද තිළිණ කළුතොටගේ ඡායාරූපකරණයේ එක් ධාරාවකට කොටු වුණු චරිතයක් නෙවෙයි. සියලු සීමා මායිම් බිඳගෙන ඔහු ඉදිරියටම ගමන් කරමින් ඉන්නේ. ඒ කොහොම වුණත් ඔහු තුළ දැවැන්ත සෞන්දර්යවාදී ඡායාරූප ශිල්පියෙක් සිටින බව නිරන්තරයෙන්ම ප්‍රකට වෙන කාරණාවක්.
අපිට හිතෙන විදිහට මේ මොහොතේ ලංකාවේ ඡායාරූප ශිල්පියෙක්ට හිමි දැවැන්තම රසික සමාජය තියෙන්නෙ තිළිණ කළුතොටගේට. මුහුණුපොතේ ඔහුගේ පිටුව ඍජුව අනුගමනය කරන්නන් ප්‍රමාණය තුන්ලක්ෂ විසිපන් දහසකට වඩා වැඩියි. ඔහුගේ විශිෂ්ට ඡායාරූප දහස් සංඛ්‍යාත පිරිසක් බෙදාගන්නවා. රසවිඳිනවා. අපිට තේරෙන විදියට තිළිණ කියලා කියන්නේ අලුත් පරම්පරාවට වීරයෙක්. ඒ නිසාම දැන් තිළිණට වගකීම් ගොඩයි.
නිසල්