ජීවිතයෙදි කාන්තාවකට පිරිමියකු - පිරිමියකුට – ගැහැණියක් ඕනෑ. මට දැන් නැති වුනාට, පිරිමියෙකු සිටීම ගැහ
වෘත්තියෙන් ගුරුවරියක වන අයේෂා දිසානායක, ඊට අමතරව රංගන ශිල්නියක වන්නීය. ඇය රංගනයට පිවිසියේ ගුරු වෘත්තියට ඒමට පෙර සිටය. වේදිකා නිර්මාණ සමග රංගනයට පැමිණි අයේෂා වැඩිහරියක්ම අද දවසේ අපට හමුවන්නේ, ටෙලිනාට්‍ය නිර්මාණ ඔස්සේය. තම සැබෑ ජීවිතයේ චරිතයට වටිනාකමක්, අරුතක් දෙන අතරේ රඟපාන චරිතවලට ජීවයක් ලබා දීමට උත්සාහ ගන්නා, අයේෂා මේ දිනවල අපට හමුවන්නේ ‘‘මල් පිපෙන කාලේ’’ සහ නීල පබළු නාට්‍යයේ මෙන්ම දිව්‍යාදරී නාට්‍යයේ චරිතයක් සමගයි. ඊට අමතරව සුපුරුදු විදියට වේදිකාවේදී අපට හමුවන අයේෂාගෙන් මේ දිනවල හමුවන බොහෝ දෙනා විමසන්නේ ඔයා ඔච්චර නපුරු වුණේ ඇයි? කොහොමද? කියලාලු? අයේෂාගෙන්ම ඒ ගැන අපි අහමු.
අයේෂාට ‘‘මල් පිපෙන කාලේ’’ නේද?
මල් පිපෙන කාලේ, නාට්‍යයේ චරිතය ගැනද ඔය අහන්නෙ?
හා, කියන්නකො ඒ චරිතය ගැන?
දරුණු චරිතයක් කිව්වොත් හරි. ඒ කියන්නෙ නපුරු චරිතයක්. වැඩේ කියන්නෙ මල් පිපෙන කාලේ නිසා දැන් මට දිගටම කතා කරන්නෙ ‘‘නපුරු’’ චරිත රඟපාන්න. දරුණු ගැහැණියකගේ චරිත කිව්වොත් හරි. නීලපබළු එකේ මෙත්මා පවා නපුරු - සැර පරුෂ ගැහැණියක්. මේ දිනවල මට මල් පිපිලා තියෙන්නෙ ඔන්න ඔය විදියටයි. ‘‘දිව්‍යාංජලී’’ නාට්‍යයේ ‘‘දිප්ති’’ගේ චරිතයත් ඒ විදියයි.
‘‘අයේෂා’’ රංගනයට ඇවිත් කොච්චර කල්ද?
මම කොළඹට ආවෙ 2002දී. ඇවිත් ටවර්හෝල් නාට්‍ය පාසලට එක්වී හැදෑරුවා. ඉන්පස්සෙ 2003 දී සෞන්දර්යය සරසවියට තේරුණා. සරසවි අධ්‍යාපනය ලැබුවේ සෞන්දර්යය සරසවියෙන්.
කොළඹට ආවෙ කොහෙ ඉඳලද?
බදුල්ලෙ ඉඳලා. මම බදුල්ලෙ කෙනෙක්. පවුලේ අම්මයි - තාත්තයි මමයි - නංගියි. සාමාන්‍ය පවුලක්. සරල පවුලක්. අම්මයි, තාත්තයි සෑහෙන්න මහන්සි වුණේ නංගිටයි - මටයි උගන්වන්න. අපේ මුළු පවුලෙන්ම මුලින්ම කැම්පස් ගිහින් තිබුණෙ මමයි, අපේ නංගියි විතරයි. මම හිතන්නෙ අදටත් අපේ පවුලෙන් කැම්පස් ගිහින් තියෙන්නෙ අපි දෙන්නා විතරයි.
අයේෂා කැම්පස් ගියේ සෞන්දර්යය අංශයෙන්? එතකොට නංගි?
මගේ අරමුණ වුණේ නර්තන ගුරුවරියක වීමටයි. අම්මයි - තාත්තයි මගේ පොඩි කාලයේදි මාව උනන්දු කළෙත් නර්තනයට. අම්මා එදා සිට මාව නර්තන පුහුණු පංතිවලට එක්කගෙන ගියා. නංගි වාණිජ අංශයෙන් සරසවි ගියේ. එයාගෙ විෂය වුණේ එකවුන්ටින් (ගණකාධිකරණය)
ටවර්හෝල් ගමනින් පස්සෙ?
ටවර්හෝල් පාසලේ රංගනය ගැන හදාරමින් සිටියදීම වගේ වේදිකාවේ රඟපෑමට අවස්ථාව ලැබුණා.
ඒ විදියට රඟපෑමට ආ අයේෂාගෙ ගමනට අවුරුදු 20ක් විතර ගෙවී ගිහින් ඒ කාලයේදී බලාපොරොත්තු වූ විදියට අයේෂාට රඟපෑමට අවස්ථා ලැබුණද? ‘‘ප්‍රධාන’’ චරිත එහෙම?
චරිතයෙ ප්‍රමාණය – තරම කෙසේ වෙතත්, මට මේ දක්වා ලැබුණු චරිත ගැන මම තෘප්තිමත්. ටෙලිනාට්‍ය ගත්තොත්, වේදිකා නාට්‍යය ගත්තොත් ඒ සෑම එකකම වගේ මම රඟපාලා තියෙන්නෙ ප්‍රධාන චරිත. අද ටිකක් එක විදියෙ චරිතවලට කොටුවෙලා වගේ කියලා මට හිතුණට, එක කාලයකදී මම විවිධ චරිත කළ නිසා මට සතුටු වෙන්න පුළුවනි. ඒ හැරත් මට එහෙම චරිත ගැන ලෝභකමක් නැහැ. වේදිකාවෙදි හරි හරියට රඟපාලා තියෙන නිසා මට සතුටුයි. පසුගිය කාලයේ රඟපෑ ටෙලි චරිත අතරින් සිල්ලර සමනල්ලු නාට්‍යයේ චරිතය ගැන අදටත් මට ලැබෙන ප්‍රතිචාර හොඳයි. ජනප්‍රියත්වය කියන දේ වාසනාවට ලැබෙන දෙයක්. නමුත් ජනප්‍රියත්වය මම හොයාගෙන යන කෙනෙක් නෙමෙයි. මට ලැබෙන චරිතය කරනවා. ඒ හැර මට ජනප්‍රියත්වය කියන දේ අල්ලාගෙන ඉන්න කෙනෙක් නම් නොවෙයි.
කොහොම වුණත්, ‘‘අයේෂා’’ කියන ශිල්පිනිය හරියටම චරිතයක් නිසා ලේබල් වුණා. නැත්නම් සළකුණු වූ චරිත ලැබිලා නැහැ කියලා මම කිව්වොත්?
එහෙම එකක් නම් තියෙනවා තමයි. ඒත් එහෙම වෙන්න ඕනෑමද කියලත් ආයෙත් මට හිතෙනවා.
අයේෂාට හැකියාවත් තියෙනවා. කාලයත් තිස්සේ රඟපානවා. ඒත් වඩාත් ජනතාව අතරට යා හැකි විදියේ පුළුල් චරිත ලබා ගන්නට නම් මොන වගේ, මොන විදියේ දෙයක් කළ යුතුද?
මම හිතන්නෙ ‘‘වාසනාව’’ කියන දේ වඩා වැදගත් දෙයක්. රංගන විෂයේදී ‘‘චරිත’’ ලැබීමත් ඇත්තටම වාසනාවක්.
අද රියැලිටි තරගයකින් කැපෙන කෙනා සමහර විට, ඊළඟ දවසේ ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතය, එතකොට ඒකට කියන්නෙත් වාසනාව කියලද
‘‘වාසනාව’’ තමයි.
වතාවක ඔබ රියැලිටි ෂෝ එකකත් හිටියා නේද?
ඔව්, මම ස්වර්ණවාහිනියෙ ඩාන්සින් ස්ටාර් හිටියා. පසුව ඒ චැනලයේම නිවේදිකාවක ලෙසත් කටයුතු කළා. ඉතින් ජනප්‍රිය කියන ‘‘ලේබලය’’ ලබන්න නම් ඒ කල දේ හොඳටම ඇති. මේ ක්ෂේත්රය ඇතුළෙ මගේ නම ලියැවෙන්න නම් මේ දක්වා කළ දේවල් හොඳටම ඇති. හැබැයි අර වාසනාව කියන දේත් හරි වැදගත්.
අයේෂා කවදද පත්තු වෙන්නෙ? කියලා ඔයා සම්බන්ධව කතාවක් තියෙනවා නේද?
ඒක මෙහෙමයි වුණේ. අපේ ගයේෂා පෙරේරා රංගන ශිල්පිනිය හමුවූ දවසක, අයේෂා කවදද ඔයා පත්තු වෙන්නෙ? දැන් ඔයාගෙ ටයිම් එක හරි මචං, පත්තු වෙන්නෙ කවදද කියලා? ඇහුවා ඒ කතාව ආවෙ ඒ විදියටයි.
එතකොට තවම අයේෂා පත්තුවෙලා නැද්ද?
මම හිතන්නෙ තවම නැහැ.
කවදද එතකොට පත්තු වෙන්නෙ? පත්තු වේවිද?
පත්තු නොවුනත්, මම කළ දේ එක්ක මම තෘප්තිමත්. මේක ඇතුළෙ පත්තුවෙලා ලොකුවට දඟලන්න මට කාලයකුත් නැහැ. මොකද රස්සාවක් කරන ගමන් මම මේ රංගන වෘත්තිය කරන්නෙ. මම මගේ ගුරු වෘත්තියට මාරම ආදරෙයි, හරිම ගෞරවනීයයි. වැඩිය දඟලන්නෙ නැතුව ෂේප් න්‍යාය අනුගමනය කරනවා.
මම කිව්වොත් දැන් ඉන්න අලුත් සෙට් එක, අලුත් පරපුර එක්ක ඔයාලට හැපෙන්න බැහැ කියලා?
හැප්පිල්ල, තරගය කෙසේ වෙතත්, දැන් අලුතින් එන අය අතර බොහෝ දක්ෂ අය ඉන්නවා. හරිම දක්ෂයි. ඒක ඇත්තටම මේ රංගන ක්ෂේත්රයට ආලෝකයක්. ලෝභ නැතුව එයාලගෙ දක්ෂතා මම නම් අගයනවා. සකලවිධ හැකියාවන් තියෙන අය එන බව පෙනෙනවා. හරිම සතුටුයි ඒ ගැන.
ඒ කියන්නෙ, අද ‘තාරුණ්‍යයට’ තාරුණ්‍ය ප්‍රමාද නැහැ. අවස්ථා ලැබෙනවා කියලද ඔබ කියන්නෙ?
පැහැදිලිවම ඔව්, අපට තාරුණ්‍ය ලැබුණෙ ප්‍රමාද වෙලා. දැන් අයට පුංචි වයසෙදිම හොඳ අවස්ථා ලැබෙන්නෙ. ඉදිරියට යන්න ඒක එයාලට ලොකු හයියක්. එදා අපට ඒක එච්චර අසීරු වුණාට අද චැනල් ගණනාවක් තියෙන්නෙ. මාධ්‍ය පුළුල් වෙලා, අවස්ථා බහුල වෙලා. දැන් ටී.වී. ප්‍රෝග්‍රෑම් එකකට දෙකකට ගිය ගමන් ගමනක් යොදා ගන්න මාර්ග පෑදෙන්නෙ මිනිස්සු එයාලා ගැන දන්නා නිසයි. චැනල් විසින්ම එයාලට ඒ අවස්ථා ලබා දෙන නිසා තාරුණ්‍යයට වැඩිය දඟලලා මහන්සි වෙන්න ඕනැත් නැහැ. ඒ නිසා ජනප්‍රිය වෙන්නත් දැන් හරි ලෙහෙසියි.
අයේෂා, මේ දිනවල ඔබ නපුරුනෙ? ඉතින් කියන්නකො ඔබ සැබෑ ජීවිතයේදී නපුරු කෙනෙක්ද? රොමෑන්ටික් කෙනෙක්ද?
අයේෂා කියන්නෙ, හරිම රොමෑන්ටික් චරිතයක්. ඒ රොමෑන්ටික් කම ඕනෑවටත් වැඩියි කියලත් මට හිතෙනවා. හැකියාවක් ඉදිරිපත් කිරීමෙදි ඒ නිසාම මට අවාසි වෙලත් තියෙනවා. මම නපුරු වෙන්නෙ නපුරු විය යුතු තැනදි විතරයි. මම බොහොම ආදරණීයයි, ඉවසිලිවන්තයි. ඒ වගේම මම හරි ඉක්මනට මා එක්ක තරහා වෙන අය අත්හරින්න පුළුවනි. එතකොට මට දැනෙන්නෙ ලොකු නිදහසක්. මම හරිම නිදහසට ප්‍රිය කරන ගැහැණියක්.
ජීවිතයට කසාදයක් ඕනෑමද?
ජීවිතයෙදි කාන්තාවකට පිරිමියකු - පිරිමියකුට – ගැහැණියක් ඕනෑ. මට දැන් නැති වුනාට, පිරිමියෙකු සිටීම ගැහැණියකට හයියක්. ජීවිතය බෙදා ගන්න, කතා කරන්න ගැහැණියකට පිරිමියකු අවශ්‍යයි. මේ ළඟදි රඟපෑ නාට්‍යයක ඩයලොග් එකක් මම කියන්නම්. ‘‘මම ආසයි, කාගෙම හරි කවුරු හරි වෙනවට. මගේ ළඟට වෙලා මාව ආදරෙන් ස්පර්ෂ කරනවාට, කතා කරනවාට, ප්‍රේම කරනවාට මාත් ආසයි. ඒත් මෙතෙක් ප්‍රේමයේදි ප්‍රේම කරලා තියෙන්නෙ බොහෝ විට මම විතරයි.
සඳුන් ගමගේ