ජීවිතයේදී ඒ වගේ තැන් එනවා. බොහෝ වෙලාවට එහෙම වූ වෙලාවට ඒ මොහොතේ දුක් වෙනවා
පසුගියදා පැවැති 2022 රයිගම් සහ සුමති සම්මාන උළෙලවලදී හොඳම සහාය නිළියට හිමි සම්මානය ලැබුවේ ඇයයි. ඒ, රොෂාන් රවීන්ද්‍රගේ ‘තණමල්විල කොල්ලෙක්’ නාට්‍යයේ සමන්ති හෙවත්, ලොක්කි ලෙස රඟපෑ චරිතය වෙනුවෙනි. එලෙසින් සම්මාන දිනූ සුලෝචනා වීරසිංහ රංගන ශිල්පිනිය මේ දිනවල ටෙලිනාට්‍ය නරඹන ප්‍රේක්ෂකයින් අතරට එන්නේ ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ ‘කුංචනාද’ නාට්‍යයේ ප්‍රධාන චරිතයක් සමගය. සුලෝචනා හෙවත් ආදරණීය ‘සුලෝ’ එක්ක මේ කතාබහකට හොඳම වෙලාව නේද?
ගඟන පියවර, දිවිතුරා, කොඩිගහ යට සමග මේ දිනවල ටෙලිනාට්‍ය නරඹන ප්‍රේක්ෂකයින් අතරට එන ඔබ ගැන වැඩියෙන්ම කතා වෙන්නේ ‘කුංචනාද’ නාට්‍ය ගැන නේද?
“ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා අධ්‍යක්ෂණය කළ ‘කුංචනාද’ විකාශය පටන් ගත්තෙ මේ 20 වැනිදා ඉඳලා. ඔව්, ඒකෙ ප්‍රධාන චරිතයක් රඟපාන්නේ.”
ඒ චරිතය ගැන කතා කිරීමට පෙර පසුගියදා ඔබ ලැබූ සම්මාන ගැන සඳහනක් කළොත්?
“2022 රයිගම් සම්මාන උළෙලේ හොඳම සහාය නිළිය සම්මානය ලැබුවේ රොෂාන් රවීන්ද්‍රගේ ‘තණමල්විල කොල්ලෙක්’ නාට්‍යයේ ලොක්කිගෙ චරිතය රඟපෑව නිසා. සුමති සම්මාන උළෙලේදීත් හොඳම සහාය නිළියට සම්මාන ලැබුවේ ඒ චරිතයට.”
මේ ඔබ ලැබූ කී වැනි සම්මානය ද?
“චිත්‍රපට ඇතුළු සියලු නිර්මාණ ගත්තොත් 11 වැනි සම්මානය.”
සම්මාන ගොඩක් ලබා ගෙන මේ වෙනකොට?
“ගණන් කරලා බලද්දි එහෙම තියෙනවා. එයින් එකක් අස්ථානගත වෙලා.”
මේ සම්මාන ලබමින් ආ ගමන දිහා බලද්දි හැඟෙන්නෙ මොන විදිහට ද?
“මෙහෙමයි, රඟපෑමෙන් වේදිකාව, ටෙලිනාට්‍ය සහ සිනමාවේ නිර්මාණවලට මම දායක වුණේ සම්මාන ගන්න බලාගෙන නෙවෙයි. සම්මාන අරඹයා රඟපෑවේ නැහැ. ලැබුණු චරිත අධ්යක්ෂවරයා සමග කතා කරගෙන පිටපතේ මවලා තිබූ විදිහට මගේ උපරිමය ලබා දෙන්න උත්සාහ ගත්තේ. රංගනයේ මම ඒ උපරිමය වෙනුවෙන් කැප වෙනවා. ඉතින් ඒකට ලැබුණු දේ තමයි මේ සම්මාන. සම්මාන කියන්නෙ ඇගැයීමක්. ඒක සතුටට කාරණයක්. කැම්පස් එකේ සිටි කාලයේදී මම ප්‍රථමයෙන් රඟපෑවෙ කෙටි චිත්‍රපටයක. ඒකෙ රඟපාද්දි මම හිතුවෙ කවදා හරි දවසක සම්මානනීය ශිල්පිනියක වෙනවා කියලයි. ඒ සිතිවිල්ල තිබුණාට, සම්මාන ගැනීමේ පිපාසයෙන් රඟපෑවෙ නැහැ.”
‘කුංචනාද’ නාට්‍යයේ ඔබගෙ චරිතයේ ස්වභාවය ගැන කොහොම ද විස්තර කරන්නෙ?
“අරුණ ප්රේමරත්නගෙ පිටපතක්. කතාව ඇතුළෙ තේමාව වෙලා තියෙන්නේ, එක්තරා විදිහකට අලි මිනිස් ගැටුම කියලා කියන්නත් පුළුවනි. කාලයක් තිස්සේ ලංකාව ඇතුළෙ තියෙන ඒ ප්රශ්නය විවිධ හේතු නිසා තවම විසඳිලා නැහැ. මේ තේමාව තමයි රචකයා ගේන්නෙ. යම් ආකාරයකට ඒකට විසඳුම් දීලා තියෙනවා. මගේ චරිතය ගත්තොත්, ගමක ජීවත්වන තරුණියක්. අලි මිනිස් ගැටුමට මුහුණ දෙන පවුලක කෙනෙක්. දුෂ්කර ජීවිත ගත කරන පළාතක ඉන්න මේ තරුණියට පෙම්වතෙක් ඉන්නවා. පෙම්වතා සමග අලි සම්බන්ධව අධ්‍යයනය කරන්න සරසවි තරුණියක එනවා. සමහර වෙලාවට මටත් උදව් කරනවා. එහිදී නොහොඳ නෝක්කාඩු එහෙමත් ඇති වෙනවා. ඒ විදිහට තමයි චරිතය විකාශය වෙන්නේ.
මේ නාට්‍යය රූගත කළේ පසුගිය කොරෝනා කාලයේදී. ෂූටිං තිබුණෙ ගල්ගමුෙව ප්‍රදේශයක. ඉතා අපහසු කාලයක නිසා යාම්-ඒම් ඉතා අපහසු වුණා. ඒත් ඉතාම සුන්දරව කෙරුණු නාට්‍යයක්. ගමක රූගත කිරීම වගේම, නාට්‍යයේ ශ්‍රියානි අමරසේන මහත්මිය අැතුළු පිරිස වගේම හැමෝගෙම එකමුතුකම ඉහළයි. ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා ගැන, ඔහුගේ නිර්මාණ ගැන දැන සිටියත්, මට රඟපාන්න ලැබුණෙ මේ නාට්‍යයේ. සමාජය මේ කතාවෙන් කියැවෙන පණිවුඩය ගැන දැනුම්වත් වේවි.”
කොහොමද සුලෝචනා වේදිකාවෙ කටයුතු මේ දවස්වල?
“චාලක රණසූරියගෙ ‘සඳුදා වැටෙන්නෙ සිකුරාදාට’ නාට්‍යයේ රඟපානවා. ඉදිරියේදීත් එහි දර්ශන වාර තියෙනවා.”
කොහොමද ‘සුලෝ’ගෙ සාමාන්‍ය ජීවිතේ කරන කියන කටයුතු?
“මම සේවය කරන්නෙ රජයේ ප්රවෘත්ති දෙපර්තමේන්තුවේ. ඒ රාජකාරියේදී මට නිවාඩු ගන්න පුළුවන් කාලයක් තියෙනවා. වසරකට ගත හැකි නිවාඩු කාලය සහ සති අන්තයේ නිවාඩු එක්ක කලා කටයුතුවල යෙදෙනවා. ගෙදර ජීවිතේ ගත්තොත් දුවට දැන් අවුරුදු 7යි. දෙවැනි වසරේ ඉගෙනුම ලබන්නේ. ඇයගෙ වැඩත් කරගෙන ගෙදර දොර වැඩත් කරගෙන සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා.”
මවගේ භූමිකාවෙදි ඔබ මොන විදිහ ද?
“දුවගෙ වගකීම් සියල්ල ඉටු කරන, ඒ වෙනුවෙන් කැපවී ක්‍රියා කරන මවක්. පසුගිය දිනවල පූජන දන්දෙනියගෙ ‘මකරෙක් ඇවිත්’ ළමා නාට්‍යයේ රිහසල් යද්දි මම දුවවත් එක්කගෙන ගියා එයාටත් ඒක අත්දැකීමක් නිසා. ගෙදර දොර වැඩ වගේම මේ සියලු වැඩත් මගේ අතින් කෙරෙනවා. ගෘහණියක, බිරිඳක ලෙස මම මගේ උපරිමය කළා කියලා හිතනවා. සහයෝගයෙන් වැඩ කරගෙන ඇවිත් තියෙනවා.”
ජීවිතය දිහා මොහොතකට ආපසු හැරී බැලුවොත්?
“ජීවිතය දිහා නැවත හැරී බලද්දි මට තියෙන්න මා ගැන සතුටක්. මගේ ගමන් මග ගැන, ජීවත් වීම තුළ මම ජීවිතයට ලබාගත් අත්දැකීම්, පාසල් අධ්‍යාපනය, සරසවි අධ්‍යාපනය, මගේ පවුල ඇතුළේ, යාළුවෝ, මේ රංගන ජීවිතය ඇතුළේ සහ මම රැකියාව කරන ආයතනය යන ඒ සියල්ල වෙතින් අත්දැකීම් ලබා තිබෙනවා. දුර්වල වූ තැන්, ශක්තිමත් වූ තැන් සියල්ල තිබුණා.”
දුර්වල තැන්වලදී ජීවිතය ශක්තිමත් කරගන්න කොහොම ද මුහුණ දුන්නෙ? දරාගන්න බැරි අවස්ථාවන්ට මුහුණ දුන්නෙ?
“ජීවිතයේදී ඒ වගේ තැන් එනවා. බොහෝ වෙලාවට එහෙම වූ වෙලාවට ඒ මොහොතේ දුක් වෙනවා. පසුව ශක්තිමත් වෙනවා. සරසවි ජීවිතයේ ඉඳලා මගෙත් එක්ක හොඳම යෙහෙළියක් ඉන්නවා එයාගෙ නම මාලි. මගේ අම්මා, තාත්තා, අක්කා, මල්ලි මේ හැමෝම සහ මා වටා පිරිසක් සිටිනවා. ඒ අය එක්ක ශක්තිමත්ව මුහුණ දෙනවා. මේක ඇත්තටම හිත එක්ක තියෙන ගනුදෙනුවක්නෙ. හිත ශක්තිමත් නම්, ඒක ගොඩනගා ගන්න පුළුවන් තමන් තුළින්මයි.”
මේ විදිහට විවිධ චරිත සමග චරිතාංග රංගන ශිල්පිනියක ලෙස හමුවන සුලෝචනා සැබෑ ජීවිතයේදී ආදරණීය චරිතයක් ද? රැඩිකල් චරිතයක් ද? නැත්නම් මොන විදිහේ කෙනෙක් ද?
“මම ගැන කිව්වොත්, ඒ සියලුම ස්වභාවයන් මා තුළ ඇති. වෙලාවකට සාම්ප්‍රදායික ගැහැනියක්. තවත් වෙලාවකට රැඩිකල් ගැහැනියක්. ඒ වගේ විවිධාකාර ඇති. ඒ කොහොම වුණත් මම ඍජුව කතා කරන කෙනෙක්. වෘත්තීය ජීවිතයේ ඉතාම කැපවීමෙන්, කැමැත්තෙන් වැඩ කරන කෙනෙක් සහ වැඩ කරන්න කැමැති කෙනෙක්. අනෙක් අය එක්ක මිත්‍රශීලී චරිතයක්. ඒ හින්දම එදා මගෙත් එක්ක පළමු ශ්‍රේණියේ සිටි අය පවා අදටත් මිත්රශීලියි. ඒ වගේම මම ශක්තිමත් ගැහැනියක්. සමහර අවස්ථාවලදී හොඳටම තරහා යන අවස්ථාත් තියෙනවා.”
හොඳටම තරහා ගියාම?
“සමහර වෙලාවට වැඩ කරන ක්‍රමවේද එක්ක ඒවා හරියන්නෙ නැත්නම්, ඒ ගැන අදහස් පැහැදිලි කිරීම තමයි වෙන්නෙ. කතා කළ යුතු තැන කතා කරනවා. මම හිතන්නෙ හොඳ – නුගුණ ඔය හැමදේම මිශ්‍ර වෙච්ච ගුණාංග මටත් ඇති. අපි අපට අපේ හැඟීම් හඳුනාගෙන හොඳ නෑ වගේ කියන ඒවා අඩු කරගන්න පුළුවන් නම්, එහෙම වෙලා කටයුතු කරන්න පුළුවන් නම් හොඳයි.”
සුලෝගෙ විවේකය කොහොම ද ගත කරන්නෙ?
“මේ දිනවල විවේකය ටිකක් අඩුයි. ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමාකරණය ඩිප්ලෝමාව පටන් ගත්තා. ඉතින් ඒකටත් සූදානම් වෙනවා. වේදිකාවේ නාට්‍යවලදී සති අන්තය ඒවාට යනවා. විවේකයක් ලැබුණාම චිත්‍රපට, නාට්‍ය නැරැඹීමට තමයි ආසා.”
සඳුන් ගමගේ