ජීවිතයට එකතු වුණු වගකීම්වලට මම හරි ආසයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ටෂ්නි... අපිට පුතා ගැන විස්තරයක් කියන්න?

අපේ පුතාගේ නම චේතන් කිත්සර් විශ්වජිත්. 

එයා දැන් දඟයිද?

අම්මෝ....ඔව්! පුදුම දඟයි. පුතාට මාස අටෙන් පස්සේ එයා පුදුම විදිහට දඟවුණා... මම පොඩි කාලේ එච්චර දඟ නැහැලු. හැබැයි පුතා මාර දඟයි. දැන් එයාට අවුරුදු තුනයි මාස කිහිපයයි. ඇත්තටම එයා හරිම ක්‍රියාශීලී දරුවෙක්. පුතා සංගීතයට හරිම කැමතියි. එයා කතන්දර අහගෙන ඉන්නත් හරි ආසයි. මට හිතෙන විදිහට එයා කලාවට කැමති පුතෙක්.

පුතාගේ දඟ වැඩක් නිසා හිත කලබල වුණ සිදුවීමක් මතක් කළොත්...?

අම්මෝ ඒ වගේ සිදුවීම් නම් කිහිපයක් තිබෙනවා. ඒ අතරින් එක සිදුවීමක් නම් ජීවිතේට අපිට අමතක වෙන එකක් නැහැ. පුතාට ඒ වෙද්දී අවුරුද්දයි මාස කිහිපයයි. දවසක් මම යම්කිසි වැඩකට එළියට යන්න සූදානම් වෙලා ඇඳුම් "අයන්" කරන්න හැම දෙයක්ම ලෑස්ති කරලා නාන කාමරයට ගියා. මම ගයාන්ටත් "අයන් එක ගහලා තියෙන්නේ පොඩ්ඩක් බලන්න" කියලයි ගියේ. "අයන්" එක තිබුණේ අයන් බෝඩ් එක උඩ නෙමෙයි. ඒක මම බිම තියලයි ගියේ. ටික වේලාවකින් එක පාරටම පුතා කාමරයේ අඬනවා ඇහුණා... මට එකපාරටම මතක් වුණේ අයන් එකයි. මම දුවලා ඇවිත් බලද්දී පුතා අයන් එකට අත තියලා. අම්මො... මට හිතාගන්නවත් බැහැ. අත හොඳටම පිච්චිලා. වේදනාවෙන් පුතා එක දිගටම ඇඬුවා. අපි ඉක්මනට පුතාව ඩොක්ටර් ළඟට අරගෙන ගියා. ඒ සිදුවීමෙන් පුතා සති ගණනාවක් වේදනාව වින්දා. ඒ සිදුවීම නම් අපිට කවදාවත් අමතක වෙන එකක් නැහැ. 

ටෂ්නි.... රෑපවාහිනියෙන් ගීත ගායනා කරද්දී පුතා පුංචිම කාලේ දක්වපු ප්‍රතිචාරය කොහොමද?

ගයාන්ගේ අක්කා තමයි අයේෂා සඳමාලි. ඉතින් අයේෂා අක්කත් හැම වෙලේම රූපවාහිනියෙන් දකින නිසා අපි දෙන්නවම පුංචි කාලේ පුතා හැමවෙලේම පටලවා ගත්තා. අයේෂා අක්කව රූපවාහිනියෙන් දකිද්දී සමහරදාට පුතා "අන්න අම්මී" කියලා කියනවලු. මාව සමහරදාට ටී.වී. එකෙන් දකිද්දී "අන්න නැන්දි" කියලා කිව්වා. හැබැයි දැන් පුතා අපි දෙන්නව හොඳට හඳුනනවා. මම වැඩසටහන්වලට ප්‍රසංගවලට යන්නේ ගයාන් එක්කමයි. ඉතින් අපි එහෙම එළියට යද්දි "තාත්තියි, අම්මයි දෙන්නම සින්ග් කරන්න ගියා" කියලයි පුතා කියන්නේ. දැන්නම් පුතාට හොඳට තේරෙනවා. මම සිංදු කියනවට එයා හරි ආසයි. මම රූපවාහිනියෙන් දකිද්දී එයා ඉක්මනට වාඩිවෙලා ඒ දිහා බලාගෙන ඉන්නවා.

පුතා වැඩිපුරම කැමති මොන වගේ දේවල්වලින් දවස ගත කරන්නද...?

තාම එයා පොත පත වැනි දේවල් කරන්න එච්චර ආසා නැහැ. තාම එයා ළදරු පාසල් යන්නේ. ඒ නිසා එයාව තවම අධ්‍යාපනයට, පත පොතට නැඹුරු කරන්න අපි වැඩිය මහන්සි ගන්නේ නැහැ. තාම එයා පොඩියි. පුතා අපි කතාන්දර කියද්දී ඒ කතා අහගෙන ඉන්න හරි ආසයි. පුතා චිත්‍ර පාට කරන්නත් හරි ආසයි. ඒ වගේම පුතා වත්තේ ඇවිදින්න, සෙල්ලම් කරන්නත් හරි කැමතියි. සතුන්ට හරි ආදරෙයි. ඕනෑම සතෙක් අල්ලන්නයි එයා කැමති. ළඟදි වත්තට ආපු තලගොයෙක් පස්සේ එයා දිව්වා. එයාට තලගොයාව අල්ලන්න ඕනෙලු. අපි ටිකක් එයාව බයත් කළා. හැබැයි දරුවන්ව එහෙම බය කරන්න හොඳ නැහැ. ඒ නිසා පුතාට සතුන්ට ආදරේ කරන්න අපි කියලා දීලයි තියෙන්නේ. එයා සතුන්ට හරි ආදරෙයි.

පුතා දැන් ළදරු පාසල් යනවා. ළදරු පාසලට ගිය මුල් කාලයේදී එයා ඒ පරිසරයට හැඩ ගැහුණේ කොහොමද?

පුතාව ළදරු පාසලට දැම්මේ අවුරුදු දෙකේදියි. එයාව ළදරු පාසලට දාපු පළවෙනි දවසේ ඉඳන් සති දෙකක් පුතා පාසැලේදී එක දිගට ඇඬුවා. ඒ නිසා අපිටත් හරිම දුකයි. කොහොම හරි ළදරු පාසලේ ගුරුතුමිය "පුතාව තනියම දාලා යන්න එපා. පොඩ්ඩක් හුරුවෙනකම් ඉන්න" කියලා අපිට අවසරය දුන්නා. එකදිගට අඬලා අසනීප වෙයි කියලත් අපි බයවුණා. ඒ නිසා පුතාට නොපෙනෙන්න අපි සති දෙකක් පැය දෙකක් ළදරු පාසල ළඟ වාහනය තියාගෙන බලාගෙන හිටියා. දැන්නම් පුතාට ළදරු පාසැල හුරුයි. එයාට දැන් යාළුවෝ ඉන්නවා. දැන් එයා ඒකට හුරුයි. දැන් හැමදාම උදේට වාහනයෙන් ගිහින් වාහනයෙන් බැහැලා එයාගේ වතුර බෝතලයයි, බෑග් එකයි අරගෙන පිටිපස්ස බලන්නේවත් නැතිව තනියම එයා පන්තියට යනවා.

අද ගයාන් එක්ක, චූටි පුතා එක්ක ගතකරන මේ ජීවිතේ ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම ගත කරපු ජීවිතේ එහෙම පිටින්ම වෙනස් වුණා. මම ගෙදර බඩපිස්සී. හැමෝගෙම ආදරය, උපරිමයෙන් ලබලා හැදුණු කෙනෙක් මම. අදටත් මට ගෙදර අය "බබා" කියලයි කියන්නේ. නමුත් ඒ "බබා" චරිතය අද සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ගයාන් එක්ක, චූටි පුතා එක්ක ජීවත්වෙන මේ ජීවිතයට මම හරි ආදරෙයි. ජීවිතයට එකතු වුණු වගකීම්වලට මම හරි ආසයි.

දිශානි