ජයග්‍රහණයකටත් වඩා මෙවැනි තරගයකට සම්බන්ධ වුණේ ජීවිතේට ලොකු අත්දැකීමක් ලබාගන්න - සියනෑ කුමරිය
පසුගිය අලුත් අවුරුදු සමයේ සිරිකත පුවත්පතෙන් අනුග්‍රහය දැක්වූ ‘සියනෑ අවුරුදු කුමරිය’ තරගයෙන් ජයග්‍රහණය ලබා කිරුළ පළඳින්නට සමත්වූයේ වේයන්ගොඩ, මාලිගාතැන්න ප්‍රදේශයේ පදිංචි සුන්දර යුවතියකටය. තරුෂි නිවර්ථනා දිසානායක නම් වූ ඇයට අවුරුදු 24 කි. ඇයගේ එම ජයග්‍රහණයේ සතුට පිළිබඳ කතා කිරීමට සඳැල්ල අපිත් අමතක කළේ නැහැ. මේ ඇය ගැන පුංචි සටහනකි.
තරුෂි මුලින්ම කියමුද කිරුළ පළඳිද්දි මොකද හිතුණෙ කියලා ?
ඇත්තටම වචනවලින් විස්තර කරන්න බැරි සතුටක් තියෙන්නෙ. මම ජයග්‍රහණයකටත් වඩා මෙවැනි තරගයකට සම්බන්ධ වුණේ ජීවිතේට ලොකු අත්දැකීමක් ලබාගන්න. ඉතින් පුංචි බලාපොරොත්තුවක් තිබුණා ගොඩාක් කාලෙක ඉඳන් ‘අවුරුදු කුමරිය’ තරගයකට ඉදිරිපත් වෙන්න. විශේෂයෙන් මම අවුරුදු කුමාරි තරගාවලි රූපවාහිනියෙ යද්දිත් බලාගෙන ඉන්නේ හරි ආසාවෙන්. ඉතින් මටත් ඒ හැඟීම විඳගන්න ඕනෑ වුණා. ඉතින් මේ තරගය මගේ පළමු අත්දැකීම. මේ සියනෑවට විශේෂිත වුණු තරගයක්. සියනෑ අවුරුදු කුමරා සහ කුමරිය ගම්පහ දිස්ත්‍රික්කයෙන් පමණයි. ඉතින් මමත් ගම්පහ දිස්ත්‍රික්කයේ ජීවත්වෙන තරුණියක් විදියට මෙවැනි තරගයක් අත්අරින එක අපරාදෙනෙ. ඒ නිසා මම විසින්ම අයදුම්පතක් යොමුකළා.
සියනෑ අවුරුදු කුමාරි තරගය කියන්නෙ ගම්පහ කේෂාලංකරණ සහ රූපලාවන්‍ය සංගමයෙන් පවත්වපු තරගයක්. එහි මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය දැක්වූවේ ලංකාවේ ජනප්‍රියතම කාන්තා පුවත්පතක් වුණු සිරිකත පුවත්පත. මමත් සිරිකත පුවත්පතෙන් මේ තරගය පිළිබඳ පළ කරලා තිබුණු දැන්වීමක් දැකලා තමයි මේ වෙනුවෙන් අයදුම් කළේ. මූලික වටයේ තරගවලට තරගකරුවන් සැලකිය යුතු පිරිසක් හිටියා. ඒ අතරින් අවසන් වටයට තරගකරුවන් 10 ක් සහ තරගකාරියන් 10ක් තෝරාගත්තා. ඒ අතරින් තමයි මට අවුරුදු කුමරිය වෙන්නට ඒ කිරුළ පළඳින්නට වාසනාව ලැබුණෙ. ඇත්තටම මට මේ අවස්ථාව ලබාගන්නට ගොඩක් දෙනෙක් මගේ පිටිපස්සෙන් හිටියා. විශේෂ ස්තූතිය පුද කරන්න ඕනැ ගම්පහ රූපලාවන්‍ය සහ කේශාලංකරණ සංගමයේ සමන්ත ගුණසේකර සහ ජොනී ගුණසේකර යන මහත්වරුන්ට. ඔවුන් මූලිකවෙලා තමයි මේ තරගාවලිය සංවිධානය කළේ. ඒ වගේම මගේ පවුලේ අය අම්මා, මල්ලි වගේම විශේෂයෙන් තාත්තා ගොඩක් ලොකු සහයෝගයක් දැක්වූවා. ඒ වගේම මගේ යාළුවො පාසලේ වගේම විශ්වවිද්‍යාලයේ පිරිසත් ලොකු ශක්තියක් වෙලා හිටියා. ඒ හැමෝටම ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕනැ මගේ ළඟින් ඉඳලා ශක්තියක් වුණාට.
තරුෂිගෙ පාසල සහ විශ්වවිද්‍යාලය ගැන කතා කරමු?
මම පාසල් දෙකකට ගියා. මූලික අධ්‍යාපනය සඳහා මාලිගාතැන්න කනිෂ්ඨ විද්‍යාලයටත්, ඉන්පසුව ශිෂ්‍යත්වය සමත්ව වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයටත්, ඉන්පසුව තමයි කැළණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙන්නට අවස්ථාව ලැබුණේ. එහි මම ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ ජන සන්නිවේදන විශේෂවේදී උපාධියක් හදාරනවා. දැන් මම විශ්වවිද්‍යාලයේ අවසන් වසර ශිෂ්‍යාවක්.
ඉතින් මේ ලබාගන්න අධ්‍යාපනයයි ලැබුණු කිරුළයි උපයෝගී කරගෙන ඉදිරි ජීවිතේ කොයි විදියට ගෙනියන්නද සැලසුම් කරලා තියෙන්නෙ?
මම ගොඩක්ම කැමැති කලා අංශයෙන් ඉදිරියට යන්න තමයි. විශේෂයෙන් නිවේදන අංශයට යොමුවෙලා හොඳ නිවේදිකාවක් විදියට කටයුතු කරන්න ලොකු කැමැත්තක් තියෙනවා. මොකද මම වැඩිදුර අධ්‍යාපනය හදාරන්නෙත් ඒ අංශයෙන් නිසා. ඒ වගේම ඒ අංශයෙන් තව දුරටත් ඉගෙන ගෙන ගුරුවරියක් වෙන්නත් අරමුණක් තියෙනවා. මොන වෘත්තියට යොමුවුණත් කලාව තුළින් ඉදිරියේදී ගොඩක් දේවල් කරන්න තමයි හිතාගෙන ඉන්නෙ.
ධනු විජේරත්න