ජනප්‍රිය නළු දිනෙත් ද සිල්වා දර්ශන් ධර්මරාජ් ගැන නොකියූ කතාවක් කියයි
දර්ශන් ධර්මරාජ් ගැන තවමත් කලා ලෝකයෙන් ඇසෙන කතාවල නිමාවක් නැහැ. ඒ තරම්ම ඔහුගේ නික්ම යෑම හිතවතුන්ට කම්පනයක් ගෙන දෙන කරුනක් වී හමාරයි. මේ දිනවල තිරගත වන හිතුමතේ ජීවිතේ සිනමාපටය තුළින් ඔබ හමුවට එන ජනප්‍රිය සිනමා නළු දිනෙත් ද සිල්වා දර්ශන් ගැන නොකියූ කතාවක් කියලා තිබුනා.
ඒ ඔහුගෙ ෆේස්බුක් ගිණුමේ. පහත දැක්වෙන්නේ ඒ සටහන.
"එදා මට කියන්න බැරි වුණු උබේ නොකියු කතාව !!!
දර්ශන්, උඹ ගිහින් අදට සුමානයක්. උඹ අපිව අතහැරලා ගිය කම්පනය තාමත් මගේ ලේ ඇට නහර ඇතුලේ දෙදරුම් කනවා. තාමත් පපුව කකියනවා. සැබෑ සහෝදරකම මොකක්ද කියලා මට දැනෙනවා. ඇයි උඹ ගියේ කියලා හිතෙනවා. ඒක පට්ට දුකක්. දුකේ නිර්වචනයක්.
උඹ අප අතැර ගිය ආරංචිය ආවාම අපි උඹ බලන්න ආවා ජයරත්න එකට. අපි හැමෝම ආවා. ඒත් මමවත් දස්සාවත් උඹ වෙනදා වගේ අලෝ මචං කියලා කරට අත දාලා පිලිගත්තෙ නෑ. උඹ හිටියේ අත්දෙක බැදගෙන, නිදාගෙන, ඇහැරෙව්වට ඇහැරෙන්නෙ නෑ කියලා අපි දන්නවා. හිතට දැනුනු බර දරාගන්න බෑ. ඒ බරත් එක්ක උඹේ දෙනේ බර අපි හැමෝම අපේ කර පිටට ගත්තා. ඒ කරපිටින් වාහනයට ගොඩ වුනු උඹ කට්ට කාලා, දූවිලි කාලා නලුවෙක් කරපු මේ ගෙන්දගම් පොලොවට සදහටම සමුදීලා රක්වාන උඹේ ගමට ගියා. ලස්සන මිනිහෙක් නලුවෙක් බිහි කරපු ඒ ලස්සන ගමට ගියා. ඒ ලස්සන මනුස්සයා බිහි කරපු ලස්සන පාසල බලන්න ගියා. ලස්සන මනුස්සකම් දීපු මිනිස්සු බලන්න ගියා.අමල් පෙරේරා අයියා කියපු විදියට අපි ඒ මිනිස්සුන්ට ණයගැතියි උඹ වගෙ මනුස්සයෙක් ,උඹ වගේ දක්ෂයෙක් අපිට දුන්නාට අපි ණය ගැතියි. අපි ඒ මිනිස්සු බලන්න යා යුතුමයි, ඔවුන්ගේ දුක අපටත් අයිතියි , අපි එය බෙදා ගත යුතුයි. අය්යා තම පෞද්ගලික වියදමින්ම බස් එකක් ගන්නවා, දස්සා, මම ඇතුළු අපි ඔක්කොම එකතු කරගන්නවා, මචං දර්ශන්, ඒ උඹ ලබපු ආයොජන, වත්කම්, හැමෝගෙම හිත්වල උඹ ගැන ආදරේ ඉතිරිලා ඒ මිනිස්සු බලන්න මමත් අමල් අයියා ඇතුළු පිරිසත් ගියා.
එදා අපි උඹේ වත්කම තවත් දැක්කා. උඹ කොතරම් පොහොසත්ද කියලා දැනුනා. උඹේ වත්කම අතුරු සිදුරු පිරෙන්නම මලගෙදර. පූජකයො, ස්වාමීන් වහන්සේලා, පාසල් සිසුන් පෙරටුව අතිවිශාල ජනකායක්. උඹේ ඇස්දෙකට දකින්න නැතිවෙච්ච එක දුකයි. ඒ ආදරය විශ්මිතයි. ඒ ආදරය උඹ දැක්කා නම් උඹ අපිව දාලා යන්නෙ නෑ සහතිකයි. ඒ තරමටම උඹට ලෝභ හිතෙයි.
ඒ වගේ මනුස්සයෙකුගේ දෙන අපේ කරපිටින් ගෙනිච්ච එකම අපට ගෞරවයක්. අභිමානයක්.
චිතකය ගිනි පුලිගු වෙලා දැල්වෙනකොට ඒ ගින්දර අපේ පපුවෙත් පත්තුවුනා. තාමත් පුපුරු ගහනවා. රක්වාන කදු පංතියම උඹ නැති දුකින් කම්පා වුනා වගේ. ඒ කදු පංති අතර කදුලු පේලියක් වගෙ දිය ඇල්ලක් තිබුනා. මට හිතුනේ ලස්සන මනුස්සයෙක් නැති වෙච්ච දුකට පොළව අඩනවා වගේ.
උඹ ගිහිල්ලා හරියටම ඊලග දවසෙ සංජය නිර්මාල් ප්‍රාණ චිත්‍රපටය තිබුනා. අවසාන වතාවට උඹ පෙන්නපු දස්කම් බලන්න මමත් ගියා කොල්ලුපිටියට. වෙනදා උඹයි මමයි එකට ඉදගෙන චිත්‍රපටය බලන්නෙ. මට මතකයි ආලොකො උදපාදි එකේ මගේ දර්ශන දකින කොට මගේ අත මිරිකලා උඹ මරු බං කියලා උඹ කියපු විදිය. මට අද ඒක කරන්න උඹ ලග නෑ. හිතට දුකයි බං. පට්ට දුකයි.
එක්තරා සම්මාන උළෙලක මම හොඳම ප්‍රතිවීර චරිතයට නිර්දේශ වුනා බිම්බා දේවි හෙවත් යශෝදරා චිත්‍රපටයේ දෙව්දත් චරිතය වෙනුවෙන්. මා තරග කලේ මහේන්ද්‍ර පෙරේරා , ජැක්සන් ඇන්තනි, ටෙඩී විද්‍යාලංකාර වැනි ප්‍රවීනයන් සමගින්. ටෙඩී අයියා සම්මානය දිනාගත්තා. සම්මානය මට ලැබුනේ නෑ. ඒ ගැන අබමල් රේණුවක, අබමල් රේණුවක , අංශු මාත්රයක, එක වැහි පොදක පශ්චාත්තාපයක්, කලකිරීමක් මට නෑ. එවැනි ප්‍රවීනයන් සමග නිර්දේශ වීමම සම්මානයක්. ඒත් එදා ඒ සම්මානය ලැබුනා නම් කරන කතාවට මම සූදානම් වුවා. පුංචි විනාඩි පහක් අරගෙන මට සම්මානය ලැබුනා නං මම කියනවා මයි කියලා හිතාගෙන හිටියා. ඒ කතාව අහන්න අද උඹ නෑ. ඒ කවදාවත් කවුරුවත් නොඇසූ කතාව මම අද කියනවා ලෝකෙටම ඇහෙන්න.
එදා මට ලෝකයට කියන්න බැරිවුනු උඹේ නොකියු කතාව
"එක්තරා සම්මාන උලෙළක අපේ යාලුවෙක් සම්මානයක් ගත්තා. පුරුද්දක් විදියට හැම සම්මාන උලෙලක් අවසානයෙ අපි හීනියට සෙට් වෙනවා. සුහදව සරලව සමරනවා. අහිංසක සතුටක් ලබනවා , සුහදව විසිරී යනවා. ඒ යාලුවා තනියම මගේ ලගට ඇවිල්ලා මෙහෙම කිව්වා. මචං , මේ සම්මානය මට එපා . මේක උඹ ගනිං. උඹ ගෙදර අරන් පලයන්. හොඳට පේන තැනක තියා ගනිං. වෙලාවක් හම්බ වුනාම මේක අතට ගනිං. ඕක දිහා බලපං. දූවිලි පිහදාලා ලස්සනට තියා ගනිං. මට ආසයි උඹේ ගෙදර උඹ දිනපු සම්මාන යක් ලස්සනට තියෙනවා දකින්න. ඒ හින්දා මේක උඹ අරන් පලයං. මට වැඩිය මේක වටින්නෙ උඹටයි. උඹ උඹේ හීනය හැබෑ කරගනිං. එදා උඹ කියපු සම්මානය අද මං අතේ තියාගෙන ඉන්නවා. මේ සම්මානයෙ නියම උරුමක්කාරයා උඹයි. මට වඩා සතුටුවෙන්නෙ උඹයි. එහෙම හැගුම් ඇතිවෙන්නෙ නියම උත්තම මිනිස්සුන්ටයි, නියම සහෝදරයන්ටයි, පොලොවේ දුවිලි සුවද, සැබෑ මිනිසුන්ගෙ දහඩිය සුවද හදුනන නුඹ වගෙ වචනයේ පරිසමාප්තියෙන්ම මනුෂ්‍යයන්ටයි. මම උඹේ සම්මානය තියාගත්තෙ නෑ, ඒක අයිති උඹට නිසා, ඒත්උඹ පපුවෙන්ම කියූ වචන ටික තියා ගත්තා , ආදරෙයි දර්ශන් "
උඹ කලුයි, කට්ට කලුයි. ඒත උඹේ හිත සුදුයි, පට්ට සුදුයි. කුණු බිංදුවක් ගෑවිලා නෑ. ඒක මට ෙප්‍ර්ක්ෂකාගාරයකට උඹ ඉස්සරහ තියං කියා ගන්න බැරි වෙච්ච එකට මට දහස් වාරයක් සමාවෙයං. අද මං කියන එක උඹට ඇහෙන්නෙ නෑ. ඒත් ලෝකය දැනගන්න ඕන මෙහෙම සොදුරු මිනිසෙක් ජීවත් වූ බව. හිතේ වාං දමන දුක පිට කරගන්න බැරි හින්දාමයි මේ කතාවට හඩ දුන්නෙ. චිතකයේ පිච්චුනු ගිනි අගුරු වගේ හිත පිච්චෙන හින්දාමයි කිව්වේ.
මාස කීපයකට පස්සෙ සරසවි සම්මාන උලෙල තියෙනවා 2017දි. මම ඒකෙ හොඳම නැගී එන නලුවා වෙනවා ආලොකො උදපාදි වෙනුවෙන්. උඹ හොඳම ප්‍රතිවීරයාට සම්මාන ගත්ත චිත්‍රපටය. උඹත් මමත් එකට රගපාපු චිත්‍රපටය. එදත් මාව බදාගෙන හදවතින්ම එන නිර්ව්‍යාජ සතුට මුලින්ම ප්‍රකාශ කලේ උඹ. මාව තදකරං බදාගත්තා.. මචං උඹ වගෙ යාලුවො මට හම්බ වෙලා තියෙන්නේ අතලොස්සයි. ඒ පිවිතුරුබව, අව්‍යාජ බව කාටවත් සමකරන්න බෑ. ඒක මට විතරක්ම දැනුන එකක් නෙමෙයි , උඹව දන්න හැමෝම , හැම යාලුවම කියන්නෙ එහෙම තමයි. එහෙම දේවල් කියවෙන්නේ සැබෑම මිනිසුන්ට විතරයි.
ඒත් ඒ ලස්සන මතකයන් දැන් අතීතයට එක්වී හමාරයි. උඹ අපිව දාලා ගිහිල්ලා බං. ගොඩක් ඈතට ගිහින් , ලංවෙන්න බැරි වෙන්න, ආයෙ නොඑන්නම.පාලුව, දුක, සුවද විතරක් ඉතුරු කරලා.
වෙනදා උඹ යන්න කලින් කියන වචන සෙට් එක මට මතක් වෙනවා. "මචෝ, දිනයා, අපි ආයෙ ඉක්මනටම සෙට් වෙමු, Love you මචං "
දර්ශන් උඹ ආයි එනකන් මම බලා ඉන්නවා. පාර මතක නැත්තං ඉන්න තැනම හිටපං. මමත් කවදහරි ඒවි... ආදරෙයි බං,
Love you too"