ජැක්සන් මහත්තයා නැතුව මොන මංගල දර්ශනද? - උදාරි වර්ණකුලසූරිය
මේ දිනවල උදාරි රඟපෑ චිත්‍රපට තුනක්ම තිරගත වෙනවා. මොකද හිතෙන්නෙ?
ගොඩක් සතුටුයි. මේ දිනවල මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා අධ්‍යක්ෂණය කළ 'ක්ෂීර සාගරය කැළඹිණි' චිත්‍රපටයත්, වී. සිවදාසන් මහතා අධ්‍යක්ෂණය කළ 'දෙවෙනි යුද්ධය' චිත්‍රපටයත්, ජයන්ත චන්ද්‍රසිරි මහතා අධ්‍යක්ෂණය කළ 'මිදුණු විශ්වය' චිත්‍රපටයත් තිරගත වෙනවා. ඔවුන් තිදෙනාම ඉතා දක්ෂ, ප්‍රවීණ, දැවැන්ත අධ්යක්ෂවරුන්. ඔවුන්ගේ නිර්මාණවලට සම්බන්ධ වීමට ලැබීම මගේ ලොකු භාග්‍යයක්. මේ වෙද්දි ප්‍රේක්ෂකයන් මේ චිත්‍රපට තුනම හරි ආදරයෙන් වැළඳගෙන තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඔවුන්ගේ ආදර ප්‍රතිචාර අද වෙද්දි ඉතා ඉහළින්ම ලැබෙනවා.
මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා අධ්‍යක්ෂණය කළ 'ක්ෂීර සාගරය කැළඹිණි' චිත්‍රපටය මේ වනවිට සාර්ථක දින පනහ අවසන් කර තියෙනවා. ඒ ලබපු සාර්ථකත්වය ගැන ඔබට මොකද හිතෙන්නෙ?
මට හිතෙන විදිහට හැම කලාකරුවකුගෙම එක හීනයක් තමයි සුනිල් ආරියරත්න මහතාගේ චිත්‍රපටයක පොඩි කොටසක් හරි රඟපෑම. ඉතින් මට ඒ අපූරු භාග්‍ය උදා වුණා. ඒ වෙනුවෙන් මම ස්තූති කරන්න ඕනෙ. ඒ වගේම ඒ චරිතයට මම සුදුසු යැයි යෝජනා කිරීම සම්බන්ධයෙන් ජැක්සන් ඇන්තනී මහතාට මම ස්තූති කරනවා. ඒ චිත්‍රපටයේ මට ජැක්සන් ඇන්තනී මහතා වගේම හේමාල් රණසිංහ, රවීන් කනිෂ්ක වගේම හරිනි නංගි එක්ක රඟපාන්න ලැබීම ගැන සතුටුයි. හරිනි නංගි නවක නිළියක් වුණත් ඇය හරි දක්ෂයි. ඔවුන් සමඟ රඟපාන්න ලැබීම මගේ ජීවිතේ ලබපු අපූරු අත්දැකීමක්. හොඳ අවස්ථාවක්.
ජයන්ත චන්ර්ද්රසිරි මහතා අධ්‍යක්ෂණය කළ 'මිදුණු විශ්වය' චිත්‍රපටයේ උදාරි රඟපාන චරිතය තුළ අනු චරිත හතරක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා?
ඔව්.. ඒක ඇත්ත. ඒ 1960 ගණන්වල ජීවත් වුණු චිත්‍රපට නිළියකගේ ජීවිත කතාවක්. ඒ චිත්‍රපටයේ චරිතය මට ලොකු වටිනාකමක් වගේම ඒ වෙනුවෙන් මට බැරූරුම් කාර්යයක් කරන්න තිබුණා. ඒක ගොඩක් අභියෝගාත්මක චරිතයක්. චිත්‍රපටය ඇතුළේ මට චරිත හතරක් නිරූපණය කරන්න තිබුණා. ඇය වෘත්තිමය රංගන ශිල්පිනියක්. නමුත් ඇය ගෙදරදි බිරිඳක් විදිහට රඟපාන අවස්ථා තිබුණා. ඊට අමතරව ඇයට සාර්ථක නිළියක් විදිහට වගේම අසාර්ථක නිළියක් විදිහටත් රඟපාන්න වුණා. ඒ රඟපාන අතරතුර දර්ශන තලයේදී එයාට පවුල් ප්‍රශ්න ඇතිවුණත් ජනතාව ඉදිරියේදී කිසි ප්‍රශ්නයක් නැති විදිහට හිනාවෙලා රඟපාන්න වෙන අවස්ථා තිබුණා. ඉතින් ඒ අනු චරිත හතරම වෙනස් චරිත හතරක්. ඒක මට අභියෝගයක්. ජයන්ත චන්ද්‍රසිරි මහතා කියන්නෙ දැවැන්ත විශ්වවිද්‍යාලයක්. කායික හා මානසික අභ්‍යාස ගොඩක් කරලා තමයි මම ඒ චරිතයට එකතු වුණේ.
'ක්ෂීර සාගරය කැළඹිණි' චිත්‍රපටයේ රූගත කිරීම් කළේ කොවිඩ් වසංගතය දරුණුම කාලෙදියි?
ඔව්.. රන්මිහිතැන්නෙදි තමයි අපි වැඩිපුරම රූගත කිරීම් කළේ. කොවිඩ් කාලෙදි නළු නිළි කැල ඇරෙන්න අනිත් සියලු දෙනාම හැම මොහොතකම මුඛ ආවරණ දාගෙනයි වැඩ කළේ. ඒ අය අපේ ආරක්ෂාව ගැන හැම මොහොතකම හිතුවා. අත්‍යවශ්‍ය කරුණකට එළියට ගියොත් හැරෙන්න අපි පවුලක් වගේ එකම කොටසකට සීමා වෙලයි හිටියෙ. දින කිහිපයක් රන්මිහිතැන්නෙදි අපි හැමෝම නිරෝධායනය වුණා. ඒක අපිට අලුත් අත්දැකීමක්. අපි හැමෝම හැමදාම කොත්තමල්ලි බිව්වා. දුම් වාෂ්ප ඇල්ලුවා. ඒ කාලෙ බයෙන් හිටියට ඒවා අද වෙද්දි සොඳුරු මතකයන්.
උදාරි සමඟ රඟපෑ ජැක්සන් ඇන්තනී මහතා අද සිටින්නෙ රෝගී ඇඳකයි. මුලින්ම ඒ නිර්මාණය පුළුල් තිරයේ දකිද්දි ඔහු ළඟ නැති අඩුව උදාරිට අනිවාර්යෙන්ම දැනෙන්න ඇති?
ඔව්.. චිත්‍රපටය මුලින්ම දකිද්දි ඒ දැනෙන සතුට අපි කාටවත් හදවතින්ම විඳින්න බැරි වුණා. ජැක්සන් ඇන්තනී මහතා නැති අඩුව අපිට තදින්ම දැනුණා. අද මේ මොහොතේ ඒ නිර්මාණය ගැන අපි කතා කරන හැම වචනයකටම වඩා ඔහුගේ මුවින් පිටවන හැම වචනයක්ම අති දැවැන්තයි. ජැක්සන් ඇන්තනී මහතා නැතිව බලපු චිත්‍රපටය මංගල දර්ශනයක් විදිහට මම දකින්නෙ නෑ. ඒක හරියට මනමාලයා නැති මඟුල් ගෙයක් වගෙයි. ඔහුට ඉදිරියට දැවැන්ත වැඩ කොටසක් තියෙනවා. ඔහුගේ චිත්‍රපට රුසක් එන්න තියෙනවා. ඒ නිසා ඉක්මනට ආයෙත් නැගිටලා මේ කටයුතු කරන්න හැකිවේවා යැයි මම හැම මොහොතකම ප්‍රාර්ථනා කරනවා.
ඔබගේ තව චිත්‍රපට කීයක් තිරගත වෙන්න තියෙනවද?
තව චිත්‍රපට පහක් තිරගත වෙන්න තියෙනවා. දැනට චිත්‍රපට අටක් අවසන් කරලා තියෙනවා.
උදාරි දැන් සිනමා නිර්මාණවලට පමණක් දායක වන නිළියක්ද? කොටුවීමක් වෙලා තියෙනවද?
නෑ. උදයකාන්ත වර්ණකුලසූරිය මහතාගේ 'පායා එන්න හිරු සේ' චිත්‍රපටයෙන් තමයි මම නිළියක් වුණේ. හැබැයි මාව ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත්තෙ සුජීව ප්‍රසන්නආරච්චි මහතාගේ නවකතාව ඇසුරින් නිර්මාණය කළ ටෙලිනාට්‍යයකින්. අදටත් සංසලාව බොහෝ දෙනාට මතකයි. ඒ නිසා මම පුංචි තිරය අතහරින්නෙ නෑ. හැබැයි පහුගිය වකවානුවේ එකදිගට චිත්‍රපට කෙරුණු නිසා ඒ වෙනුවෙන් මට අවධානය දෙන්න සිදු වුණා. ඒ නිසා තාවකාලිකව ටෙලිනාට්‍යවලින් මිදුණා. හැබැයි පුංචි තිරයෙන් සමුගෙන නෑ.
හැම කලාකරුවකුගේම කලාකාරියකගේම ලොකුම හීනය සිනමාවට පිවිසීම. ඔබට ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. මේ සඳහා දක්ෂතාවය, හැකියාව වගේම වාසනාවත් තිබිය යුතුයි කියලා ඔබ විශ්වාස කරනවද?
මම ඇත්තටම ඒක විශ්වාස කරනවා. මේ ක්ෂේත්රයේ දක්ෂ නළු නිළියන් රුසක් ඉන්නවා. ඒ අතරින් මට මේ අවස්ථාව ලැබෙන්න වාසනා ගුණයත්, පෙර පිනත් බලපාන්න ඇති කියලා මම හිතනවා. අනික නිළියක් වීම මගේ හීනයක් නෙවෙයි. මාව නිළියක් කිරීම මගේ තාත්තගේ හීනයක්. තාත්තා කෙනෙක්ට දරුවන්ගේ හැමදේම දැනෙනවා. ඒ නිසා මගේ යම් හැකියාවක් ඔහුට දැනෙන්න ඇති.
උදාරිගේ තාත්තගේ ආසාව උදාරි නිළියක් වීම. එතකොට පුංචි කාලේ උදාරිගේ ආසාව වුණේ මොකක්ද?
මම හෙදියක් වෙන්න ආසා කළා. උසස් පෙළට විද්‍යාව හැදෑරුවෙත් දොස්තර කෙනෙක් වෙන්න නෙවෙයි. හෙදියක් වෙන්නයි. පුංචි කාලේ ඉඳන් ඒ නිලඇඳුමට මම හරිම ආසා කළා. අයියගෙයි මගෙයි වයස පරතරය අවුරුද්දයි. පුංචිම කාලෙදි එයා ගෙදරදි දොස්තර. මම හෙදිය. හූනු පැටව් හූනු බිත්තරවලින් අපි සෙල්ලම් කළා.
පුංචි කාලේ තිබුණු ඒ හීනය රංගන ජීවිතේදි ඔබට සැබෑ කරගන්න පුළුවන් වුණාද?
නෑ. අද වෙනකම් රඟපෑමෙදිවත් මට හෙදියකගෙ චරිතයක් ලැබිලා නෑ. ඒ නිලඇඳුම අඳින්න ලැබිලා නෑ. ඒ නිසා හෙදියකගෙ චරිතයක් කරන්න මම හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා.
අම්මගේ රඟපෑම ගැන දුව මොකද කියන්නෙ?
දැන් එයාට අවුරුදු එකොළහයි. එයා පොඩි කාලෙදි මම රූගත කිරීම්වලට යනවා කිව්වොත් එයා මම කාර්යාල රැකියාවක් කරන්නෙ කියලා හිතලා ''හරි අම්මි වැඩට යන්න. හැබැයි ඉස්කෝලෙ අරිද්දි මුලින්ම මාව ගන්න එන්න'' කියලයි කිව්වෙ. දැන් එයාට තේරෙනවා. ඒ නිසා එයාට අම්මා ගැන ආඩම්බරයි. දුව සිංගප්පූරුවේ අධ්‍යාපනය හදාරනවා. එයාගේ යාළුවන්ට ගුරුවරියන්ට ''මගේ අම්මි චිත්‍රපට නිළියක්'' කියලා එයා හරිම ආඩම්බරයෙන් කියනවා. මම 'මේක්අප්' කරලා ලස්සනට ඇඳලා ඉන්නවට එයා හරි ආසයි.
ඔබට එකිනෙකට වෙනස් චරිත ලැබෙනවා. ඒ චරිතවලට අවතීර්ණ වෙන්න පෙර ඒ ගැන අධ්‍යයනයක් කරනවා නේද?
ඔව්... චරිතයෙන් චරිතයට අධ්‍යයනය කිරීම වෙනස් වෙනවා. ඊළඟට සංජීව පුෂ්පකුමාර මහතා අධ්‍යක්ෂණය කළ 'ආසු' චිත්‍රපටය එළිදැක්වීමට නියමිතයි. ඒ ඉන්දිරා ජයසූරිය මහත්මියගේ ජීවිත කතාවයි. ඇය පිළිකා රෝගයෙන් මියගියා. නමුත් ඇය ඉතා සුබදායීව මරණයට සූදානම් වුණා. මට තව චිත්‍රපටයක් බලලා ඒ චරිතය රඟපාන්න බෑ. මට ඉන්දිරා වෙන්න ඕන වුණා. ඒ නිසා මුලින්ම ශාරීරික වෙනස්කම් දකින්න මම අපේක්ෂා රෝහලට ගිහින් ඒ අයට ප්‍රතිකාර ලබා දෙද්දි ඔවුන්ගේ හැඟීම්, වේදනාව, ඒ වේදනාව දරාගැනීම, පිටකිරීම සම්බන්ධයෙන් අධ්‍යයනයක් කළා. චිත්‍රපටයේ පේන්නෙ අල්පයක් වෙන්න පුළුවන්. හැබැයි රූගත කිරීම් කරන්න පෙර බොහොම සියුම් තැන් පවා අධ්‍යයනය කළා.
I දිශානි
සේයාරූ I සුමුදු හේවාපතිරණ