චරිත සුදු වුණත් කළු වුණත් මම කරන්නෙ රඟපෑමක් - නඳුනිත් එක්ක රඟපාන්න ලෙහෙසියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නදුනි - දිනූෂ කියන්නෙ මේ දිනවල පුංචි තිරයේ වැඩි ආදරයක් ආකර්ෂණයක් දිනාගෙන සිටින රංගන ශිල්පීන් දෙපළක්. සැබෑ ජීවිතයේත් සැමියා සහ බිරිඳ වන මේ දෙපළ සමඟින් මෙවර සඳැල්ල කතාබහක් කරන්න හිතුවා. ඒ ඔවුන්ට ආදරය කරන ප්‍රේක්ෂක පිරිස වෙනුවෙන්. සඳැල්ල කවරයත් හැඩ කරමින් නදුනි සහ දිනූෂ කතාබහක යෙදුණේ මෙලෙසින්,

දිනූෂ මේ දිනවල පුංචි තිරයේ වැඩි ප්‍රතිචාරයක් දිනාගෙන ඉන්නවා නේද?

ඔව්. ඇත්ත්ටම මම සම්බන්ධවෙලා ඉන්න ටෙලි නිර්මාණ දෙකක් විකාශය වෙනවා. ඒ නාට්‍ය දෙකම දෙරණ නාළිකාවෙ විකාශය වෙන්නෙ ‘‘රාජිණි’’ සහ ‘‘දියණි’’ එහි චරිත දෙකටම මේ වෙද්දී ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

ඉතින් මේ චරිත ගැණත් කියමු?

චරිත ගැන කතා කළොත් කියන්නම ඕනෑ සුපුරුදු විදියට මට වෙනදා වගේම අහිංසක විදියට රඟපාන චරිතයක් තමයි ලැබිලා තියෙන්නෙ. ‘‘රාජිණි’’ හි සොඳුරු කියන චරිතයක්. ‘‘දියණි’’ හි වගීෂ චරිතයත් රඟ දක්වන්නෙ. නමුත් ‘‘දියණි’’ නිර්මාණයේ නම් ඉදිරියේදී චරිතය තුළ ලොකු වෙනසක් සිද්ධ වෙනවා. පොඩි වෙනසකින් මාව දැක බලාගන්න ලැබෙයි. 

සුපුරුදු විදියට අහිංසක පෙම්වතා භූමිකාවෙනෙ ඉන්නවා කිව්වෙ? ඒ අත්දැකීම ගැනත් කියමු?

මට ලැබෙන්නෙම අහිංසක පෙම්වතා හෝ අහිංසක තරුණයෙක් විදියට රංගනයේ යෙදෙන්නනෙ. මුල ඉඳන්ම මට ආරාධනා ලැබුණෙ. ඒ චරිත රංගනයන්වලට. ඉතින් මගේ මුල්ම නිර්මාණය වුණු ‘‘පාවෙනා වළාකුළේ ඒවිද අම්මා’’ නිර්මාණය ගොඩක් දෙනෙක් ආදරෙන් වැළඳගත්තා. ඉතා ඉහළ ප්‍රතිචාර ලැබුණා. ඒ රංගනය වෙනුවෙන්. ඒ ආරම්භයත් එක්ක දිගින් දිගටම මට සම්බන්ධ වෙන්න ලැබුණෙ සහ මට ආරාධනා ලැබුණෙත් අහිංසක චරිතවලටම තමයි. සමහරවිට මගේ පෙනුමත් එක්ක ඒ චරිත ලැබෙනවා ඇති. නමුත් පෞද්ගලිකව මම දැන් මේ චරිතෙම ඉන්න කැමතිත් නැහැ. මේ චරිත රංගනයෙන් මිදිලා එකම රාමුවකට කොටු නොවී විවිධාකාර විදියෙ රංගන අත්දැකීම් ලබාගන්න ආසයි.

වෙනස් විදියෙ චරිතවලට ගිහින් ප්‍රේක්‍ෂක ආදරය අඩුවුණොත්?

මම මෙතෙක් සම්බන්ධ වුණු නිර්මාණවලින් ඇත්තටම ලොකු ප්‍රේක්‍ෂක ආදරයක් ලබාගන්න හැකි වුණා. ඇත්තටම ඒ ගැන ගොඩක් සතුටුයි. ඉතින් ඉදිරියෙදිත් මම හිතනවා මම කොයි විදියෙ චරිත රංගනයන්වලට ගියත් සුදු චරිත හෝ කලු චරිත වේවා මට ආදරය කරන ප්‍රේක්ෂකයන්ගෙ ඒ ආදරේ වෙනසක් නොවී තියෙයි කියලා. මගේ රංගනයන් නිර්මාණයක් විදියට රස විඳියි කියන තැන මම ඉන්නෙ. මොකද සුදු හෝ කලු මම ඉදිරිපත් කරන්නෙ එක්තරා චරිත රංගනයක් විතරයි. ඒක මගේ ඇත්ත ජීවිතේ නෙමෙයිනෙ. ඇත්ත ජීවිතේ දිනූෂ දිසානායක වෙනම චරිතයක් සහ පුද්ගලයෙක්. රංගන ශිල්පියෙක් විදියට ප්‍රේක්‍ෂකයො මගේ චරිතවලට ආදරේ කරයි කියලා හිතනවා මම කොයි විදියෙ වෙනසකට ගියත්.

දිනූෂ මේ ක්ෂේත්‍රයට එන්නෙ මුලින්ම ගායකයෙක් විදියටනෙ. නමුත් අද දකින්න ඉන්නෙ රංගනයෙන් විතරයි වගේ නේද? ගායනය අත ඇරලද?

ගායනය කියන්නෙ මගේ ජීවිතේ. ඒ දේ ජීවිතේට අත අරින්නෙත් නැහැ. සමුදෙන්නෙත් නැහැ. ඇත්තටම මේ වෙද්දී ගායනය පැත්තෙන් පොඩි වැඩ කටයුත්තක් සැලසුම් කරගෙන යනවා. මීට පෙර ඒ පැත්තෙන් දෙයක් කරගෙන යන්න හැමදේම සූදානම් කරගෙන හිටියෙ. නමුත් රටේ පසුගිය කාලෙ පැවතුණ වසංගත තත්ත්වයත් එක්ක වැඩ ගොඩක් මඟ ඇරුණා. ඒ නිසා තිබුණු සැලසුම් ක්‍රියාත්මක කරගන්න බැරිවුණා. ඉතින් මේ වෙද්දි රටේ තත්ත්වය වසංගතයටත් වඩා අවුල්සහගත බවක් තියෙනවානෙ. ඒ හැමදේම එක්ක තමයි වැඩ ටික ටික පස්සට යන්නෙ. නැත්නම් ඇත්තටම මමත් මගේ යාළුවා නවීන් ඩිල්ෂානුත් එකතුවෙලා ලස්සන වැඩක් කරන්න බලානෙ හිටියෙ. නමුත් ඉතින් මේ වාතාවරණය එක්ක අද වෙද්දී ජීවත් වෙන්න බැරි තත්ත්වයක්නෙ තියෙන්නෙ.

ඒ කියන්නෙ රටේ තත්ත්වය දිනුෂගෙ ජීවිතේ සැලසුම්වලට තදින්ම බලපෑවා?

ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. මට විතරක් නෙමෙයි මුළු රටේම ජනතාව අද වෙද්දි ලොකු පීඩාවක ඉන්නෙ. ඉතින් තරුණයො විදියට අපිටත් ජීවිතේ සැලසුම් කොච්චර තිබුණද? අද කිසි දෙයක් කරගන්න බැරි තත්ත්වයක්නෙ තියෙන්නෙ. ඒ නිසා ජීවිතේ වැඩි සැලසුම් මම දැන් තියාගන්නෙත් නැහැ. එන විදියට මුහුණ දීලා ඉන්නවා ඇරෙන්න. ඇත්තටම මේ රටට සිද්ධවෙලා තියෙන දේ ගැන මට හරිම දුකයි. අපිත් පෑනකින් හරි උදව්වක් දීම ගැන ඇත්තටම කනගාටුයි දැන්. මේ රටට උදාවුණ මේ පීඩාකාරී තත්ත්වයට අපිත් වගකියන්න ඕනෑ කියලා මට හිතෙනවා. ඉතින් ප්‍රාර්ථනා කරනවා හොඳ පාලකයන් රටට පත්වෙලා හැමදේම හොඳ විදියට විසඳෙන්න කියලා.

දැන් කලා ක්ෂේත්‍රයේ වෘත්තීය වශයෙන් රැඳෙන්න අදහසක් නැද්ද?

මම කලාවට හරි ආසයි. ආදරෙයි. නමුත් කලාවෙන්ම ඉදිරියට යන එක ගැන ගොඩක් හිතන්න වෙනවා. මොකද දැන් රැකියා 10 ක් කළත් ජීවත් වෙන්න බැරි තත්ත්වයකනෙ තියෙන්නෙ. කලාව කියන දේ මම කවදාවත්ම අත අරින්නෙ නම් නැහැ. දැනට නම් ෆුල් ටයිම් මේ ක්ෂේත්‍රයේ තමයි රැඳිලා ඉන්නෙ. මොකද මගේ වැඩි තෘප්තිය තියෙන්නෙ කලාවට නිසා. නමුත් මේ දේත් එක්ක මගේම ව්‍යාපාරයක් කරන්නත් බලාපොරොත්තු වෙනවා.

දිනූෂ මුලින්ම ක්ෂේත්‍රයට එන්නෙ ගායකයෙක් විදියට. එතැනින් පසුව පුංචි තිරයට එකතු වුණා. ඊටත් එහා ගිහින් රිදී තිරයට එකතුවෙන්න කැමැත්තක් නැද්ද?

මේ වෙද්දි ආරාධනා ලැබිලා තියෙනවා. ඇත්තටම ඒ අලුත්ම අත්දැකීම ජීවිතේට එකතු කරගන්න මගේ ලොකු ආසාවක් තියෙනවා. ඉතින් ඒ ආසාව නුදුරේම ඉෂ්ට වෙයි. මොකද මම දැනටමත් ඒ වෙනුවෙන් දායකවෙලා ඉන්නෙ. රූගත කිරීම් ආරම්භ කරන්නෙ නැත්තෙ රටේ පවතින තත්ත්වය නිසා. ඉතින් හොඳ තත්ත්වයකට රට ආවොත් ඒ හීනයට ඉක්මණින් යන්න ලැබෙයි.

දිනූෂත් බිරිඳ නදුනිත් එක්ක නිර්මාණවලට දායක වෙනවනෙ. එහි රූගත කිරීම් වෙද්දී රඟපාන්න ලැජ්ජයි වගේ හිතෙන අවස්ථා එහෙම නැද්ද?

අනේ නැහැ. මට ඇයත් එක්ක රඟපාන්න හරිම ලේසියි. ඒ රඟපෑම් මට තවත් තාත්විකව කරන්න පුළුවන්, ඇය මගේ බිරිඳ නිසාම.

දෙබස් එහෙම ගෙදරදී පුරුදු වෙනවද දෙන්නත් එක්ක?

අපෝ නැහැ. ගෙදරදී ඒවා ජීවිතේට කරලා නැහැ. අපි දර්ශන තලය ගෙදරට ගෙනියන්නෙ නැහැ.

ඉතින් අද මේ ඉන්න තැන සහ ලැබෙන ප්‍රේක්ෂක ආදරය ගැන මොකද හිතෙන්නෙ?

ඇත්තටම ගොඩක් සතුටුයි. මොකද මම රංගන ශිල්පියෙක් වුණේ අහම්බයකින්. මගේ හීනය වුණේ ගායකයෙක් වීම. ඉතින් මම නොහිතපු විදියෙ තැනකට ඇවිල්ලා අද ලබන ඒ ප්‍රේක්‍ෂක ආදරය ගැන කියන්න බැරි තරම් සතුටුයි. මම ගායකයෙක් විදියට ක්ෂේත්‍රයට ආවත් ගොඩක් දෙනෙක් දන්නෙ රංගන ශිල්පියෙක් විදියට. මොකද කොහේ ගියත් රංගනයන් ගැන කතා කරන්නෙ. ඉතින් ඒ ආදරය ප්‍රතිචාර එක්ක හරිම සතුටුයි. බොහොම කෙටි කාලයක් තුළ තමයි මට මේ හැමදෝම ජීවිතේට ලැබුණෙ.

ධනු විජේරත්න

ඡායාරූප - සජීව ලක්ෂාන්

හැඩගැන්වීම් - ප්‍රසන්න කොළඹආරච්චි