ගී ගයා ඉපැයූ මුදලින් ගල් තලාවක් මත පන්සලක් හැදූ නිරහංකාර ආඩම්බරකාරයා
පුරසඳෙහි සඳ කිරණ කඳු නිම්නයන් සිසාරා දෝර ගලා එන රාත්‍රියක ගල් තලාව මත නිස්කාංසු සුවයෙන් හිඳ විඳි සුවය, ලෝකයේ ඇවිද ඇති බොහෝ එවැනි තැන්හීදී මා විඳි නිරාමිස සුවයක් වෙත්නම් ඒ හැම සුවයකටම වඩා හදවතින්ම මා වින්ඳ සුවයකි. මට දැනුණු සුවයකි. එහි වැඩවෙසෙන බුදු පිළිම වහන්සේගේ උවන දෙස බලා සිටියදී විඳි ශාන්තිමත් මනෝභාවයන් මේ මොහොතේත් මා සිත සුවපත් කරයි. කෙළවර කොතෙක්දැයි නොතේරෙන තරමට ඈතින් ඈතට විහිද ගිය ගල් තලාවක් පුදබිමක් බවට පරිවර්තනය කරන ඒ සිතුවිල්ල නැගුණේ සිය දහස් වාරයක් මා විඳි, මා හද නැලවූ ගී සමුදායක් තිළිණ කළ අසමාන ගායනවේදියෙකුගේ හදවතේය. මලක් වුණේ ඇයි නුඹ මට ජීවිතයට සුවඳ සලන එනමුදු සිපගන්නට තහනම් විලක් වුණේ ඇයි නුඹ මට ජීවිතයට සිසිල ඉසින දිය දෝතක් බොන්නට තහනම් ඒ ගීය මා නෑසූ දිනක් නැති තරම්ය. ඒ ගීය ගයන අමරසිරි පීරිස් කලාවේදියාණන් හා මගේ හමුවීමත් ඒ ළෙන්ගතු මිත්‍රත්වයත් වසර පහකට එහා අතීතයකට අයිතිය.
අමරසිරි පීරිස් ගායනවේදියාණන් කවුරුන්දැයි හරියටම නොදන්නා අය ඔහු දකින්නේ වැඩිය හිනා නොවෙන, කතා නොකරන, ආඩම්බරකාරයෙකු හැටියටය. එහෙත් මා දුටු නිරහංකාරම ආඩම්බරකාරයා අමරසිරි පීරිස් ගායනවේදියාය. මිත්‍රත්වය, ආදරය, ළෙන්ගතුකම ඔහු හදවතේ සෑම ඉසව්වකම අක්මුල් විහිදුවා ඇතියුරු මට අමුත්තක් නොවේ. ඔහුගේ ආදරණීය බිරිඳ නන්දා කෝරළගේ යනු ඔහුගේ ජීවිතයේ සදාතනික සෙවණැල්ලයි. මවකගේ ස්නේහයක් තුළ සම්මිශ්රිත වූ ළතෙත් හැඟීම් සමුදායක්ද ඒ ස්නේහය ගැඹුරේ අප්‍රමාණය. මේ ලෝකයේ රසවත් යැයි කියන කෑම බීම මගේ සංචාරක ජීවිතය තුළ මා අැති තරම් විඳ ඇතත් ලෝකයේ රසම කෑම කෑවේ කොහෙන්දැයි කෙනෙක් ඇසුවොත් මගේ උත්තරය අමරසිරි අයියගේ ගෙදරින් අක්කා උයන කෑම යන උත්තරයයි. ආගන්තුක සත්කාරය කොතෙක් ළෙන්ගතු ආදරණීය හැඟීමක්දැයි විස්තර කරන්නට ඇගේ නිවහන තරම් මා දන්නා වෙනත් තැනක් නැත. එහෙත් ඒ ආදරණීය මිනිසා ආදරණීය මිනිසෙකු ලෙසින්ම දැන හඳුනාගත් අය එපමණකටම වෙත්දැයි මම නොදනිමි. එහෙත් ඔහුගේ හදවත කොතෙක්නම් සුවඳවත් කුසුම් සුපිපි තැනක්දැයි දන්නේ ඔහු හඳුනාගත්, ඔහුට ආදරණීය වූ අයම පමණි.
ආදරණීය බිරිඳ, දියණිය සුබා සහ මුනුපුරු මිනිබිරියන් සමඟ
ආදරණීය ස්වාමිපුරුෂයෙක් ලෙස මෙන්ම දියණියන් හතර දෙනෙකුගේත් පුතෙකුගේත් පියෙකු ලෙස ඔහු ගෙවන ජීවිතය සැබැවින්ම සුවදාකය. සුවපත්ය.
දිනක් අමරසිරි පීරිස් ගායනවේදියාණන් හමුවූ දන්නා හඳුනන කෙනෙක් ඔහුගෙන් කළේ ඉල්ලීමකි. සර් කෑගල්ලෙ කොටියාකුඹුරේ අරුග්ගම්මන ගලේවත්ත කියලා ගම්මානයක් තියෙනවා. ඒ ගම්මානේ පවුල් විස්සක් තිහක් ඉන්නවා. ඒ අයට වඳින්න පුළුවන් නම් බුදු පිළිමයක් තියලා පොඩි තැනක් හදලා දෙන්න. සර්ට පින් සිද්ධවෙයි.
අමරසිරි පීරිස් ගායනවේදියාණන් ඒ ගම්මානය සොයා කෑගල්ලේ අරුග්ගම්මන ගලේවත්තට ගියේය. කඳු යායකින් වටවූ කඳුකර මිටියාවතක පිහිටි ගල් තලාව මත වඳින්න බුදු පිළිමයක් තැබූ සෙනසුනක් නොව මහ පන්සලක් හදන්නට ඔහු සිතේ ඇතිවූ සිතුවිල්ල අවසානයේ මහ පන්සලක් බවටම පත් විය. අමරසිරි පීරිස් කලාවේදියාණන් ලංකාවේත් ලෝකයේත් හැම අත විසිරුණු සුවහසක් ශ්‍රාවකයන් වෙනුවෙන් සිය දහස් වාරයක් ගී ගැයුවේය. ගල් තලාව පුදබිමක් බවට පරිවර්තනය කරන්නට අවැසි ගඩොල් කැටයේ පටන් සියල්ල ඒ පුදබිමට ගෙන ආවේත් මහ පන්සලක් තැනුණේත් ගී ගයා හරිහම්බ කළ මුදල් බව ඇත්තම කතාවයි. අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුර ශාඛාවක් වහන්සේ ඒ බිමෙහි පැළ කරන ලද්දේ අමරසිරි පීරිස් කලාවේදියාණන්ගේ සුරතිනි. විදේශ ප්‍රසංගයකට ගියත් ඒ රැගෙන එන මුදල් ඔහු නිර්ලෝභීවම පන්සල වෙනුවෙන් දන් දුන්නේය. මූනිච්චාවට කා සමඟවත් හිනාවෙන කතා කරන පුරුද්දක් අමරසිරි පීරිස් ගායනවේදියාණන්ට නැත. ඔහු නිරහංකාර ආඩම්බරකාරයෙකු ලෙසින් මා හැඳින්වූයේම එහෙයින්මය.
අද ඒ පුදබිම දකින්නට ඒ පුදබිමෙහි නිස්කාංසු සුවය විඳින්නට බැතිමතුන් දහස් ගණනින් පැමිණේ. පෝය දවසට ඒ ගල් තලාව සන්ධ්යාවන්හීදි මෙන්ම තෙද හිරු රුස් අතුල පැයේදීද සුදු වතින් සැරසුණු බැතිමතුන්ගෙන් පිරී යන දසුනක මම කිහිප වරක්ම සියැසින් දැක ඇත්තෙමි. හරිහම්බ කරන මුදලින් පුදබිමක් තනන්නට සිත් වූ සිතුවිල්ලම අප්‍රමාණ සිතුවිල්ලකි. හරිහම්බ කරන ලද මුදල් අමරසිරි පීරිස් ගායනවේදියාණන් වියදම් කළේ මේ පුදබිම වෙනුවෙන් පමණක් නොවේ. උදව්වක් රුකවරණයක් අවැසිව අසරණ වූ කලාකරුවන් වෙනුවෙන් සුව සදන්නට මෙන්ම නමක් ගමක් නොදන්නා වූ මිනිසුන් වෙනුවෙන් පවා ඔහු මුදල් නිර්ලෝභීවම පරිත්‍යාග කළේය.
එහෙත් අමරසිරි පීරිස් ගායනවේදියා ඒ කිසිවක් කළේ ප්‍රසිද්ධිය බලාගෙන හෝ ඉල්ලාගෙන නොවේ. වරක් ඒ පුදබිම පිළිබඳව දේශය පුවත්පතට ලිපියක් ලියුවේ ඔහුගෙන් නොඅසා අවසර නොගෙනමය. ඒ ලියන්නටදැයි ඇසුවා නම් ඔහුගේ පිළිතුර කුමක්දැයි මම දන්නා බැවිනි. මේ පන්සලට ශ්‍රී අමර විහාරය යැයි නම් තැබුවේද අමරසිරි පීරිස් ගායනවේදියාගේ වුවමනාවකට නොව, යතිවරයාණන් වහන්සේ කෙනෙකුගේ සිතුවිල්ල අනුවය.
සතුට ඇත්තේ ගමනේ කෙළවර නොව, යන මඟ දෙපසය. ජීවත්වීම යනු ජීවිතය සමඟ ඒ සතුට සොයා යාමකි. ජීවිතය, ප්‍රේමය, මනුෂ්‍යත්වය අස අමරසිරි පීරිස් යනු සදාකාලික තාරුණ්‍යයකි. මනුෂ්‍යත්වයේ සුසුවඳ විදාහල හදවතක අයිතිකාරයෙකි. අරුග්ගම්මන ගලේවත්ත ගල් තලාවක නිමැවූ ඒ මහා පුදබිම එහි ගම්වැසියන් වෙත තිළිණ කළ දවසේ අමරසිරි පීරිස් ගායනවේදියාණන් වෙනුවෙන් මහා යතිවරයාණන් වහන්සේලා මෙන්ම කලාකරුවන්ද මහා පිරිවරක් පැමිණියහ. ඒ සාක්ෂිය පමණක් කොතෙක්නම් ආදරයක් ඔහුට හිමිදැයි නිහඬවම පැහැදිලි කළේය. දිනක් සනත් නන්දසිරි ගායනවේදියාණන් මා සමඟ පැවසූ දෙයක් මේ මොහොතේත් මගේ මතකයට නැඟේ.
''අමරදේව සර්.. නැති දවසක අපිට ඊළඟට ඉන්න සම්පත තමා අමරසිරි පීරිස්. එයාට කිට්ටු වෙන්නවත් පුළුවන් කෙනෙක් තවම අපිට නෑ.''
සැබැවින්ම ලාංකික ගීතයක් රසවින්දනය පිණිස සොයා යන හැම වාරයකදීම අමරසිරි පීරිස් ගායනවේදියාගේ මුවින් ගැයුණු ගීයක් මා අතින් මඟ නොහැරුණු දවසක් නැති තරම්ය. එපමණකටම ඒ හඬ මා වසඟයට පත් කර හමාරය. ඒ පුදබිම මා නිවා අවසන්ය.
මා වන් සුවහසක් ඒ හඬ අසා නිවෙන්නට සැනසෙන්නට ඇත. ඒ පුදබිම දැක, වැඳ පුදා නිවෙන්නට සැනසෙන්නට ඇත. ජීවිතයත් සංසාරයත් සැනසෙන්නට ඒ පිනම ඉදින් ඔබට සෑහේ යැයි මට සිතේ.
අමරසිරි පීරිස් ආදරණීය ගායනවේදියාණනි ඔබට නිදුක් නිරෝගී සුව! දීර්ඝායුෂ ලැබේවා!
ආදරෙයි අපි හැමදාම
I සංජීවිකා
සේයාරූ : සුමුදු හේවාපතිරණ සහ අන්තර්ජාලයෙනි.