ගුවන් විදුලියට ගියාම වෙලාවකට කෑගහනවා බණිනවා බැණලා එළවා ගන්නවා - සමන්ත පෙරේරා
මිනිසා විසින් නිර්මාණය කරන ලද භාෂාවේ සීමාවක් ඇත. එහෙත් ස්වරයන්ගේ නාද මාධුර්යයේ සීමාවක් සනිටුහන් කිරීම දුෂ්කරය. හැඟීම් ප්‍රකාශනයේදීද භාෂාවට වඩා ස්වරය ප්‍රබල වේ. උදාහරණයක් ලෙස ගතහොත් එකම වචනයක් විවිධ ස්වර ප්‍රභේද හේතුවෙන් විවිධ හැඟීම් දනවන ලෙස ප්‍රකාශ කළ හැකිය. 'යන්න' යන වචනය උදාහරණයකට ගතහොත් එය සංගීතයේදී සඳහන් වන විලම්බලයෙන් සෙමින් මෘදුව පැවසීමට ද වේගයෙන් ද්‍රුතලයෙන් පැවසීමට ද හැකිය. එවිට එකම වචනය වුව විවිධ හැඟීම් දැනවෙන ලෙස පැවසිය හැකිය. මෙවන් වූ එක් සුවිශේෂ පැතිකඩක් වන සංගීතයේ ගැයුමෙන් මෙන්ම වැයුමෙන් ද දස්කම් විදහාලන ශිල්පියකු සමඟයි, හදසර 'My Story' තුළින් අද කතාබහ. ඔහු සංගීතවේදී, ගායන ශිල්පී සමන්ත පෙරේරා නම් වන්නේය.
"මගේ උපන් ගම අත්තිඩිය. මළගලගේ කනිෂ්ඨ විද්‍යාලයට තමයි පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වාම ගියේ. ඉන් පසුවයි කොළඹ තර්ස්ටන් විද්‍යාලයට ඇතුළත් වුණේ. මම උසස් පෙළ සඳහා පෙනී සිටියේ කලා අංශයෙන්. පාසල තුළ සංගීතයට තමයි මුල් තැන. සියලුම වැඩ කටයුතු අතර සංගීතයට අදාළ සෑම වැඩකටම මුල් පෙළේ දායකත්වය ලබා දුන් සිසුවෙක් තමයි මම. මගේ පවුලේ මම තමයි බාලයා. මට අයියලා තුන්දෙනකුයි අක්කලා පස්දෙනකුයි ඉන්නවා. මම වගේ පූර්ණකාලීනව සංගීතයට යොමු නොවුණත් එයාලටත් ගායන හැකියාව, සංගීත හැකියාව තියෙනවා. මගේ අම්මා සහ තාත්තා දෙදෙනාම මේ වනවිට ජීවතුන් අතර නැහැ. ඒ දෙන්නටත් කලා හැකියාවන් තිබුණා. අම්මට ලස්සනට ගීත ගායනා කරන්න පුළුවන්. තාත්තා වේදිකා නාට්‍යවලට එහෙම රංගනයෙන් එක්වුණා. ඉතින් කලා හැකියාව කියන සේ අප වෙත මව්පියන්ගෙන් උරුම වූ දේවල් කියලා කියන්නත් පුළුවන්."
ළමා කාලය යනු අප කාගෙත් ජීවිතවල අතිශය සුන්දර කාල පරිච්ඡේදයකි. කෙළිදෙලෙන් සැහැල්ලුවෙන් ගතව ගිය ඒ සුන්දර ළමා කාලය ඔහුට ද එලෙසම සොඳුරු හැඟුම් දනවන්නකි.
"අපේ ළමා කාලය ඉතාම සුන්දර කාලයක්. අදටත් එය සිහි කිරීම පවා පුදුමාකාර සතුටක්. අපි ඇළේ දොළේ නැටුවා. කුරුම්බා කැඩුවා. සෙල්ලම් කළා. මාළු ඇල්ලුවා. සරුංගල් ඇරියා. වෙසක් කාලයට තොරණ හැදුවා. සල් උයන් හැදුවා. වෙසක් කූඩු හැදුවා. යාළුවෝ එකතු වුණාම ඉතින් සෙල්ලමටමයි හිත. ඔංචිලි පදින්න, ක්‍රිකට් ගහන්න, මේ කොයි දේටත් අපිට ඉඩ තිබුණා. නිදහස තිබුණා. අද කාලේ දරුවන් වගේ නිවසට සහ පාසලට, ටියුෂන් පන්තියට සිරවුණු කාලයක් නෙවෙයි අපිට තිබුණේ."
ඒ සුන්දර ළමා කාලය අද සිටින නිර්මාණශීලී මිනිසුන් බිහිවන්නට මූලික හේතුවක් වන්නට ඇත. නිදහස් චින්තනය, ක්‍රියාශීලී ළමා විය ඕනෑම මිනිසකුට මේ මිහිමත හිමිවිය හැකි සොඳුරුතම දායාද වග පැවසීම සත්‍යයකි. තර්ස්ටන් විද්‍යාලය තුළ හමු වූ සැබෑ ගුරු දෙමව්පියන් තම ගමනට නිරන්තර ආශිර්වාදයක්ව වූ වග සමන්ත පෙරේරා පවසයි.
"අපේ ගෙදර සර්පිනාවක් තිබුණා. අක්කලා සංගීතය හැදෑරුවා. ඉතින් ඔය සර්පිනාව සමඟ රාග ගැයෙන වැයෙන ආකාරය මට හොඳට හුරුයි. මටත් ඒ හැකියාව ලැබුණා කුඩා කාලයේ සිටම. ඉතාම කුඩා කාලයේදී මම 'දන්නෝ බුදුන්ගේ' ගීතය තනිවම වාදනය කරන්න ඉගෙන ගත්තා. පාසලේදී (තර්ස්ටන් විද්‍යාලයේ) හය වසරේදි තියෙනවනෙ කැමති සෞන්දර්ය විෂයක් තෝරාගන්න. මම තෝරාගත්තෙ සංගීතය. පාසලේ හැම සංගීත වැඩකටම මම එක්වුණා. ගායක කණ්ඩායම, තූර්ය වාදක කණ්ඩායම, කලා උළෙල, භක්ති ගීත ප්‍රසංග හැම දෙයකටම එක් වුණා. ඒ අතරේ බැණුම් ඇහීමත් වුණා. මොකද අනිත් ගුරුවර ගුරුවරියන් අැහුවෙ තමුසෙලට සංගීතය විතරමද තියෙන්නෙ කියලා. හරි හරි.. සංගීත කාමරේම ඉන්නවා එහෙනම් කියලා බැන්නා. එදා ඒ බැණපු සමහර ගුරුවරුන් අද මුණගැහුණාම හරියට සතුටු වෙනවා. මගේ පාසලේ සංගීත ගුරුතුමිය චන්ද්‍රා පෙරේරා මහත්මිය. එතුමිය අම්මා කෙනෙක් වගේ. කිසිම දවසක කෑගහලා නෑ. බැණලා නෑ. හරිම කරුණාවන්ත ආදරණීය ගුරුතුමියක්. ඉතා ආදරයෙන් ඇය අපිට සංගීතය ඉගැන්වුවේ ඉතා පැහැදිලිව නිවැරදිව. ඇය නිසා තමයි අපිට සංගීතය ගැන ඇල්මක් ඇතිවුණේ."
පාසල ගැන සුන්දර මතකය සමඟ නිවැරදි මඟපෙන්වීමක් ඔස්සේ තම සංගීත ගමන ඇරඹි බව ඔහු පවසයි. පාසලේදී ලබාගත් සංගීත දැනුම වඩාත් මුවහත් වන්නට බලපෑ තවත් ගුරුවරයකු ඔහුට හමුවිය. ඒ ප්‍රවීණ සංගීතඥ වික්ටර් පෙරේරා මහතාය.
"උසස් පෙළ විභාගය නිමවෙනවාත් එක්කම තමයි මම වික්ටර් පෙරේරා සර් ළඟට යොමු වුණේ. විශාරද විභාගය දක්වා මා ඔහුගෙන් ඉගෙන ගත්තා. දැන් වාගේ නෙවෙයි, ඉස්සර විශාරද විභාගයට ඉදිරිපත් වෙන්න ගුරුවරයාගේ අනුමැතියක් අවශ්‍යමයි. ශිෂ්‍යයා විභාගයට යන්න සුදුසුද කියලා ගුරුවරයා අත්සන් කරන්න ඕනෑ. සර් අත්සන් කරන්නේ නෑ, අපි හරියට වැඩේ කරන්නෙ නැත්නම්. ඉතින් ඒ ආදරණීය ගුරුවරුන්ගේ නිවැරදි මඟපෙන්වීම මගේ මේ ගමනට විශාල ආශිර්වාදයක් වුණා."
සමන්ත පෙරේරා යනු සම්මානනීය සංගීතවේදියෙකි. සම්මානනීය ගායන ශිල්පියෙකි. ඔහු ඒ මඟට අවතීර්ණ වූයේ පාසල් වියේදීමය. එනම් තමා සංගීතවත් කළ ගීතයක්ම ගායනා කරමිනි.
"ඉස්සර නිතරම අපි ගුවන්විදුලියට යනවා ගීත ගායනා කරන්න අවස්ථාවක් ලබාගන්න. පාසල් කාලේම නැවුම් මිහිර, නවක මඬල වගේ වැඩසටහන් ගණනාවක් තිබුණනේ. එවකට ලංකාවටම තිබුණේ ගුවන්විදුලිය විතරයිනේ. ඉතින් ඒ වැඩසටහන්වලට සම්බන්ධ වෙන්න, සින්දු කියන්න හරිම ආසයි. ඒත් ඉතින් ගියාම සමහර වෙලාවට අපිට කෑගහනවා. බණිනවා. බැණලා එළවා ගන්නවා. මේ මම කියන්නේ අසූව දශකයේ අග භාගයේදී පමණ. ඒත් දවසක් මට මේ ගී ගැයීමේ අවස්ථාව ලැබුණා. ඉතින් ඒ මුල්ම සින්දුව මමයි හදාගත්තේ. වචන ලියලා දුන්නේ අපේ කුසුම් දිසානායක මිස්. මහාචාර්ය ජේ.බී. දිසානායක මහතාගේ බිරිඳ. එතකොට එතුමිය තමයි අපේ සිංහල ගුරුතුමිය. ගීතයෙන් කියැවුණේ තරුණ විය ගැන. "සඳ විමනේ රන් දොරගුළු හරිනට - පැතුම් පිරී ගිය යොවුන් සිතුම්" තමයි ඒ ගීතය. මෙයට මමම තනුවක් දමාගෙන සංගීතය යොදා ගායනා කළා. එය ගුවන්විදුලියේ ප්‍රචාරය වුණා. මේ ගීතය ප්‍රචාරය වෙද්දි අපේ ගෙදර රේඩියෝවෙන් අහන්න විතරයි පුළුවන්. පටිගත කර ගන්න විදිහක් නැහැ. අපේ පුංචි අම්මාගේ ගෙදර තිබුණෙ අපේ ගෙවල්වලට ටිකක් කිට්ටුව. ඉතින් මම කැසට් පීස් එකකුත් අරන් යනවා එහෙට ගීතය ප්‍රචාරය වෙද්දි ඒක පටිගත කර ගන්න."
පෙරදිග සංගීතය සේම අපරදිග සංගීතය ද හදාරමින් ඔහු ක්‍රම ක්‍රමයෙන් තමන් යන මාවත හෙළි පෙහෙළි කර ගනිමින් ඉදිරියට ආවේය. ඒ 1993 වසරයි. ගීත රචකයකු වන අරුණ කිත්සිරි නවක ගායිකාවක ද සමඟ ඔහුගේ නිවසට පැමිණියේ ගීත දෙකක් සඳහා සංගීතය සපයා ගැනීමටය. ඒ වනවිට 'ඔරු සනම්' නම් දමිළ ගීතයේ තනුවට 'සිත හඬයි' නම් සිංහල ගීතය ගැයීමෙන් යම් ජනප්‍රියත්වයක් ලබා සිටි ඇය අද අප රට තුළ සිටින ජනප්‍රියතම ශිල්පිනියක වන නිරෝෂා විරාජිනීය.
සිය මව ද සමඟ පැමිණි නිරෝෂා තමන්ට ගීත දෙකක් සාදාගැනීමට අවශ්‍ය වග සමන්ත පෙරේරා හට පැවසීය. ඒ අනුව නිර්මාණය කළ එක් ගීතයක් වූයේ 'සිත ඔබට මුවාවී ඉකිබිඳිනා' නම් ගීතයයි. එය නිරෝෂාගේ ප්‍රථම ස්වතන්ත්‍ර ගීතය වන අතර සමන්ත පෙරේරා නම් සංගීතවේදියා මෙරට සංගීත කලාව තුළ ස්ථාපිත කළ ගීතය ද වේ.
"ඒ වෙද්දි මම කරලා තිබුණේ එක කැසට් එකයි. ඉස්සර ගීත දොළහයිනෙ. සුදත් දේවප්‍රිය කියලා කෙනකුගේ කැසට් පටයක් වෙනුවෙන් මම ගීත දහයක් නිර්මාණය කරලා දුන්නා. ඒ ඇරුණම ඉතින් ඒ වෙද්දි මම කරලා තිබුණේ ඔය ප්‍රාදේශීය වශයෙන් එන විවිධ සංගීත නිර්මාණ කටයුතු තමයි. ඉන්පසු වේදිකා නාට්‍ය කිහිපයක සංගීත අධ්‍යක්ෂණය කළා. ඒ කඩදාසි බැලුම, එකොළහ දා නොවනු පමා ආදිය. 1993 වසරේදීම තමයි තවත් සුවිශේෂී හමුවීමක් සිදු වුණේ. ඒ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ. ඉතින් එහිදී මට මාස්ටර්ගේ බොහෝ නිර්මාණ සඳහා දායක වෙන්න අවස්ථාව ලැබුණා. ටෙලිනාට්‍ය, චිත්‍රපට සඳහා වාදනය ගායනය කියන සියල්ලටම මට ඉඩ ලැබුණා. එතැනදි තමයි මට ටෙලිනාට්‍ය සඳහා සංගීත අධ්‍යක්ෂණය කරන්න ඉඩ ලැබුණේ. තට්ටු ගෙවල් මුල් කාලෙදි ගොඩක් ජනප්‍රිය වුණා. මෑතකදී ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ 'සකර්ම' ටෙලිනාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය මගේ. තව ඉදිරියේදී ටෙලිනාට්‍ය පහක් පමණ විකාශය වෙන්නට තිබෙනවා. කොහොමත් ටෙලිනාට්‍ය එකසිය පනහකට පමණ සංගීත අධ්‍යක්ෂණයෙන් මා එක්ව තිබෙනවා. චිත්‍රපට ගැන කියනවා නම් අරුමෝසම් වැහි, නිදහසේ පියා ඩී.එස්. වැනි චිත්‍රපට ගණනාවක්ම කළා. ඉදිරියේදී විසංගමනය හා වර්ණ තිරගත වීමට නියමිතයි."
ගායන ශිල්පියකු සේම සංගීතඥයකු ලෙසද මෙරට ප්‍රමුඛ සිනමා හා රූපවාහිනී සම්මාන උළෙල රැසකදී ඔහු ලබා ඇති සම්මාන ගණන 21 කි. ඉන් වැඩි සංඛ්‍යාවක් ඔහුට හිමිව ඇත්තේ ඔහුගේ සංගීතඥ භූමිකාව උදෙසා වීම විශේෂත්වයකි.
"මම 2013 වසරේදි මහාචාර්ය ආරියරත්න ඇතුගලයන්ගේ 'මහ සමයම' ගීත නාටකය සඳහා සංගීතය සැපයුවා. මගේ 'නාද තීර්ථ' සිම්ෆනිය 2017 දී නෙළුම් පොකුණේදී පැවැත්වුණා. ඊට ශිල්පීන් 105ක් එක්වුණා. මේ වෙද්දි මම සංගීතය ඉගැන්වීම කරනවා. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කළා. කාලයක් ඉන් ඉවත්ව සිට දැන් යළි වෙලාව ලැබෙන අයුරින් ඊට එක්වෙනවා. ඒත් එක්කම මාර්ගගත ක්‍රමයට විදේශ රටවල සිටින අපේ ශ්‍රී ලාංකික දරුවන්ට සංගීතය ඉගැන්වීම සිදු කරනවා. ඒ වගේම ඔවුන්ට අපේකම හා අනන්‍යතාව පිළිබඳ හැඟීමක් ලබා දෙන්න වැඩමුළු පැවැත්වීමත් කළා. ඔස්ට්‍රේලියාවේ 'පර්ත්' හි එවන් වැඩමුළුවක් කළා. කොවිඩ් නිසා එය අඩාල වුණා. නමුත් ලබන ජනවාරියේ එය නැවත කරන්න සැලසුම් කරමින් සිටිනවා."
කේමදාස පදනමේදී හමු වූ මහේෂි සමඟින් විවාහ වූ සමන්ත මේ වනවිට තිදරු පියෙකි. නිරුපධි, යෂාරු හා දෙව්ලි මේ වන විටත් ගායනයෙන් සංගීතයෙන් හා නර්තනයෙන් දස්කම් දක්වති. තවත් සොඳුරු නිර්මාණ ඔස්සේ රසික සිත් පිනවන්නට හැකිවේවායි හදසර අපි සුබ පැතුම් එක් කරමු.
I මොනිකි සේරසිංහ
සේයාරූ- අන්තර්ජාලයෙන්