ගයානුයි මායි ඉන්නෙ ‘කපල් එක’ වගේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

“සියතේ විකාශය කෙරෙන රේස් (Raze) නාට්‍යයේ මගේ නම ‘චාමරී’. ගෝ කාට් රේස් පදින, දඟකාර, හරියට නිකම් පිරිමි ළමයකු වගේ දුවලා පැනලා ඉන්න කෙලේලෙක්. එයා අවංකයි. ඒ වගේම හොඳයි. මේ දිනවල මම පුංචි තිරයෙන් ආලින්දයට එන්නෙ රේස් නාට්‍යයේ ‘චාමරී’ගෙ චරිතයෙන්. ඊට පෙර විකාශය වූ ‘පොදු - 2’ නාට්‍යයේ රඟපෑ චරිතයට මට ලැබුණේ හොඳ ප්‍රතිචාර. වැඩි දෙනෙක් ඒ චරිතය ගැන කතා වෙනවා. ඊට අමතරව මේ දිනවල සිරසේ ‘ලවර්ස් ලේන්’ වැඩසටහනේ නිවේදිකාවක ලෙසත් මාව දැක ගන්න පුළුවනි.” මෙහෙම කියන පූජනී භාග්‍යා එයාගේ ඇත්ත ආදරේ ගැන කියන්නේ කොහොම ද බලමු.

පූජනී කොහොම ද? ඔයත් බිසී ද මේ දවස්වල?

“එහෙමටම නැහැ. විකාශය කෙරෙන රේස් නාට්‍යයට අමතරව එක් ටෙලිනාට්‍යයක රූගත කිරීම්වලට දායක වෙනවා. කොහොමටත් වැඩ ගොඩාක් බදා ගන්න දැන් මම කැමැති නැහැ. මට ඕනෑ කරන්නේ දීර්ඝ ටෙලිනාට්‍යවලට වඩා, කොටස් තිහ හතළිහකින් ඉවර කෙරෙන නාට්‍යවලට දායක වීමටයි. රඟපෑමට අමතරව රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කිරීමට මේ දිනවල දායක වෙනවා. මේ දිනවල සිරස නාලිකාවේ විකාශය කෙරෙන ලවර්ස් ලේන් වැඩසටහන එක්ක සෙනසුරාදා සහ ඉරිදාට මම ප්‍රේක්‍ෂකයින් අතරට එනවා. ඒක ආදරය ගැන මියුසික් චාට් ෂෝ එකක්.”

ඒ විදිහට ‘ලවර්ස් ලේන්’ ගෙන එන පූජනීගේ ‘ලව්’ එක නැත්නම් ආදරය කොහොම ද?

“මගේ ආදරය හොඳින් තියෙනවා.”

ඒ හොඳ ආදරය ගැන කියමු?

“විශ්වාසය, තේරුම් ගැනීම ඒ වගේ දේ නිසයි.”

ඇයි මේ පූජනී ගයාන් ගුණවර්ධන යන එන තැන්වල නිතරම පෙනී සිටින්නේ?

“අපි දෙන්නාට බොහෝ වෙලාවට එකටම වගේ වැඩ ලැබෙනවා. විවිධ ඉසව්, ප්‍රවර්ධන කටයුතු වගේ දේවලදී අපි දෙන්නටම එකවර ඒවාට ආරාධනා ලැබෙනවා. තිරයේදී අපි දෙන්නා හරියට කපල් එක වගේ ඉන්න නිසා ඒ විදිහට අපිව තෝරා ගන්නවා ඇති. අනෙක් හේතුව අපි දෙන්නා එකතු වෙලා යූටියුබ් චැනල් එකක් පවත්වාගෙන යනවා. ගයියා ජුජී නමින් අපි ඒ යූටියුබ් චැනලය කරන්නේ.”

ගයාන් නම් කියන්නේ, පූජනී එයාගෙ හොඳම ආදරණීය යෙහෙළියක් කියලයි. පූජනීට ගයාන්ව දැනෙන්නෙ කොහොම ද?

“එයත් ඉතින් මගේ හොඳම ආදරණීය යාළුවා. මට ඉන්නෙ යාළුවො බොහෝම ටික දෙනයි. ඉන්න ටික දෙනා එක්ක හොඳින් ඉන්නෙ. ඒ අතරින් මට උපදෙසක් ගන්න, අදහස් ප්‍රකාශ කරගන්න ඉන්න මගේ හොඳම ආදරණීය යාළුවා තමයි ගයාන්.”

ගයාන් වෙතින් පූජනී දකින හොඳම ගුණාංගය?

“එයා හරි අවංකයි. එයා හරිම නිහතමානීයි.”

පූජනී ප්‍රේමයේදී බලාපොරොත්තු වෙන්නෙ?

“ප්‍රේමයක් ඇතුළෙදි බලාපොරොත්තු වෙන්න ඕනෑ මානසික නිදහසනේ. සැනසීමනේ. ඉතින් අපට ප්‍රශ්නයක් ඇති වූ වෙලාවකදී අපේ හිත නිවන්න ඒ ආදරයට පුළුවන් නම්, ඒක සැනසීමක්. ජීවිතයට සැනසීමක් දෙන්න පුළුවන් නම්, එතැන තියෙන්නෙ ආදරයක්.”

ඒ කියන විදිහට ගයාන් එක්ක මේ තියෙන මිත්‍රත්වය, ප්‍රේමණීය ආදරයකට හැරේවි ද?

“අනාගතය ගැන කියන්න බැහැනේ. අපි ඒක අනාගතයට බාර දෙමු.”

ගෝ කාට් පදින්න පුළුවන් පූජනීට කාර් පදින්නත් පුළුවන් ද?

“කාර් පදින්න පුළුවන්. ඒත් කාර් රේස් නම් පැදලා නැහැ.”

පූජනී ‘රේස්’ කතාවේ දුවන පනින දඟලන චරිතයක්නෙ? සැබෑවටත් එහෙම ද?

“කොහොමටත් මම පාසල් සමයේදී ප්‍රසිද්ධ වෙලා හිටියෙ ක්‍රිඩිකාවක ලෙසයි. මම ගියේ කැලණිය ගුරුකුල ජාතික පාසලට. ඒක මිශ්‍ර පාසලක්. ඒ කාලයේ මට වැඩිපුරම හිටියෙත් පිරිමි යාළුවෝ. ඒ විසේකාරකම ආවේ එදා ක්‍රීඩාවලට දායක වීම සහ මිතුරු මිතුරියන්ගේ පරිසරය නිසයි.”

පූජනී කවුද ඔයාගේ ප්‍රියතම ගායකයා?

“ප්‍රියතම ගායකයින් දෙන්නෙක් මට ඉන්නවා. ගයාන් ගුණවර්ධන ප්‍රථමයෙන්ම ඉන්න කෙනා. ශිහාන් මිහිරංගටත් කැමැතියි.”

ගයාන්ගෙ කැමැතිම ගීතය?

“‘ඔබ වෙනුවෙන්’ ගීතයට.”

ගයාන් සහ ඔබ හමු වුණාම කොහෙ කෙහෙද යන්නේ?

“අපි දෙන්නා ඉතින් කෑම කන්න තමයි යන්නේ. එක එක විදිහේ විවිධ රස ඇති අවන්හලකට ගිහින් කෑමක් කාලා එන්න ආසයි. ඒක වෙනසක්නේ. ඉතින් අපි දෙන්නා කතා කර කර ඉඳලා කෑමක් එහෙම කාලා එනවා. ‘ස්ට්‍රීට් ෆුඩ්ස්’ කන්න අපි හරි ආසයි. ඒ වගේම වීඩියො ගේම්ස් ගහන්නත් ආසයි.”

ගයාන් කැමැතියිලු ඔයා ගීත ගයනවාට. මොකද කියන්නේ?

“මටත් ආසයි ගයාන් වගේ කෙනෙක් එක්ක ගීතයක් කරන්න. බලමු ඉතින්.”

ගයාන් මේ දක්වා රඟපෑ චරිත අතරින් ජූජනී වඩා කැමැති?

“මේ දිනවල විකාශය කෙරෙන ‘පාර දිගේ’ නාට්‍යයේ භානුගේ චරිතයට.”

මේ යාළුකමට ගෙවල්වලින් මොනවා ද කියන්නේ?

“මොනවත් කියන්නේ නැහැ. මොකද මම එහෙම නිතරම රවුම් ගහන කෙනෙක් නෙවෙයි. ගයාන් මගේ හොඳම යාළුවා නිසා ගෙවල්වල හැමෝම ඒ ගැන දන්නවා. මට ඉන්න එකම හොඳම පිරිමි මිතුරා එයා. එයාගේ ප්‍රශ්නයකදී වුණත් මාත් ඉතින් එහෙමයි. අපි දෙන්නා හොඳ අවබෝධයක් තියෙන හොඳ යාළුවෝ දෙන්නෙක්.”

පූජනී විවාහය ගැන හිතන්නෙ කොහොම ද?

“විවාහයක් ගැන හිතන්න තරම් වාතාවරණයක් අපේ රටේ නැහැ. පවුල් ජීවිතයකට යන්න තරම් වටපිටාවක් අද නැහැ. රට තියෙන්නෙ ප්‍රශ්න ගොඩක. මේ තත්ත්වය සමනය වෙලා යහපත් වාතාවරණයක් ඇති වූ දවසට ඒ ගැන හිතනවා.”

මේ වගේ වෙලාවක, එනම් රටේ ඇති වී තිබෙන මේ අනපේක්‍ෂිත වාතාවරණය හමුවේ පූජනීට මොනවා ද කියන්න තියෙන්නේ?

“මේ කතාබහට එක් වෙනකල් මම ෆේස්බුක් එකේවත් මොනවත් ලිව්වේ නැහැ. බොහෝ දෙනා බොහෝ දේ දාලා තිබුණා. විවිධ අදහස් ප්‍රකාශ කරලා තිබුණා. මගේ මතය නම් සමාජ මාධ්‍ය ඔස්සේ එක එක අදහස් ප්‍රකාශ කිරීමට වඩා, අපි රටක් විදිහට හිතන්න ඕනෑ. මෙහෙම එක් එක් තැන්වල කලබල කරන්න ගියොත් ලෝකයට අපි ශ්‍රී ලාංකිකයන් ලෙස ලබා දෙන්නෙ වැරැදි චිත්‍රයක්. ඒ නිසා අපි පාරට බැස්සට කමක් නැහැ, විරෝධය ප්‍රකාශ කළාට කමක් නැහැ, කාටවත් හෝ දේපොළ කිසිවකට හානි නොකර. අපේ රට රැකගත යුත්තේ අපි අපිම එකතු වෙලා. අගාධයකට යා නොදී කට්ටිය වෙනස් කිරීමකට වඩා අපි කළ යුත්තේ, අපි මේ යන විදිහයි වෙනස් කළ යුත්තේ. සැමදාටම රටට ගැළපෙන ව්‍යවස්ථාවක්, සිස්ටම් එකක් නිර්මාණය කිරීම තමයි වැදගත්. නැත්නම් වෙන්නේ කලින් කල ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් විතරයි.”

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ