ගැබිනි මව්වරුන්ගේ චරිත ගැමි චරිත වලට තමයි ගොඩක්ම ආරාධනා ලැබුනේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඇය අප හඳුනාගන්නේ වර්තමාන පරපුරේ දක්ෂ ගී පද රචිකාවියක් ලෙසිනි. සනුක වික්‍රමසිංහගේ "පෙරවදනක්" ,නදීමාල් පෙරේරාගේ "නුරා වසන්තේ" ආදී අතිශය ජනප්‍රිය වූ ගීත කිහිපයක් අලුත් පරම්පරාවට තිළිණ කර ඇය දක්ෂ නිවේදිකාවක් ලෙසද දස්කම් පෑවාය.  එතනින් නොනැවතී වේදිකාව තුළද සිය රංගන ප්‍රතිභාව ඔප්නැන්වූවාය. වේදිකාවත් පුංචි තිරයත්, සිනමාවත් ස්පර්ශ කළ ඇය ප්‍රේක්ෂකයාට ප්‍රථමයෙන් හමුවන්නේ මාණික්කාවතේ පිච්චි ලෙසිනි.  ප්‍රථම ටෙලි නාට්‍ය තුළින්ම විශිෂ්ට රංගන හැකියාවන්ට ප්‍රේක්ෂක ආදරය ආකර්ෂණය දිනූ ඇය මේ දිනවල හමුවන්නේ වෙනස්ම චරිතයකිනි.   ඒ සම්බන්ධයෙන් උමා අසේනි සඳැල්ලට අදහස් දැක්වූයේ මෙලෙසය.

මේ දවස්වල උමා බොහොම කාර්ය බහුලයි වගේ?

ඇත්තටම මේ දවස්වල නම් ටිකක් කාර්යබහුලයි. සුපුන් රත්නායක අයියාගේ  "ලලයි ලිලයි ලයි" ටෙලිනාට්‍යයේ රූගත කිරීම් කෙරෙනවා .ඊට අමතරව ෆිල්ම් 3 ක අප්‍රේල් මාසේ  වැඩ ආරම්භ වෙන්න නියමිතව තියෙනවා.  තව අලුත් ටෙලි නාට්‍ය දෙකකටත් අලුතෙන් ආරාධනා ලැබිලා තියෙනවා. ඒ අතර වේදිකා නාට්‍ය ටිකත් කෙරීගෙන යනවා.

ලලයි ලිලයි ලයි"  නිසා උමාට වෙනස්ම ප්‍රේක්ෂකාගාරයක් එකතු වෙලා ඉන්නවා? කොහොම ද ඒ ප්‍රතිචාරය?

ඇත්තටම හිතුවෙවත් නැති විදිහට ප්‍රේක්ෂක පිරිසක් මේ ටෙලි නාට්‍ය  වටා එකතු වෙලා ඉන්නවා. මානික්කාවත වගේ නාට්‍යයක් බලපුු ප්‍රේක්ෂකයෙක් "ලලයි ලිලයි ලයි" වගේ නාට්‍යයක් බලනවා හරිම අඩුයි . නමුත් මේක වයස් භේදයක් නැතුව  ලොකු ප්‍රේක්ෂක පිරිසක් බලනවා.  මේ දිනවල ඒ ප්‍රතිචාර අත්විදිමින් ඉන්නවා.

ලලයි ලිලයි ලයි කියන්නේ මාණික්කාවතෙන් පස්සේ මම දායක වුණ දෙවන ටෙලි නාට්‍යය.

මාණික්කාවතෙන් පස්සේ උමාට ටෙලි නිර්මාණ ආරාධනා ලැබුණේ අඩුවෙන් ද? 

මානික්කාවතෙන් පස්සේ මට දිගටම ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබුණා.  ලැබුණේ මාණික්කාවතේ පිච්චි වගේ ඒ හා සමානම චරිත. ගැබිනි මව්වරුන්ගේ චරිත ගැමි චරිත වලට තමයි  ගොඩක්ම ආරාධනා ලැබුනේ. වෙළෙඳ දැන්විම් වලට පවා කතා කරේ ඒ වගේ චරිත වලට.  මම ඒ රාමුවට කොටු ​ෙවන්න ආස නැති නිසා සමහර නිර්මාණ භාරගත්තේ නැහැ. මට ඕන වුණා ඒ චරිත වලින් මිදිලා සරල චරිතයන් තෝර ගන්න. ඉතින් මම හරිම ආසාවෙන් කරන චරිතයක් තමයි ලලයි ලිලයි ලයි ටෙලි නාට්‍යයේ තනුෂ්කාගේ චරිතය.

කොහොමද ලලයි ලිලයි ලයි එක්ක සම්බන්ධ වෙන්න උමාට අවස්ථා ව ලැබෙන්නේ?

ලලයි ලිලයි ලයි කියන්නේ සුපුන් රත්නායක අයියා එක්ක මම කරන තුන්වෙනි නිර්මාණය. සුපුන් අයිය දවසක් මට මැසේජ් එකක් දාල තිබුණා මම මෙහම වැඩක් කරනවා මේකේ උඹ ඉන්නවා කියලා. එච්චරයි එතනින් පස්සේ  මට පිටපත එවල තිබුණා. පිටපත කියෙව්වාම මට ඒ චරිතයට ආස හිතුණේ ඒ චරිතය සැබෑ ජීවිතේටත් සමාන නිසා සහ ඒ වගේ සරල නිර්මාණයකට දායක වෙන්න ආසාවෙන් බලා හිටපු නිසා. මගේ මල්ලිට රඟපාන රන්දික  මට මල්ලි වගේ ඒ නිසා වෙන්න ඇති කතාව ඇතුළෙත් ඒක හරියටම ගැලපුණේ. රන්දික විතරක් නෙමෙයි ෆර්නි අක්කා, නිරෝෂන් අයියා, දීපානි ආන්ටි, ලාල් අංකල් මේ පවුලත් හරි හරියට ගැළපිලා තියෙනවා. ලලයි ලිලයි ලයි එක්ක ඒ ගත කරන කාලය සිනා සාගරයක්. කොච්චර මහන්සි වුණත් මහන්සි දැනෙන්නේ නැහැ. 

අතිශය ප්‍රථම වතාවට උමාත් සබෑ ජීවිතේ උදාර අක්කෙක් ද?

ඇත්තටම මට ඉන්නෙත් නංගියි මල්ලියි. මල්ලි  මට වඩා අවුරුදු 9ක් බාලයි. නංගි අවුරුදු  6 ක් බාලයි.  කතාවේ රන්දික වගේ මොංගල් වැඩ කරන්නේ අපේ ගෙදර නම් මම. ඔය තත්ත්වය වැඩිපුරම  තියෙන්නේ මායි නංගියි අතරේ.  මට මතකයි කැම්පස් එකේ තුන්වෙනි අවුරුද්දේ ඉද්දි දවසක් මම කැම්පස් ගියේ අම්මාගෙන් නිල් වෙන්න ගුටිකාලා. නංගි එක්ක පොඩි කොණ්ඩ බැන්ඩ් එකකට රණ්ඩු කරලා. එතකොට බැලුවම ලලයි ලිලයි ලයි එකේ ධනුෂ්කගේ චරිතේ ගෙදරදි ඇත්තටම රඟපාන්නේ මම. කොහොම වුණත් නංගිටයි මල්ලිටයි මම උදාර අක්කෙක්. 

පාරේ තොටේදි ලැබෙන  ප්‍රතිචාර  කොහොම ද? 

රන්දික මල්ලි සහ මම අතර යන දෙබස් රංගනයන් වලට  හිතාගන්න බැරි තරම් ප්‍රතිචාරයක් ලැබෙනවා. ගොඩක් දෙනා ප්‍රශංසනාත්මකව කතා කරනවා. සමහරු අහනවා පිච්චි වගේ චරිතයක් කරලා ඇයි තනුෂ්කා වගේ චරිතයක් කරන්න ගියේ කියලා. රන්දික මට  කතාවේ නිතරම මහසෝන් යක්ෂණී කියන නිසා  සමහරු මට දැන් ඇත්තටම කියන්නෙත් මහසෝන් යක්ෂණී කියලා . මාණික්කාවත බලපු ප්‍රේක්ෂකයෝ ඇත්තටම මේ චරිතය කොහොම භාරගනීවිද කියන බයත් මට තිබුණා. කොහොම වුණත් හිතුවෙවත් නැති ප්‍රේක්ෂක පිරිසක් ලලයි ලිලයි ලයි හරහා එකතු වෙලා ඉන්නවා කියලා පාරට බැස්සාම ලැබෙන ප්‍රතිචාර වලින් දැනෙනවා. 
අපේ ⁣ගෙදර කතාව කොහොමද බං හරියට රඟපාන්නේ කියලත් සමහරු අහනවා. මේ සමහර සිද්ධි රඟපෑම්ම නෙමෙයි තනිකර ගෙදර ජීවිතේ අත්දැකීම් කිව්වොත් හරි. ඒ වගේ සහෝදර බැඳීම් ඇතුළේ තියෙන සුන්දර දේවල් ගොඩක් මේ හරහා කතා වෙනවා. සරල උදාහරණය අපේ ගෙදරට ඇවිත් කවුරු හරි හොරෙන් බලා හිටියොත් මම ඇත්තටම කොයි වගේද කියලා  කවුරුත් කියන්නෑ මම උමා අසේනි කියලා. ඒතරම් පිස්සු වැඩ කරනවා.  අපි නිදහස් වෙන එකම තැන තමයි පවුල. ලලයි ලිලයි ලයි කතාවේ ගේන්නෙත් ඒ වගේ පවුලක් තමයි .

වේදිකාව පැත්තෙන් මොනව ද අලුත් නිර්මාණ?

වේදිකාවේ අලුතින් නම් භාරගත්ත වැඩ නැහැ. සචිත්‍ර රාහුබද්ධගේ ඇෆොඩයිට් මංකොල්ලය වේදිකා නාට්‍ය එක්ක පසු ගිය දිනවල මාසයක් පුරා ඔස්ට්‍රේලියාවේ සංචාරය කළා. වේදිකා නාට්‍ය කියන්නේ  කැමරාවක් ඉස්සරහ ගිහින් කරනවා වගේ එක පාර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. පුහුණුවීම උපරිමයෙන්ම තිබිය යුතුයි වේදිකා නාට්‍යයට. මේ කාර්ය බහුලත්වය ටිකක් අඩු වුණාම නැවත නාට්‍ය පැත්තෙන් අලුත් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. 

උමා අසේනි මේක නිළියක් වෙන්න ආපු ගමනක් නෙමෙයි.  බොහෝ අය ඔබව හඳුනාගත්තේ ගීත රචිකාවියක් විදිහට.  අහම්බෙන් වෙනස් වුණ මේ ජීවිතේ ගැන අද මොකද හිතෙන්නේ ? 

මගේ ජීවිතේ මට ලැබෙන ඕනෑම දෙයක් හොඳ හෝ නරක මම භාරගන්නවා. අහම්බෙන් හරි නිළියක් වීම ගැන මම අද ඉන්නේ ඉතාම තෘප්තිමත් තැනක. මම මගේ සම්පූර්ණ කාලය යොමු කරලා තිබුණේ සංගීත කටයුතු වලට. ඒත් මම යම් තැනකදි සංගීතයට පොඩි වීරාමයක්  තියනවා. ඒ ගැන දුක්වෙන්නේ නැහැ. හරි වෙලාවෙදි එ්කත් එළියට ඒවි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා. 
ගීත රචිකාවියක් වගේම ගොඩක් දෙනා මාව අඳුර ගත්තේ නිවේදිකාවක විදිහට. මේ වෙනකොට  නිවේදනයටත් මම පොඩි විරාමයක් දීලා තියෙනවා. මොකද නිවේදනයට සුදුසු විදිහේ වැඩසටහන් හැදෙනවා අඩුයි. අතරමග නතර වුණ දේවල් ගැන පසුතැවිමක්වත් දුකක්වත් නැහැ. මම හිතනවා ඒ අතරමග නතර වුණ දේවල් නැවත ආරම්භ කරන්න හොඳ කාලයක් ඒවි  කියලා. ගීත නිර්මාණ කටයුතුනම් සාමාන්‍ය පරිදි කරගෙන යනවා.  

මේ ලියවෙන්නේ  උමාගේ ජීවිත අත්දැකීම් ද?

ගීත විසි එකක් විතර මම දැනට ලියලා තියෙනවා. තව අලුතෙන් ගීත තුනක් ලියාගෙන යනවා. ඇත්තටම පෙරවදනක් කියන ගීතය මගේ පෞද්ගලික අත්දැකීමක් පාදක කරගෙන ලියපු එකක්.  ඒ වගේම මගේ ළගින් හිටි අයගේ සහ මාව කම්පනයට පත් කරපු සිද්දි අත්විඳීම් අත්දැකීම් කියන දෙකම මගේ  ගීත නිර්මාණ තුළ තියෙනවා. නුරා වසන්තේ ලියැවුණේ මගේ මිතුරියට පාදක කරගෙන. 

උමාගේ ඉදිරි බලාපොරොත්තුව?

මට ජීවිතේ තියෙන්නේ එක ටාගට් එකයි. ඒ තමයි ලංකාවේ අසරණ වුණ වීදි සතුන් වෙනුවෙන් Shelter home එකක් ඉදිකරන්න. මේ කාලේ ඒක හිතන්නත් අමාරු දෙයක්. ඒත් මට පුළුවන් විදිහට මම ඒ වැඩේ කෙහොම හරි  කරන්න ඕනැ කියන අරමුණේ ඉන්නවා. ඒ සම්බන්ධයෙන් යම් යම් වැඩකටයුතුත් කරගෙන යනවා.

නදීශා අතුකෝරළ

ඡායාරූප - මාලක වැලිගොඩපොල

ඇඳුම් නිර්මාණය - Spellbound - මිරිහාන