ගෑනු ළමයි පස්සෙ ගිය කොල්ලෙක් නොවෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘ඉස්කෝලෙ කාලේ’ විශේෂාංගයෙන් මෙවර සඳැල්ල හා එකතුවන්නේ නව පරපුරේ දක්ෂ රංගන ශිල්පියෙක් වන ගාවින්ද නවරත්න.

‘‘මම එක වසරේ සිට 13 වසර දක්වාම ඉගෙනගත්තෙ කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයේ. ඉතින් පුංචිම කාලෙ නම් මම ගොඩක්ම දඟ ළමයෙක් නෙමෙයි. හරිම පාඩුවෙ හිටපු චරිතයක්. මට ලාවට වගේ මතකයි මම මුලින්ම ඉස්කෝලෙට ගියපු දවසත්. අම්මත් එක්ක තමයි ගියේ.

ඒ කාලෙ ඉතින් කිසිම බරක් පතලක් නැහැනෙ. හරි සතුටින් ජීවත්වුණා මතකයි. කාලා, බීලා, සෙල්ලම් කරලා හිටියා. ඉස්කෝලෙ කාලෙ ඇත්තටම මම ජනප්‍රිය චරිතයක් වෙලා හිටියෙත් නැහැ. කිසිදු බාහිර ක්‍රියාකාරකමකට සම්බන්ධ වුණෙත් නැහැ. අඩුම තරමෙ මම ක්‍රීඩා කරපු කෙනෙකුත් නෙමෙයි. ස්පෝට් මීට් කාලෙ ඉස්කෝලෙ යන්නෙත් නැහැ. නමුත් ටික කාලයක් යද්දි අට නවය වගේ වසරවලදි මම ක්‍රීඩා කරන්න පටන්ගත්තා.

පුංචි කාලෙ ජීවිතේ නිශ්ශබ්දව ගෙව්වත් පස්සෙ සෙල්ලක්කාර ජීවිතය පටන්ගත්තා. මට ඒ කාලෙට ආවම කරාටි, වූෂු ඉගෙනගන්න ලොකු පිස්සුවක් තිබුණා. රගර් සෙල්ලම් කළා. ඒ වගේ තරගවල යෙදුණා පාසල් මට්ටමින්.

ඊට අමතරව ටික කාලයක් යද්දි ඉස්කෝලෙ මම විෂය බාහිර දේකට කියලා කළේ සංගීත කටයුතු තමයි. මට සින්දු කියන්න හැකියාවක් තිබුණා.

සංගීත කටයුතුවල යෙදිලා හිටියා. පාසලේ අධ්‍යාපන කටයුතුත් ඒ අතරෙ කරගෙන ගියා. අධ්‍යාපන කටයුතු මධ්‍යස්ථ මට්ටමේ තමයි තිබුණෙ. ගොඩක් ඉගෙනගන්නත් බැහැ. බැරිත් නැහැ.

අපේ පාසල මිශ්‍ර පාසලක් ඒ තුළ මට ගොඩක් යාළුවො හිටියා. ඉතින් ඒ යාළුවො එක්ක එකතුවෙලා ගොඩක්ම කළේ ඉස්කෝලෙන් පැනලා ගිහින් රවුම් ගහන එක තමයි.

යාළුවන්ගේ ගෙවල්වල යනවා. ඒ ගිහින් කරන්නෙ කම්පියුටර්වල ගේම් ගහන එක තමයි. ඒ දේවල් ඇත්තටම අද වනතුරුත් රහස් තමයි. ගෙවල්වලට කවදාවත් අහුවෙලා නැහැ. මේවා පත්තරෙන් දැක්කොත් තමයි අපේ පටි රෝල් වෙන්නෙ. මොකද මෙච්චර දවස් සැඟවිලා තිබුණු රහස්නෙ මේ.

ඇත්තටම අපි ඉස්කෝලෙ ඉන්න අකමැතිම පිරිසක්. රවුම් ගහන්නම තමයි කැමැත්ත තිබුණෙ. කඩවල් ගානෙ ගිහින් කෑම කනවා. රස්තියාදු ගහනවා, ගහගන්නවා ඒවා තමයි A/L කාලෙ වැඩිපුරම කළේ.

අපේ සතුට වුණේ ඒවා තමයි. ආදර සම්බන්ධතාවලට එහෙම ලොකු නැඹුරුවීමක් තිබුණෙ නැහැ. අපි ගෑණු ළමයි පස්සෙන් එහෙම ගිය කොල්ලො නෙමෙයි. ගියෙ එකම කෙල්ලෙක් පස්සෙන් විතරයි. ඒ කෙනා මට කැමතිත් වුණා. නමුත් ඉතින් පාසල් ප්‍රේමයට වැඩි ආයුෂ නැහැ කියනවනෙ. ඒවා ඒ කාලෙම නතර වුණා. ඒ දේවල්වලට වැඩි නැඹුරුවක් නැති වුණත් අපි කොල්ලොත් එක්ක ඒ කාලෙ ඒ ගත්ත ජොලිය ඒ විදියටම ගත්තා. ඉස්කෝලෙදි වුණත් ගුරුවරු නැති වෙලාවට අපි කරන්නෙ ඉස්කෝලෙන් පනින එකම තමයි. අපිට ඒ තරම් ජොලියක් තිබුණෙ නැහැ. සමහර වෙලාවට ගුරුවරු පන්තියෙ නැත්නම් අපි කරන්නෙ සින්දු කියන එක. ඩෙස්ක් උඩ නැඟගෙන, ඩෙස්ක්වලට පෑන්වලින් ගගහ සින්දු කියන්නෙ.

ඒ කාලෙ ඉතින් දඟ වැඩ, ජල්තර වැඩ ඕනෑ තරම් කළා. නමුත් ඉස්කෝලෙදි දඬුවම් විඳිද්දි ඒ හැම දේකින්ම මම බේරෙනවා. දන්න හඳුනන සර් කෙනෙක් හරි ඉඳලා ඒ හැම තැනින්ම මාව බේරිලා තියෙනවා. ඒ නිසා ඒ කාලෙ දඬුවම් ලොකුවට විඳලා නැහැ.

ගුරුවරුන්ගෙන් දඬුවම් වින්දත් ඒ වින්දෙ කියන දේ අහන්නෙ නැති ඒවට තමයි. මොකද ඉස්කෝලෙන් දෙන ගෙදර වැඩ කවදාවත් කරගෙන යන්නෙ නැහැ. ඒවා ගැන ගානක්වත් නැහැ.

මම ඇත්තටම යාළුවො එක්ක එකතුවෙලා පිස්සු නටන්න තමයි ඉස්කෝලෙ යන්න කැමති වුණේ. ඉගෙනගන්න යන්න කැමැත්තක් තිබුණෙම නැහැ. සමහරවිට ඉස්කෝලෙ ඉගෙනගන්න අකමැත්තෙන් ගිය එකම ළමයා මම වෙන්නත් ඇති.

මම මුලින්ම පෙර පාසල් යද්දිත් අකමැත්තෙන් ගිහින් තියෙන්නෙ හරියට අඬලා තියෙනවා. පෙර පාසලේදි ඒ ගෙනියන බෑග් එක උඩ තට්ටුවේ ඉඳලා පහළට වීසි කරනවලු. ඒ තරමටම අකමැත්තෙන් ගිහින් තියෙන්නෙ.

මම කලා ක්ෂේත්‍රයට ඇවිල්ලා රංගන ක්ෂේත්‍රයට ආවට පස්සෙ දැන් ඉස්කෝලෙ විවිධ උත්සවවලට එහෙම සම්බන්ධ වෙන්න ආරාධනා ලැබෙනවා.

දැන් ඒවාට සම්බන්ධ වෙනවා. ඒවාට දැන් ගියාම නම් මගේ පුංචි කාලෙ මතක් වෙනවා. ඒ කාලෙ යාළුවො එක්ක කරපු දේවල් එහෙම මතක් වෙද්දි බරක්පතළක් නැති ඒ සුන්දර කාලෙට යන්න තමයි හිතෙන්නෙ. ඇත්තටම අපි ඒ කාලෙ අකමැත්තෙන් ගියත් ඒ අතීතය කොච්චර සුන්දරද කියලා දැන් තමයි දැනෙන්නෙ හැඟෙන්නෙ.

ධනු විජේරත්න