ගෙදර සාජ්ජ වලින් අඩුවක් නෑ
මේ දිනවල ඇය බොහෝ දෙනා අතර ජනප්‍රියව සිටින්නේ ‘පාරදිගේ’ නාට්‍යයේ ‘සචිනි’ චරිතය සහ කොෆි ස්ටුඩියෝ සහ හද රැඳි පැයේ නිවේදිකාව ලෙසයි. ඉෂාරා අතුකෝරළ ඇයගේ නාමයයි. වේදිකා, සිනමා හා ටෙලිනාට්‍ය ක්ෂේත්රයේ ප්‍රවීන රංග ශිල්පියකු වන ආනන්ද අතුකෝරළගේ එකම දියණිය වන්නේ, මේ ඉෂාරාය. ඇය රඟපෑමට ආ හැටි? නිවේදිකාවක වූ හැටි සහ ඇය පිළිබඳව වූ තවත් විස්තර සඳැල්ලට කිව්වෙ මේ විදියටයි.
නම ගැන කිව්වොත්?
ඉෂාරා අතුකෝරළ. ස්වර්ණවාහිනියෙ මම සහ මුදිත ඉදිරිපත් කරන කොෆි ස්ටුඩියෝ විත් මුදිත ප්‍රෝගෑම් එක නිසා බොහෝ දෙනෙක් දන්නෙ ‘ඉෂි’ කියලයි.
‘ඉෂී? කවුද මේ ඉෂී?
‘ඉෂී’ ගැන ගොඩක් දෙනෙක් දන්නෙ ආනන්ද අතුකෝරළගෙ දුව කියලයි. මේ ප්‍රෝග්‍රෑම් එකට අමතරව ස්වර්ණවාහිනියෙ ‘හද රැඳි පැය’ කරන්නෙත් මම. ඊට අමතරව වෙළඳ සන්නාම තානාපතිවරියක් (බ්‍රෑන්ඩ් ඇම්බසිඩර්) ලෙසත් කටයුතු කරනවා.
‘ඉෂී’ගෙ අරමුණ වුණේ?
කුඩා කාලයේ ඉඳලාම අහවලා වෙනවා කියන අරමුණක් තිබුණෙ නැහැ. ඒත් හොඳට ඉගෙන ගෙන හොඳ රස්සාවක් කරන්න ඕනෑය කියන අරමුණ මට තිබුණේ.
එතකොට හොඳට ඉගෙන ගත්තද?
ඔව්. A/L ඉවර කරලා උපාධි දෙකක් කළා. එක උපාධියක් ඉවරයි. අනෙක තවම කරගෙන යනවා.
මොන අංශයේ උපාධිද?
මානව සම්පත් කළමනාකරණය සහ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව.
‘උපාධි’ ලබාගත්තාට පස්සේ, ඊළඟ මොනවද කරන්න හිතාගෙන ඉන්නෙ?
උපාධි අතරේ පුද්ගලික ආයතන දෙකක වැඩ කළා. එක් ආයතනයක ශාඛා කළමනාකාරවරියක ලෙස අවුරුදු තුනක් වැඩ කළා.
ඒවායින් ඉවත් වුණේ?
මේ ටී.වී. ප්‍රෝගෑම් ලැබුණු නිසා, ඒවා කරන්න එක් වුණා. දැන් මම රූපවාහිනි වැඩසටහන් නිවේදිකාවක්.
පාරදිගේ ‘සචිනි’ ‘ඉෂී’ගෙ පළමු රඟපෑමද?
මීට වසර නමයකට පෙරදී විකාශය වූ ‘ආත්මා’ නාට්‍යයේ අන්ධ ගැහැණු ළමයකු ලෙස චරිතයක් රඟපෑවා. ඉන්පසුව තව නාට්‍ය දෙකක විතර රඟපෑවා. ඒවා විකාශයට නියමිතයි. ඊට අමතරව තාත්තා මේ දක්වා නාට්‍ය තුනක් අධ්‍යක්ෂණය කළා. ඒ නාට්‍ය තුනේම රඟපෑවා. එතකොට මම ගොඩාක්ම පුංචියි.
‘ඉෂී’ගෙ ගෙදර විස්තර කියමු.
මමයි, අම්මයි, තාත්තයි. පවුලේ එකම ළමයා මම. අප පදිංචිය අතුරුගිරියෙ.
පාසල් කාලයේ මතකයන් එහෙම මොනවද?
පාසලේදී නර්තන අංශයේ බොහෝ ඉසව්වලට දායක වුණා. අපේ තාත්තාට ඕනෑ වුණේ කවදාහරි මම නර්තන ගුරුවරියක වේවි කියලයි. නර්තනයට එච්චරටම දක්ෂ වුණා.
‘අම්මා’ කලාවට සම්බන්ධ නැද්ද?
තාත්තා කලා ක්ෂේත්රයට ආවේ වේදිකාවෙන්. තාත්තාගෙ වැඩවලට උදව් කරමින්, වේදිකා නිර්මාණවලට දායක වෙලා තියෙනවා. අම්මට හොඳට ගයන්න පුළුවන්. තාත්තාට වඩා ගායන අංශයෙන් අම්මට ප්‍රතිචාර වැඩියි.
ගෙදර සාජ්ජ දානවද?
ඔව්, ඒවායෙන් අඩුවක් නැහැ.
පාරදිගේ ‘සචිනි’ කොහොම චරිතයක්ද?
ඒ චරිතය ගැටෙන්නෙ රුක්ෂානා කියන චරිතය එක්ක. රුක්ෂානා කළු චරිතයක් නිසා සචිනිත් කළු චරිතයක්. ඉදිරියට මොනවා වේවිද දන්නෙ නැහැ.
ඉෂී හැබෑවට මොන වගේද?
මම ටිකක් නිශ්ශබ්ද චරිතයක්. වෙලාවකට කේන්තිත් යනවා. අහිංසකව මගේ පාඩුවෙ ඉන්න කෙනෙක්.
‘ඉෂී’ වඩා කැමති මොනවගේ දේ වලටද?
දැන් මම ඉන්නෙ මම කැමතිම ෆීල්ඩ් එකක. නිවේදනයට රඟපෑමට ආසයි. රූපලාවන්‍ය අංශයටත් ආසයි. ඒ ගැන පසුගිය දිනවල ඉගෙනීම් පවා කළා.
තාත්තා කලාවෙ නොසිටින්න, ඉෂී කලා අංශයට නොඑන්නෙ තිබුණද?
එහෙමම කියන්නත් බැහැ. මොකද කොෆි ස්ටුඩියෝ ස්ක්‍රීන් ටෙස්ට් එකට ගිහින් මම අහවලාගෙ දුව කියලා කිව්වෙ නැහැ. නමුත් මාව තේරුණා. පාරදිගේ හම්බවුණේ තාත්තා කියලා නොවෙයි. මම එයාගෙ දුව කියලා ‘සද්ධා’ මහතා දන්නවා. වතාවක කොෆි ස්ටුඩියෝ එකට ආ දිනෙක සද්ධා මංගල සූරියබණ්ඩාර මහතා මට කිව්වෙ ඔයාගෙ වීඩියෝ එකක් එවන්න කියලයි. මට දිග දෙබසක් එවලා තිබුණා. ඒකට අනුව රඟපාලා වීඩියෝ ක්ලිප් එක යැව්වා. ඒ විදිහට තමයි මාව පාරදිගේ ‘සචිනි’ට තෝරා ගත්තෙ. තාත්තා මට බලකරලා චාන්ස් අරන් දුන්නා නම්? මීට කලින් මම රඟපෑමට ඇවිත්. ඒත් බලහත්කාරයෙන් මාව රඟපෑමට තල්ලු කරවන්න තාත්තාට ඕනෑ වුණේ නැහැ. මොකද ඒ දිනවල මම හරි ලැජ්ජාශීලියි. නිවේදනයට ආ පසුව කැමරාවට හුරු වුණා. කොෆි ස්ටුඩියෝ එකට නිවේදිකාවන් බඳවා ගැනීමේ පණිවුඩය මට කිව්වෙ ප්‍රවීන නිවේදක ජයන්ත අතපත්තු අයියා. එයාට මගේ ස්තුතිය මේ වෙලාවෙ පුද කරන්න ඕනෑ.
තාත්තා ‘ඉෂී’ට කතා කරන්නෙ කොහොමද?
දෝනි කියනවා, දුව කියනවා.
‘ඉෂී’ගෙ ජීවිතය ගෙවෙන විදිය කියන්නකො?
වැඩට යනවා. ගෙදර යනවා. මම විවාහ වෙලා ඉන්නෙ. මගේම ව්‍යාපාරයක් පටන් ගැනීම දැන් මගේ අරමුණයි.
‘ඉෂී’ගෙ සැමියා ගැනත් ඒ කැදැල්ල ගැනත් කියමු?
එයා කලාවට සම්බන්ධ නැහැ. බැංකු නිලධාරියෙක්. එයාලගෙ ගෙදරත් ඉන්නවා. අපේ ගෙදරත් ඉන්නවා. මොකද අපේ අම්මයි- තාත්තයි තනියෙන් ඉන්න නිසා.
ඉතින් කොහොමද විවාහ ජීවිතය?
අපිව තේරුම් ගත්ත හරි කෙනා ලැබුණාම විවාහ ජීවිතය බොහොම හැඩයි. විවාහයට පෙර අපි දෙන්නගෙ ප්‍රේම කතාවට අවුරුදු 9ක් වුණා. එදා ඉඳලාම අම්මයි-තාත්තයි මගේ කැමැත්තට ඉඩ දුන්නා. අපේ අම්මයි-තාත්තයි හරි ආදරෙන් ඉන්න දෙන්නෙක්. එයාලා බාධක මැදින් ආදරය ජයගත්ත දෙන්නෙක්. එයාලා කිව්වෙ ඔයාට ගැළපෙන කෙනා තෝරාගන්න කියලයි. මටත් ඉතින් ලැබුණෙ හොඳ කෙනෙක්.
තාත්තා, ගෙදරත් මොනවගේ චරිතයක්ද?
හරිම සහයෝගයෙන් වැඩ කරන කෙනෙක්. කවදාවත් අපේ හිත් රිදවා නැහැ. අදටත් මගේ දිහා රවලාවත් බලලා නැහැ. අම්මාට හරිම ආදරණීය චරිතයක්. ආදරණීය පියෙක්. උයන්න විතරයි තාත්තාට බැරි, අනෙක් සෑම දෙයක්ම පුළුවනි. කම්මැලි නැති චරිතයක්. විනෝදයෙන් සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්.
‘ඉෂී’ පාර දිගේ හැර ඉදිරියේ බාරගත්ත වැඩ මොනවාද?
‘නීල පබළු’ නාට්‍යයෙත් පුංචි චරිතයක් කරනවා. ඒ හැර තිරගත වීමට නියමිත උදයකාන්ත වර්ණසූරිය මහතාගේ ‘රිදී සීනු’ චිත්‍රපටයේ චරිතයක් රඟපෑවා.
‘ඉෂීගේ’ ජීවිතය සුන්දරයි?
අනේ ඔව්, සතුටින් සැහැල්ලුවෙන් අම්මා තාත්තා එක්ක ඉන්නවා.
සඳුන් ගමගේ