ගෙදර චණ්ඩියා ඉස්කෝලෙ ගිය මුල්ම දවසෙ ඇඬුවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘ඉස්කෝලෙ කාලේ’ විශේෂාංගයෙන් මෙවර සඳැල්ල හා එකතුවන්නේ මේ දිනවල පුංචි තිරයේ ඉහළම ප්‍රතිචාරයක් දිනාගෙන සිටින ආදරණීය චරිතයක්. ඔහු යෂ් වීරසිංහ.

මම ඉස්කෝල දෙකකට ගියා. මුලින්ම ගියේ කඩුවෙල මුණිදාස කුමාරතුංග විද්‍යාලයට. 1 වසරෙ සිට 11 වසර දක්වා ගියේ ඒ පාසලට. එතැනින් පස්සෙ 12, 13 වසරවල ඉගෙන ගත්තෙ බෝමිරිය ජාතික පාසලේ.

මම ඉස්සෙල්ලම ඉස්කෝලෙ ගියෙ අම්මාත් එක්ක. පොඩි කාලෙ ඉඳන් චණ්ඩියා වගේ හිටියට ඉස්කෝලෙ ගිය පළවෙනි දවසෙ ගොඩක් බය වුණා. මම ඇඬුවා හොඳට මතකයි. මම 3 වසරට යනකම් වගේ හරිම අකමැත්තෙන් ඉස්කෝලෙ ගියෙ. හැමදාම අඬනවා යන්න බැහැ කියලා. මොකද 3 වසරට එනකම් මට ගොඩක් සැර ගුරුවරු දෙන්නෙක් හිටියා. ඉතින් හොඳට ගුටි කනවා ඒ කාලෙ කරන වැඩවලට. ඉතින් ගුටිකන්න බැරි හින්දා හැමදාම බොරු ලෙඩක් දාගෙන ගෙදර ඉන්නමයි උත්සහ කළේ.

මොකක් හරි හේතුවක් හදාගන්නවා ගෙදර ඉන්න. ඒ කාලෙ නම් ඇත්තටම ඉස්කෝලෙ මාරම දඟයි. ඒ දඟ නිසාම ද දන්නෙ නැහැ මට පොඩි කාලෙම දුන්නා එක වතාවක පන්ති නායකකම. ඒ හේතුවත් එක්ක මම ටිකක් පාලනය වුණා 4 වසරෙදී වගේ. මොකද කොච්චර දඟ කළත් ලැබුණු වගකීමත් එක්ක වැඩ කරන්න වුණා. මම කොහොමත් අනිත් අයව පාලනය කරන්න ටිකක් දක්ෂයි. ඒ දේවල්වල නිරත වුණා කියලා දඟවැඩ නොකර හිටියෙත් නැහැ.

ජීවිතේ කරපු පිස්සු, චණ්ඩි වැඩ ගොඩක්ම තියෙන්නෙත් මගේ මුල් පාසලේ තමයි. නමුත් මම පාසලේ අධ්‍යාපන කටයුතුත් එක්ක විෂය බාහිර වැඩත් හොඳින්ම කළා. පාසලේ ජනප්‍රියම චරිතයක් වෙලාත් හිටියා. නමුත් මුල්ම කාලෙ දී 3 වසරට යනකම් වගේ මාව ප්‍රතික්ෂේප වෙලා වගේ හිටියේ. ඒ කාලෙදී වේදිකාව පැත්තටවත් නැඹුරුවක් තිබුණෙ නැහැ. මම පෙර සඳහන් කළ ගුරුවරු දෙන්නටත් බයවෙලානෙ හිටියේ.

මුල්ම නාට්‍යය සඳහා පුංචිම කාලෙ ඉස්කෝලෙ දී තෝරා ගත්ත දවසේ මාව ඒ වෙනුවෙන් තේරුනෙත් නැහැ. ප්‍රතික්ෂේප වුණා. එතකොට මම 2 වසරෙ. නමුත් මම 4, 5 වසරට වගේ ආවම ඉස්කෝලෙ බාහිර වැඩ ගොඩකට සම්බන්ධ වුණා. ඒ හැම වැඩ කටයුත්තකදීම ඉස්කෝලෙ කැපී පෙනෙන චරිතයක් වුණා. ඒ ජනප්‍රියත්වය 11 වසරට එනකම්ම තිබුණා නොඅඩුවම.

පාසලේ නාට්‍ය, ගීත ගායනය, ක්‍රීඩා හැමදේම කළා. පාසල් වේදිකාවෙ හැම නාට්‍යයකම අනිවාර්යයෙන්ම ඉන්නවා. පාසල් මලල ක්‍රීඩා වලින් ඉහළ ජයග්‍රහණ ලබා ගත්තා. මීටර් 400, 800දිවීමේ තරඟාවලියෙන් විශිෂ්ට කුසලතා ලබා ගත්තා. ඒ වගේම අධ්‍යාපනය පැත්තෙන් ගත්තමත් හැමදාම පන්තියේ මුල්ම ස්ථානවල තමයි හිටියේ.

මගේ හොඳම යාළුවො තුන් දෙනෙක් හිටියා. එරංග, ලිලන්ත, චාරික කියලා. අපි 4 දෙනා තමයි පන්තියේ අන්තිම පේළියෙ හිටියෙත්. ඉගෙන ගන්න වෙලාවටත් වැඩිපුර පිස්සු වැඩ තමයි කළේ ගුරුවරුන්ට. ළමයින්ට එක එක දේවල් කිය කියා. නමුත් අපි 4 දෙනා තමයි පන්තියෙ පිරිමි ළමයින්ගෙන් හොඳින්ම ඉගෙන ගත්තෙ. අපි 4 දෙනා අතර තමයි කොල්ලන්ගේ තරඟය තිබුණෙ පළවෙනි ස්ථානවලට.

අපි හතර දෙනාගෙන් එක්කෙනෙක් තමයි අනිවාර්යයෙන් එක, දෙක වෙන්නෙත්, මම O/L කාලෙදී පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයත් වුණා. ඒ වගේ විෂය බාහිර ක්‍රියාකාරකම් වලිනුත් ඉදිරියෙන් තමයි හිටියේ.

ඉස්කෝලෙ නොකරපු දෙයක් නැති තරම්. ඒක මිශ්‍ර පාසලක් නිසා ගැහැණු ළමයින්ගේ ආකර්ෂණයත් ඉතින් මට වටින් කොනින් තිබුණා. නමුත් මට ලැබුණ නායක කම් නිසා වැඩිපුර ලව් සීන්වලට එහෙම ගියෙ නැහැ.

ඒත් ඉතින් ඒවා නොකරම හිටියෙත් නැහැ. පාසල් ප්‍රේමයන් දෙකක් තිබුණා. එහෙම ප්‍රේමයක් නොතිබුණා නම් වැඩකුත් නැහැනෙ. ඒවා ඉතින් ඒ කාලෙම ඉවරත් වුණා. මොකද ඒවා තේරුමක් නැති කාලෙ පටන් ගත්ත දේවල්නෙ. මුලින්ම මට ගැහැණු ළමයෙකුට ආකර්ෂණයක් ඇතිවුණේ මම 4 වසරේදී. ඒ කාලෙදිම ඇහුවෙ නම් නැහැ. නමුත් මම කැමති නැහැ ඒ ගැහැණු ළමයා ළඟට කව්රුත් යනවටවත්.

මම ඉතින් ඒ ළමයා දිහා බලාගෙන ඉන්නවා. කොහොම හරි ඒ ක්‍රෂ් එක දිගටම තිබුණා. ඒ දේ එහෙම තිබුණත් මම මුලින්ම යාළුවුණේ නම් ඒ ළමයත් එක්ක නෙමෙයි. වෙනත් ගෑණු ළමයෙක් එක්ක. ඒ 5 වසරෙදි. එතැනදිත් ඒ අහපු ගැහැණු ළමයා කැමති වුණේ නැහැ. ඒ ළමයාගේ හොඳම යාළුවා තමයි මගෙත් එක්ක යාළු වුණේ. එතකොට මම 6 වසරෙ. ඒ විදියට කල් ගතවෙද්දි මම ආයෙත් මුලින්ම හිත ගිය ගැහැණු ළමයාගෙන් කැමැත්ත ඇහුවා. ආයෙත් 10 වසරෙදී, නමුත් ඒ කැමති වුණෙත් නැහැ. ඒවා තමයි මගේ පාසල් ප්‍රේමයන් ගැන මතක.

ඒ විෂයට දක්ෂ වුණත් මම අකමැතිම විෂයකුත් තිබුණා. ඒ තමයි විද්‍යාව, අනිත් විෂයන්වලට 80 ඉහළ ලකුණු තිබුණා. විද්‍යාව තමයි අව්ල් වුණේ. O/L කාලෙ එකම එක වතාවයි පන්තියක් කට් කරලා තියෙන්නෙ. ඒ කට් කරලා අපි පිට්ටනියට ගිහින් සෙල්ලම් කළා. ඒ බුද්ධාගම පීරියඩ් එකේ. ඉතින් අපිට බුද්ධාගම උගන්වන හාමුදුරුවන්ට හොඳටම තරහ ගිහින් අපිව ප්‍රින්සිපල්ගෙ ඔෆිස් එක ළඟ පෝලිමට දණ ගස්වලා තිබුණා.

මම A/L වලට බෝමිරිය ජාතික පාසලට මාරු වුණාම නම් පන්තියෙ හිටපු නැති තරම් Chemistry සර් මාව දන්නෙත් නැහැ වාරය මැදක් වනතුරුම. මම ඒ පන්තියේ ළමයෙක් කියලාත්. ඒ කාලෙදී මම පන්ති කට් කරලා හිටියෙම මියුසික් රූම් එකේ. නැත්නම් ආර්ට් සෙක්ෂන් එකේ. මොක ද මම ඒ ඉස්කෝලෙට අලුතින් ගියත් මම විද්‍යා දිනය දවසේ නාට්‍යයකට සම්බන්ධ වෙලා සහ ගිටාර් ගහලා ගීත ගායනා කරලා කලාව පිළිබඳ දක්ෂතාවයක් තියෙනවා කියලා කට්ටිය දැන ගත්තා. ඒක කාලෙම අපේ ඉස්කෝලේ සංගීත කණ්ඩායමකුත් හැදුවා. ඉතින් ඒ කණ්ඩායමටත් මට ආරාධනා කරලා කණ්ඩායමේ නායකයත් කළේ මාව තමයි. එක දවසක් මට මතකයි මම ඉස්කෝලෙ ඩෙස්ක් එකක් උඩට නැඟලා මයිකල් ජැක්සන්ගෙ සින්දුවක් කිව්වා. අපි කොහොමත් ගුරුවරු නැතිවෙලාවට කරන්නෙ සින්දු කියන එක තමයි. ඉතින් මම ඒ සින්දුව කියන වෙලාවෙ ප්‍රින්සිපල් පිටි පස්සෙන් ඇවිල්ලා වේවැලකුත් අරගෙන මගේ සින්දුව අහගෙන ඉඳලා තියෙනවා. මට යාළුවෙක්වත් කිව්වෙ නැහැ ප්‍රින්සිපල් ඇවිල්ලා කියලා. මුළු පන්තියම නිශ්ශබ්දව හිටියත් මට මීටර් නැහැ. මම නට නටා සින්දුව කියනවා. ප්‍රින්සිපල් මගේ පිටිපස්සෙ. නමුත් එදා ප්‍රින්සිපල් මට මොනවත්ම කිව්වෙ නැහැ. ඒත් එදායින් පස්සෙ මගෙ යාළුවො මට කතා කළේ ජැකා කියලා. මයිකල් ජැක්සන් නිසා ඒ නම පටබැඳුණත් ඊට පස්සෙ ඒ නම වෙන වෙන දේවල්වලටත් යාළුවො යොදා ගත්තා. මම ගණිත අංශයේ ඉගෙන ගත්තට කලා හැකියාවන් තමයි ඇඟේ පිහිටලා තිබුණෙ.

ඒ කාලෙත් තිබුණෙ රංගන ශිල්පියෙක් වෙන උණක්. ඒ මගේ පවුල් පසුබිමත් එක්ක වෙන්න ඇති. ඉතින් ඒ කාලෙදී මම තිර පරීක්ෂණවලට ගියත් තේරුණේත් නැහැ. නමුත් පාසල් වේදිකාවේ නම් ඉදිරියෙන්ම හිටියා. පාසල් මට්ටමින් සහභාගි වුණු තරඟ රැසක්ම ජයග්‍රහණය කරලත් තියෙනවා. පාසලෙන් ඒ ලබාගත්තු පන්නරය නිසා තමයි අද මම මේ විදියෙ ගමනක් ඇවිල්ලා ඉන්නෙ. ඒ ගෙවුණු සුන්දර අතීතය මාරම කාලයක්. ආයෙත් ඒ කාලෙට යන්න තිබුණනම් මම යනවා. ඒ තරමට ආසයි දුවලා, පැනලා, නටපු ඒ අතීතෙට. ඒ කාලෙ ආයෙත් අපට එන්නෙ නැහැනෙ. ඒ තරමට නිදහසේ ගෙවපු කාලයක් තමයි ඒ.

ධනු විජේරත්න