ගෙත් එක්ක කට්ටිය වලි දාගන්න එන්නෙත් නැහැ - පාසලේ දී මට කතා කළෙත් බෲස්ලි කියලා
මේ දිනවල පුංචි තිරයේ වැඩිපුරම බැනුම් අහන චරිතයක් සමඟින් සඳැල්ලෙන් කතාබහක නිරතවෙන්න හිතුවා. පුංචි තිරයට දුෂ්ටයෙක් වුණත් සැබෑ ජීවිතයේ ආදරණීය චරිතයක් වුනු ඔහු අෂේන් සිරිවර්ධන.
මේ දිනවල රෙහාන් හොඳටම බැනුම් අහනවා කියන්නේ ඇත්ත ද?
අම්මෝ ඔව්. සුපිරියටම බැනුම් අහනවා. මේ දවස්වල රෙහාන්ව දැක්කම ළඟට ඇවිල්ලා ගහන්න හිතෙනවා කියලා තමයි බොහෝ දෙනෙක් ප්‍රතිචාර දක්වන්නේ. ඉතින් ඒ විදියට බැනලා වුණත් ලැබෙන ප්‍රතිචාරවලට මම ගොඩක් කැමතියි.
මේ රෙහාන් කවුද කියලාත් කියමු ?
ස්වර්ණවාණියේ සතියේ දිනවල රාත්‍රී 7.30 විකාශය වන ‘ඇස්’ ටෙලි නිර්මාණයේ තමයි රෙහාන් ඉන්නෙ. ඔහු දරදඬු දුෂ්ට චරිතයක්. ඒ දුෂ්ට චරිතය ඇතුළෙ සැබෑ ප්‍රේමවන්තයෙකුත් ඉන්නවා.
ඔහුගේ ප්‍රේමය තුළත් විවිධ හැළ හැප්පීම් තියෙනවා. මොකද ඔහු ඒ ආදරේ බලෙන් හෝ ලබා ගන්න තමයි උත්සාහ කරන්නෙ. ඉතින් මේ චරිතය විවිධාකාර විදියට දිවෙන චරිතයක්. විටෙක ඔහු ක්‍රීඩකයෙක්. ඒ වගේම ප්‍රේමවන්තයෙක්. දුෂ්ටයෙක් මේ හැමදේම ඒ තුළ තියෙනවා. ඉතින් ‘ඇස්’ එක්ක දිගටම රැඳිලා හිටියොත් මේ හැමදේම දැකබලා ගන්න හැකි වෙයි.
රෙහාන් ක්‍රීඩකයෙක්, ප්‍රේමවන්තයෙක්, දුෂ්ටයෙක් කිව්වනෙ? පිළිවෙළින් ඒ හැමදේම අෂේන් තුළත් තියෙනව ද?
මුලින්ම ක්‍රීඩකයෙක් කියන තැනදී සැබෑ ජීවිතේ මම අවුරුදු 15ක් තිස්සේ සටන් ශිල්පය හදාරනවා. ඒ තුළින් දෙස් විදෙස් සම්මානයන්ට පාත්‍රවෙලා තියෙනවා. පිට පිටම අවුරුදු 5ක් නැෂනල් කරාතේ ශූරතාවය දිනාගෙන තියෙනවා. ඒ වගේම ඉන්දියාව, ඇමරිකාව, ජපානය, චීනය ආදී රට රටවල ජාත්‍යන්තර කරාතේ තරඟාවලිවල ශූරතාවය දිනාගෙන තියෙනවා. ලංකාවට රන් පදක්කම් කිහිපයක් මේ තුළින් ගෙන එන්නට මට කිහිප වරක්ම අවස්ථාව ලැබුණා. ඒ නිසා බයක් නැතිව කියන්න පුළුවන් රටට ණය නැති කෙනෙක් කියලා. ක්‍රීඩාව පැත්තෙන් ඒ වගේ දක්ෂතා තියෙනවා. ඊළඟට ප්‍රේමවන්තයා පැත්තෙන් ගත්තොත් මම ආදරය උපරිම හොයන කෙනෙක්. ආදරය මට ලැබෙන තැනට උපරිම මමත් ඒ දේ නොඅඩුව ලබා දෙනවා. මොකද මම කවදාවත් ආදරයට වංචාවක් කරන කෙනෙක් නෙමෙයි. ඉතින් මීට පෙර ආදරය පිළිබඳ අත්දැකීම් තියෙනවා. ආදරය විඳලා තියෙනවා. ඒ සමහර සම්බන්ධතා සමහර නොගැළපීම් මත බිඳී ගිය අවස්ථා තමයි තිබුණෙ.
ඉතින් මේ දිනවල නම් නැවත ආදරයක් ලැබීගෙන යනවා. ඉදිරියේ දී තමයි ඒ ගැන කතා කරන්න වෙන්නෙ.
ක්‍රීඩකයා, ආදරවන්තයා ගැන අපි දැන ගත්තානෙ එතකොට දුෂ්ටයා වුණු අවස්ථා නැද්ද ඇත්ත ජීවිතේ?
පාසල් යන කාලෙ නම් පොඩි පොඩි සිදුවීම් කිහිපයක් වුණා. මම පාසලේ ක්‍රීඩකයෙක් විදියට ජනප්‍රිය චරිතයක් වෙලා හිටියනෙ. ඉතින් ඒ සමහර දේවල් එක්ක මට අඩත්තේට්ටම් කරපු කිහිප දෙනෙකුත් හිටියා. හැමෝම නෙමෙයි. ඉතින් ඒ සමහර අය මගෙ බෑග් එක හංගනවා, කෑම එක කුණු බාල්දියට දානවා.
ඒ වගේ දේවල් ගොඩක් කළා. ඒවා මගේ අතටම අහුවුනු අවස්ථාත් තියෙනවා. ඉතින් මම ඒ හැමදේම ටීචට කිය කියා ඉන්නෙ නැතිව මම විසින්ම විසදා ගත්තා. බැරිම වුණොත් ඉතින් මම හදාරලා තියෙන සටන් ශිල්පයේ කෑලි ටිකකුත් යොදා ගත්තු අවස්ථා තිබුණා. පස්සෙ නම් මගෙත් එක්ක කට්ටිය වලි දාගන්න එන්නෙත් නැහැ. ඒ සටන් ශිල්පය නිසා. පාසලේ දී මාව ආමන්ත්‍රණය කළෙත් බෲස්ලි කියලා. ඉතින් මේ සිදුවීම් එක්ක විටෙක පාසලේ දී දුෂ්ටයා වුණා. මම හදාරපු සටන් ශිල්පය නිසා තමයි පාසලේ සිදුවුණු බලපෑම් අඩු වුණේ.
මේ සියලුම සිදුවීම් එක්ක බලද්දී මට හිතෙන්නෙ මේ අෂේන්ට ලැබුණෙ ගැළපෙනම චරිතයක් ?
ඇත්තටම ඔව්. මම මගේ ජීවිතේ අත්දැකීම් ගොඩක් මේ චරිත රංගනයට යොදාගෙන තියෙනවා. ඒ වගේම 1980, 1990 ගණන්වල ඉංග්‍රීසි චිත්‍රපට බලලා ඒ දේවලුත් මේ චරිතයට ඇතුළත් කළා. මම කොහොමත් ගොඩක් චිත්‍රපට නරඹන කෙනෙක්.
පුංචිම කාලෙදී මම මොනවත් දන්නෙ නැති කාලෙ චිත්‍රපටවල දකින දේවල් ඒ සටන් ක්‍රම ඒවා බලාගෙන කරනවලු. තාත්තා ඒ වගෙ ඡායාරූප පවා අරන් තියෙනවා. ඒ වගේම මම ටිකින් ටික තේරුම් ගන්න පුළුවන් වයසට එද්දී මගේ කැමතිම රංගන ශිල්පියා වුණේ ශාරුක් ඛාන් ඒ වගේම වෙන්න ඕනෑ කියලා තමයි ඒ කාලෙදී කියන්නේ. පුංචිම කාලෙ මම කෑම කන්න හරිම හොරයිලු. ඉතින් අම්මා මට බත් කවලා තියෙන්නෙත් හරියට බත් කෑවේ නැත්නම් ශාරුක් ඛාන් වෙන්න බැහැ කියලා.
ඉතින් ශාරුක් ඛාන් වෙන්න ඕනෑ හින්දා තමයි ඒ කාලෙ බත් කාලා තියෙන්නෙ. ඒ වගේම පොඩි කාලෙදී අහනවනෙ ලොකු වුණාම කවුද වෙන්නෙ කියලා. එතකොට හැමෝම ඉංජිනේරුවරු, වෛද්‍යවරු වෙනවා කියද්දි මම කිව්වේ රංගන ශිල්පියෙක් වෙනවා කියලා. ඇත්තටම මගේ ජීවිතේ මම කැමතිම චරිත දෙකක් වුණේ ශාරුක් ඛාන් සහ බෲස්ලි. මටත් ඕනෑ වුණේම ලංකාවෙ දක්ෂ සටන් රංගන ශිල්පියෙක් වෙන්න.
ඒ කැමැත්ත එක්ක ආපු මේ ගමන් මගේ දැන් ලැබෙන ප්‍රතිචාර එක්ක අෂේන්ට රිදී තිරයේ වීරයා වෙන්නත් බැරි නැහැ නේද?
මට ලොකු කැමැත්තක් තියෙනවා රිදී තිරයට සම්බන්ධ වෙන්න. මට ඕනෑ ලංකාව ඇතුළෙ දක්ෂ සටන් ශිල්පියෙක් වෙන්න. දක්ෂ සටන් රංගන ශිල්පියෙක්ගෙ නමක් ඇහුවොත් මගේ නම අෂේන් සිරිවර්ධන කියන නම කවදාහරි කියවෙන්න තිබුණානම් ඒ දේ මම ගොඩක් වටිනවා, මම ජනප්‍රියම හෝ හොඳම රංගන ශිල්පියා ද කියන දේටත් වඩා.
රංගන ක්ෂේත්රයට එකතු වෙන්නෙ කොහොමද මුලින්ම?
මේ ක්ෂේත්රයට මුලින්ම සම්බන්ධ වෙන්නෙ වෙළඳ දැන්වීමක් හරහා. ඒ තුළින් ආපු ගමනෙදී මට මුලින්ම එකතු වෙන්න ලැබුණා ‘රැස්’ නිර්මාණයට. සිරස නාළිකාවෙ එය විකාශය වුණේ. ඒ නාට්‍යය වෙනුවෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ ප්‍රතිචාර එක්ක මට අහස් මාලිගා ටෙලි නිර්මාණයේ ප්‍රධාන චරිතයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. එතැනින් පසුව දිගින් දිගටම ප්‍රධාන චරිතවලට සම්බන්ධ වෙලා විවිධාකාර චරිත රංගනවලට යන්න හැකිවුණා.
මම ගොඩක් වෙලාවට තෝරා බේරලා තමයි ඒ චරිත රංගනයත් කළේ. මට ප්‍රධාන චරිතයම කරන්න ඕනැ කියලා දෙයක් නැහැ. මට දැනෙන ලැබෙන කලු හෝ සුදු ඕනෑම චරිතයකට උපරිම සාධාරණයක් කරන්න තමයි මට ඕනෑ. කොහොමත් මට චරිතයක් ලැබුණම එවැනි චරිතයක් පිළිබඳව සමාජ ජාලාවලින් චිත්‍රපටවලින් හෝ සැබෑ ජීවිතේ පවා එවැනි චරිත අධ්‍යයනය කරමින් ඒ රංගනයට ප්රවිශ්ට වෙන්න මම බලන්නෙ. චරිතය ඉතාම සාර්ථක කර ගන්නයි මට ඕනෑ. ඒ නිසාම මට වැඩක් භාර දුන්නොත් සහ මම වැඩක් භාර ගත්තොත් ඒ වෙනුවෙන් 100% කැප කිරීමක් කරනවා. ඒ කැප කිරීම් කරපු නිසා තමයි අද ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ ඒ ආශිර්වාදයන් ලැබෙන්නෙ.
මේ දිනවල කලු චරිතයක් හරහානෙ අෂේන්ට ප්‍රතිචාර ලැබෙන්නෙ. ඉතින් ඒ ගැන මොකද හිතෙන්නෙ?
ඇත්තටම මේ චරිතයට උපරිම සාධාරණයක් කරනවා කියලා මම හිතනවා. ඒ නිසානෙ ඉතා ඉහළ ප්‍රතිචාර ලැබෙන්නෙ. ඇත්තටම මම මේ වෙනුවෙන් මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනෑ ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධික ජයරත්න මහත්මයාට. ඔහු තමයි මගේ යම්කිසි දක්ෂතාවක් දැකලා මාව රෙහාන් චරිතයට නිර්දේශ කරන්නෙ. බුද්ධික ජයරත්න මහත්මයා මීට පෙර මගේ තත්තා විදියට රංගනයේ යෙදිලා තියෙනවා. ඔහු මාව යොමු කරනවා ‘ඇස්’ නිර්මාණයේ අධ්යක්ෂ හසුන් සමීර මහත්මයාට. ඔහු මාව තිර පරීක්ෂණයකට යොමු කරලා මේ චරිත රංගනයට තෝරා ගන්නෙ.
ඇත්තටම මට හසුන් සමීර වගේ දක්ෂ අධ්යක්ෂවරයෙක් එක්ක වැඩකරන්න ලැබීම ගැනත් ගොඩක් සතුටුයි. ඔවුන්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගනිමින් තමයි අපි මේ ගමන යන්නෙ. ඉතින් ඔහු වගේම මේ නාට්‍ය කණ්ඩායමේ හැමෝටම සහාය එකතු වෙලයි අපි මේ ගමන සාර්ථකව යන්නෙ. ඒ හැම දෙනාම ආදරෙන් සිහිපත් කරන්න ඕන අනිවාර්යෙන්ම. ඒ හැම දෙනාගෙම උනන්දුව කැපවීම නිසා තමයි මේ නාට්‍යයට සහ අපේ චරිත රංගනවලට අද වෙද්දී ඉහළ ප්‍රතිචාර ලබමින් විකාශනය වෙන්නේ.
ධනු විජේරත්න