කොහේ ගියත් මාව දැන හඳුනගෙන ප්‍රතිචාර දක්වන පිරිසක් ඉන්නවා
ගායන තරුවක් ලෙස කලා ක්ෂේත්රයට එකතු වී ප්‍රේක්ෂක ආකර්ෂණය අවධානය බෙහෙවින් දිනාගත් චරිතයක් වූ රන්දික විජේනායක අද වන විට රංගන ශිල්පියෙක් ලෙසත් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් සිටිනවා. ඒ නිසාම ඔහු ගැන කතා කරන්නට මෙවර සඳැල්ලෙන් ඉඩක් වෙන් කෙරෙනවා.
දෙවනි ඉනිමට අලුතින් එකතුවුණු මේ මයුර කව්ද?
මයුර කියන්නෙ දෙවනි ඉනිමෙ දෙව්මිට ප්‍රපෝස් කරපු අලුත්ම චරිතය. මේ දිනවල ඉතින් ඒ වෙනුවෙන් මම රංගනයෙන් දායකවෙලා ඉන්නවා. ඒ චරිතය තුළින් ඉදිරියේදී වෙනස් විදියෙ රංගනයක් දැකගන්න ලැබෙයි.
ගායකයෙක් විදියට ක්ෂේත්රයට ආපු රන්දික විජේනායක නළුවෙක් වුණේ කොහොමද?
නළුවෙක් වෙලා කියන්නෙ ඉතින් තවම ඒ පිළිබඳ ඉගෙනගනිමින් ඉන්නෙනම්. තවම නළු ජීවිතයට අලුත්. මොකද මම මේ ක්ෂේත්රයට එන්නෙ ගායකයෙක් විදියටනෙ. ඉතින් මගෙ වැඩි නැඹුරුව තියෙන්නෙ සංගීතයට, නමුත් හිතපු නැති විදියට මට රංගන ක්ෂේත්රයට අවතීර්ණ වෙන්න අවස්ථාවක් ලැබුණා. ඒ ලැබුණු අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන වැඩ කරගෙන යනවා. මේ වෙද්දි ලැබෙන ප්‍රතිචාර නම් ඉතා හොඳයි.
රංගනයට අවතීර්ණ වෙන්න මුලින්ම අවස්ථාව ලැබෙන්නෙ කොහොමද?
දෙරණ Dream Star රියැලිටි තරගයට මම 2019 වසරෙදි සම්බන්ධ වුණේ. 2020 වසර දක්වා ඒ තරගය පැවැත්වුණා. ඒ තරගයෙන් පස්සෙ තමයි දෙරණ ආයතනයෙන් ආරාධනාවක් ලැබුණෙ රංගනයට සම්බන්ධ වෙන්න.
ඇත්තටම මුලින්ම නම් මම කැමති වුණේ නැහැ රංගනයට එකතුවෙන්න. මොකද මට ඒ පිළිබඳ ලොකු අත්දැකීමක් නැති නිසා. නමුත් මට කිහිපදෙනෙක්ම කියපු දෙයක් තමයි මේ අවස්ථාව අරගෙන බලන්න කියලා. පස්සෙ මමත් මේ පිළිබඳ පොඩි අධ්‍යයනයක් කරලා වැඩේ භාරගත්තා කොහොම හරි කරන්න. ඒ වගේම මට මාස දෙකක් වගේ කාලයක් දුන්නා රංගනය ගැන අධ්‍යනයක යෙදෙන්නත්. ඒ රංගනයත්, කතාවත් ටිකක් වෙනස්.
දේශාන් රාජපක්ෂ කියලා පරිසරවේදියෙක්ගෙ චරිතයක් තමයි කරන්න තිබුණෙ. ඒ පරිසර විනාශයට විරුද්ධව සටන් කරන චරිතයක්. ඒ ඇතුළතින් ආදර කතාවකුත් යනවා. නාට්‍ය කොටස් 50 ක නිර්මාණයක්. තුෂාර තෙන්නකෝන් අධ්යක්ෂවරයාගේ එතුමා ලොකු සහයෝගයක් ලබාදුන්නා මට මේ වැඩ කටයුත්ත හොඳින් කරගෙන යන්න. ඉතින් ඒ ලැබුණු මුල්ම අවස්ථාව භාරගෙන පුළුවන් විදියට කරගෙන ගියා. විශේෂයෙන් මතක් කරන්න ඕනැ අධ්යක්ෂවරයාගෙන් වගේම ඒ වෙනුවෙන් සම්බන්ධ වෙලා හිටපු නාට්‍ය කණ්ඩායමෙනුත් ඉතා හොඳ සහයෝගයක් ලැබුණා මගේ රංගනය හොඳින් කරගෙන යන්න. එහි රූගත කිරීම් සිදුවුණේ රිවස්ටන් වගේ දුර ඈත ප්‍රදේශවල. අපි එහි නැවතිලාත් හිටියා. ඉතින් හරිම විනෝදෙන් ගතවුණු කාලයක්. නාට්‍යය විකාශයත් එක්ක බොහෝ පිරිසක් නරඹලාත් තිබුණා. ඒ වගේම අපේ චරිතවලටත් හොඳ ප්‍රතිචාර ලැබුණා.
මීට පෙර රංගනය පිළිබඳ අත්දැකීමක් තිබිලම නැද්ද?
පාසල් වේදිකාවෙ පොඩි පොඩි අත්දැකීම් තිබිලා තියෙනවා. මම කළුතර විද්‍යාලයටත් එතැනින් පසුව කොළඹ රාජකීය විද්‍යාලයටත් තමයි පාසල් ගියේ. කොළඹ රාජකීය විද්‍යාලයේ ඉද්දි රත්නා ලාලනී ගුරුතුමිය යටතේ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. නමුත් මම වැඩි දායකත්වය ලබා දුන්නෙ නම් සංගීතය පැත්තට තමයි.
දැන් වැඩි ප්‍රතිචාර තියෙන්නෙ නළුවාටද? ගායකයාටද?
ඇත්තටම මේ දෙකටම ප්‍රතිචාර තියෙනවා. මේ වෙද්දි නම් ගායනයට කැමති පිරිසක් වගේම රංගනයට කැමති පිරිසක් වෙන් වශයෙන් ඉන්නවා. කොහේ ගියත් මාව දැන හඳුනගෙන ප්‍රතිචාර දක්වන පිරිසක් ඉන්නවා. ඇත්තටම ඒ ගැන නම් ලොකු සතුටක් තියෙනවා. මොකද මම මේ අංශ දෙකටම කැමතියි සහ ආදරෙයි. ඉතින් අපිත් කැපකිරීමකින් මේ කරන වැඩ කටයුත්ත වෙනුවෙන් ප්‍රතිචාර ලැබෙද්දි ගොඩක් සතුටුයි.
කලා ක්ෂේත්රයට පිවිසීම හීනයක් වෙලා තිබුණද?
ඇත්තටම එහෙම ලොකු හීන සැලසුම් තිබුණෙ නැහැ. නමුත් පුංචි කාලෙ ඉඳන් මට ඒ දක්ෂතා තිබුණා. ඒ දක්ෂතා පාසල් වේදිකාවෙ එළිදක්වලා තිබුණත් ප්‍රසිද්ධ වේදිකාවට ගෙනල්ලා නැහැ. ඉතින් මට හිතුණා මගේ දක්ෂතාවලට Dream Star වේදිකාව හොඳ තැනක් වෙයි කියලා.
ඒ නිසා Dream Star තරගයට අයදුම් කරන්න හිතුණා. මමත් මගේ යාළුවෙකුත් තමයි අයදුම් කළේ. නමුත් මේ තුළින් ඉදිරියට යන්න ඕනෑ ජයග්‍රහණය කරන්න ඕනෑ කියලා නම් හීනයක් තිබුණෙ නැහැ. ඒත් නොහිතපු විදියට තරගාවලිය හරහා ඉදිරියට ඇවිල්ලා අහම්බෙන් වගේ තමයි ජීවිතේ මේ තත්වය මට ලබාගන්න හැකිවුණේ. ඉතින් අද වෙද්දි මාව දන්න හඳුනන පිරිසක් ඉන්නවා. ඒ අයගෙන් ලොකු ආදරයක් ප්‍රතිචාරයක් ලැබෙනවා. ඒ හැමදේම ලොකු වාසනාවක් විදියට තමයි මම දකින්නෙ.
කලාව වෘත්තිය විදියටද කරන්නෙ?
කලා ක්ෂේත්රයට ඇත්තටම මම ගොඩක් කැමතියි. ඒ නිසා තමයි මේ ක්ෂේත්රය තුළ රැඳිලා ඉන්නෙ. නමුත් මෙය වෘත්තිය වශයෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන දේ පසුගිය කාල සීමාව තුළ තේරුම් ගියා. නමුත් පුංචි කාලෙ ඉඳන් ඇඟේ තියෙන සහ ගොඩක් ආදරේ කරන මේ කලාවත් එක්ක මේ වනතෙක් ඇලී ගැලීගෙන ඉන්නවා අමාරුවෙන් හරි. ඉතින් ඉදිරි තත්ත්වය එක්ක කොහොමද මෙහි රැඳී ඉන්නෙ කියන දේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා. රට මොන තත්ත්වයෙන්ද තියෙන්නෙ කියන දේ අනුව තමයි මෙය වෘත්තිය විදියට කරන්න පුළුවන් වෙයිද කියලා හිතන්න වෙන්නෙ. අපිටත් තවම එක තීරණයක් නැහැ මොකද්ද කරන්න ඕනෑ කියන දේ.
මගෙ උසස් අධ්‍යාපන කටයුතු උපාධියෙ වැඩ ටික අවසන් කරලා තියෙනවා මේ වෙද්දි. තවත් ඉදිරියට උසස් අධ්‍යාපනය සඳහා ලංකාවෙන් පිට යනවද? නැත්තම් කලා ක්ෂේත්‍රයත් එක්ක ඉන්නවද කියන දේ ගැන තව ටිකක් බලන්න ඕනෑ.
ධනු විජේරත්න