කොහොමටත් මගේ නිර්මාණවලින් අලුත් මුහුණු එළියට ආවා
වෙද හාමිනේ, වෙස්මුහුණු, දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා, රැජණ, සතර දෙනෙක් සෙන්පතියෝ ඇතුළු ටෙලි තිරයට වෙනස්ම ආකාරයේ නිර්මාණ හයක් දායාද කළ ප්‍රවීණ නිර්මාණවේදී ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම ටෙලි නිර්මාණය වන ‘නන්නත්තාර’ පසුගියදා සිට විකාශය වීම ඇරඹිණි. ස්වකීය නිර්මාණ කලාව ඔස්සේ විවිධ විෂයයන් ස්පර්ශ කළ ජයන්ත චන්ද්‍රසිරි ප්‍රවීනයා, මෙවර නන්නත්තාර හැදුවේ කොහොමද? අද අපට ඔහු ඒ ගැන කියාවි.
මුලින්ම අපට කියන්න පුළුවන් ද ඇයි මේ වගේ නමක් දැම්මෙ කියලා? නන්නත්තාර? මොකද මේ?
මගේ සෑම කෘතියකටම නම දාන්නේ ඒකෙ සාරාර්ථය ප්‍රකාශයට පත්වෙන විදියටයි. ඕනෑම කෘතියක හරය ඉදිරිපත් වන විදියටයි. ඉතින් ඒ නිසා මේ කලා කෘතියේ සාරාර්ථය ප්‍රකාශ වෙන නමක්. මේ තියෙන අපි අත්විඳින සමාජ ආර්ථික ස්වභාවය එක්ක යථාර්ථය මතුවන කතාවක්.
නන්නත්තාර කියලා බොහෝ දෙනා කියනවනෙ. අපි නන්නත්තාර වෙලා කියලා? මේකෙ තේරුම මොකක්ද?
සම්භාව්‍ය හෝ සාමාන්‍ය සාහිත්‍යයේ දී අපට හමුවන නමක් නෙවෙයි. ඒත් මේ වචනය අපේ ගැමි හෝ අද වන විට නාගරික වහරට අනුව ඒ දෙකටම සම්මිශ්‍රණය වී භාවිතා වෙන වචනයක්. නන්නත්තාර, වචනයෙන් කියැවෙන ප්‍රධාන අර්ථ කීපයක් තියෙනවා. එයින් එකක් තමයි අපි හරියට අතරමං වෙලා, අනාත වෙලා වගේ කියන තේරුම. මේ නිර්මාණයට නම තැබුවෙත් ඒ අදහසට අනුවයි. කොහොමටත් සමාජයේ තියෙන්නෙත් ඒ වගේ ස්වභාවයක්නෙ.
එහෙම නම් අපට කියන්න ඔබ නන්නත්තාර හදපු විදිය? මේකෙ අලුත් මුහුණක් අපට හමුවෙනවා?
කොහොමටත් මගේ නිර්මාණවලින් අලුත් මුහුණු එළියට ආවා. ඒ හැරත් චරිතයට වඩාත් ගැලපෙන මුහුණු තමයි මම තෝරා ගත්තෙ. ඒ වගේම රූපණයේදී විශේෂයෙන්ම සියලු ප්‍රකාශන ශක්තීන් ලබා දේවි යන විශ්වාසයෙන්. එතැනදී මට ප්‍රවීන ද ආධුනික ද කියන එක භේද වුණේ නැත්තෙ. ඒ නවක හෝ ප්‍රවීණයාගෙන් ගතයුතු රංගනය උකහා ගැනීම නිසයි. මෙවර වින්ද්‍යා දෙගල්දොරුව හඳුන්වා දුන්නෙත් ඒ විදියටයි. කැමරා ටෙස්ට් එකක් වගේම, සම්මුඛ පරික්ෂණයක් කරලා තමයි මම ඇයව තෝරා ගත්තෙ. ඇය ඇයට ලබා දුන් චරිතය කරාවි කියලා මම විශ්වාස කළා වගේම ඇය එය ඉතා හොඳින් කළා. නළු නිළියන් තෝරා ගැනීම ඒ තරම් අපහසු නොවුණේ අද කෙනෙකු හඳුනා ගැනීමේ මාධ්‍ය ඉතා පුළුල් වී තිබෙන නිසයි.
නන්නත්තාර කිරීමට බලපෑ ප්‍රධාන හේතුව
මම මේ නාට්‍ය හැදුවෙ NSBM (හරිත සරසවියේ) ආරාධනය පරිදියි. එසේ නොවන්නට නැවත ටෙලිනාට්‍ය කරන්නෙ නැහැ කියන අදහසේ මම හිටියෙ. නමුත් මම ඉතා ගරු කරන තැනක් හැටියට හරිත සරසවිය නම් කරන්න පුළුවනි. එහි උපකුලපති තැන්පත් ඊ.ඒ. වීරසිංහ මහතා තමයි මට නිර්මාණයක් කිරීමට ආරාධනා කළේ. ඒ ආරාධනාව මට ප්‍රතික්ෂේප කරන්න බැරි වුණා. ඒ අනුව මම ඒ කටයුත්තට අත ගැසුවා. හොඳ යහපත් කලා කෘතියක් ලංකාවට ලබාදීම එයාලගෙ අරමුණ වුණා. මා අතින් හොඳ නිර්මාණයක් කරවීමේ අදහස තිබුණෙ. ඒ හැර කතාව හෝ වෙනත් කිසිදු බලපෑමක් එයාලා කළේ නැහැ. ඒ වගේම තවත් දෙයක් කියන්නට ඕනැ. අපේ හිතාදර නිර්මාණවේදී සුදත් රෝහණයන්, අයි ටී එන් සභාපතිව සිටියදී හොඳ ටෙලි නිර්මාණ කරන්න කියලා නිර්මාණකරුවන් කැඳවා විවෘත ආරාධනාවක් කළා. මම ඒකටත් ගියේ අනෙක් අයට උදවු කරන්න. ඒත් එතුමා එදා මගෙන් ඉල්ලීමක් කළා. එ්කත් මගේ හිතේ තිබුණා. ඒ නිසා නිෂ්පාදන ආයතනයත්, ප්‍රදර්ශනයට අයි.ටී.එන්. තිබීම නිසාත් ඔළුවට අනවශ්‍ය බරක් නැතුව මේ නිර්මාණය කිරීමට මම පෙළැඹුණා.
ලොකේෂන් තෝරාගත්ත විදිය?
නන්නත්තාර, රූගත කළේ ප්‍රධාන ලොකේෂන් 4 ක එයින් ප්‍රධානම තැනක් වුණේ ගාල්ලෙ, වංචාවල. ඉතාම සුන්දර ගම්මානයක්. විශාල වතුයායක කළේ. ඊළඟට තවත් ගාල්ලෙම සුන්දර ස්ථානයක් වන වටවල වතුයාය තෝරා ගත්තෙ. එහි අධිපතිතුමා මට හරියට උදවු කළා. ඊළඟට NSBM (හරිත සරසවිය) ඒ තරම් ලස්සන පරිශ්‍රයක් මම ලංකාවේ දැකලා නැති තරම්. එච්චරම හරිත සරසවිය ලස්සනයි. එතැනට අමතරව කොළඹ ස්ථාන කීපයකදී රූගත කිරීම් සිදුකළා.
පළමු කොටස් පෙළ කරලා ඉවර වෙද්දි අසනීප වීම. මාසයක් ඇල්පිටිය රෝහලේ තවත් මාසයක් අයි.ඩී.එච්. රෝහලේ
ඒ විදියට පටන් අරගෙන රූගත කිරීම් කරගෙන යද්දී පළමු කොටස් කීපය රූගත කරලා ඉවර වෙනවත් එක්කම මම අසනීප වුණා. ඒක තමයි අමතක කරන්නට බැරි සිදුවීම. මගේ පාදයට විෂබීජයක් ගිහින් වූ ඒ අසනීප තත්වය හමුවේ මාසයක් විතර ප්‍රතිකාර ගන්න සිදුවුණා. ඇල්පිටියෙ රෝහලේ නේවාසිකව මාසයක් ප්‍රතිකාර ගනිමින් සිටියේ මගේ ඉතා සමීප මිත්‍රයකු වන වෛද්‍යවරයකු නිසයි. වෛද්‍ය නිලංග මාව ඉතාම හොඳට බලා ගත්තා. ඔහු තමයි මගේ ජීවිතය එදා බේරා ගත්තෙ. කොහොම හරි සුවවෙලා ගෙදර ආවා. ඇවිත් පහුවදා කොරෝනා හැදුණා. ඒ නිසා ආයෙමත් අයි.ඩී.එච්. රෝහලේ නේවාසිකව මාසයක් විතර ප්‍රතිකාර ලැබුවා. ‘නන්නත්තාර’ රූගත කිරීම් අතරේ මාස දෙකක් ඒ විදියට ඉතාම දුෂ්කර කාල පරිච්ඡේදයකට මම මුහුණ දුන්නෙ.
රූගත කළ විදිය
මේ ටෙලිනාට්‍ය මම රූගත කළේ සාමාන්‍ය ටෙලි නාට්‍යයක් රූගත කළ විදියට නෙවෙයි. චිත්‍රපටයක් රූගත කරන ආකාරයෙන් කිව්වොත් නිවැරදියි. සිනමා ස්වභාවයක් මෙහි තිබෙන්නෙ. එහෙම වුණාම ටෙලි නාට්‍යයක් කරනවාට වඩා විශාල ශ්‍රමයක්, කැපකිරීමක් කරන්න වෙනවා. ඒ අසීරු කටයුත්ත අපට ජයගන්න ලැබුණෙ අධික වෙහෙසකින් පසුවයි. මෙහි කොටස් 50 යි තියෙන්නෙ.
දුෂ්කරම වූ තැන්
නන්නත්තාර කරද්දි අපට වඩාත් දුෂ්කර වුණේ ගාල්ලෙ වටවල වතුයායේ සිට රූගත කිරීම් කරද්දියි. නිරන්තරයෙන් ඇදහැලුණු වැස්ස වගේම කූඩැල්ලන් නිසා හරිම අපහසුතාවයකට මුහුණ දුන්නෙ. කොහොමටත් ලස්සන තැන් හමුවන්නෙම දුෂ්කර ගමනාන්තයකින් පසුවනෙ. ගාල්ල, වටවල වතුයායත් ඒ වගේ අතිශය රමණීය තැනක්. ඒ තැනට යාම වඩාත් දුෂ්කරයි. ඒත් අපි හිතන්නෙ දුෂ්කරතා ගැන නොවෙයිනෙ. සෞන්දර්යාත්මකව අපේ කෘතියට ගැලපෙන පරිසරය තමයි අපි බලන්නෙ. කොහොම වුණත් වටවල වතුයායේ සිට කළ රූගත කිරීම් වෙනුවෙන් එදා ගාල්ලෙ නවාතැන් ගෙන සිටි ස්ථානයේ සිට කණ්ඩායමට සැමදාම උදෑසන කිලෝමීටර 16 ක් විතර ලොකේෂන් එකට එන්න සිදුවුණා. කණ්ඩායමක් හැටියට හැමෝගෙම කැපවීමේ ධාරිතාවය මත නන්නත්තාර නාට්‍ය නිර්මාණය නන්නත්තාර නොවී නිම කිරීමට අපට හැකිවුණා.
මේ විදියට කළ ‘නන්නත්තාර’ ප්රේක්ෂකයකු ලෙස ඔබට දැනෙන්නෙ කොහොමද?
තවම විකාශය පටන් ගත්තා විතරනෙ. ඒත් මම මෙහෙම කියන්නම්. නිර්මාණයක් කළ පසු මට දැනුණෙ ලොකු තෘප්තියක්. සංස්කරණය කරලා ඉවර වෙලා බලද්දි, මගේ නෙවෙයි මේක කියලා හිතාගෙන නරඹද්දි ඇත්තටම මට ඇතිවුණේ ලොකු සතුටක්. සමහර තැන් බලද්දි මම මෙහෙමත් කළා ද කියන විශ්මය ගෙන දුන්නෙ. ඒ නිසා ඇත්තෙන්ම මම තෘප්තිමත්.
සංගීතය
මේ නාට්‍යයේ සංගීතය කළේ නිර්මාණය රූගත කිරීමට පෙරදියි. එනම් ගීත සහ පසුබිම් සංගීතය පටිගත කළේ රූගත කිරීම්වලට පෙරදියි. අපේ රටේ සිටින විශිෂ්ටයකු වන නවරත්න ගමගේ සංගීතඥයාට ඒක ලොකු අභියෝගයක් වුණා. මොකද එයාට මම කතාව කියලා පහදා දුන්නා. දවස් ගණන් වරු ගණන් අපි දෙන්නා ඒ ගැන කතා කරලා තමයි අපි රූගත කිරීම්වලට ගියේ. ගරිල්ලා මාකටිංවලදිත් මම කේමදාස ශූරීන් ලව්වා ඒ විදියට කර ගත්තා. මෙතැනදී නන්නත්තාර කරන්න මම ගියේ නවරත්න ගමගේ විශිෂ්ටයා කළ සංගීත ‘නවරත්නයක්’ අරගෙන කිව්වොත් හරි. ‘අමල් පෙරේරා’ ගයන ලස්සන ගීතයක් සහ තවත් ශිල්පීන් තිදෙනෙකුගේ ගීත ඇතුළත්. ඉතින් හැමෝටම මම ආරාධනා කරනවා.
සඳුන් ගමගේ