’කවුරු කොහොම කිව්වද ප්‍රේමය ප්‍රේමයමයි, ඒ වචන ටිකට කට්ටිය මාර ආසයි - හරිත් විජේරත්න
ඔබ හිඳිනා තැන දැනුණේ ප්‍රේමයමයි
හඬ ඇසෙනා තැන තිබුණේ ප්‍රේමයමයි
අපි ඉන්නා තැන උන්නේ අපි විතරයි
හිතට දැනුණ තැන නවතිමු ප්‍රේමය එතැනයි
කවුරු කොහොම කිව්වද ප්‍රේමය ප්‍රේමයමයි
මේ හරිත්ගේ පළමු ගීතයයි. ඒක ටිකක් වෙනස් විදිහේ ගීතයක් වගේම වෙනස් විදියේ රූප රචනයක්?
ඔව්... මේ මාගේ පළමු ගීතයයි. අපි මේ ගීතය නම් කළේ “පුදසුන” කියලයි. මේ ගීතය ගොඩ නැගෙන්නේ මල්කි විජේමාන්න අක්කා හරහායි. ඇගේ පදරචනාවකට අනුව නිර්මාණය වුණු ගීතයක්. මේ ගීතයෙ පද රචනාව මෙන්ම රූප සංකල්පය කළෙත් මල්කි විජේමාන්න අක්කායි. තනු නිර්මාණය කළේ මමයි. සංගීත සංකල්පය උවිඳු දියමුල්ලයි. මියුසික් වීඩියෝව අධ්‍යක්ෂණය කළේ චාරුක දුෂ්‍යන්ත. ඒ වගේම මේ වීඩියෝවේ අපූරු නර්තනය නිර්මාණ කළේ ගයාන් ශ්‍රීමාල් අයියයි.
ගීතයේ පද රචනාව හරිත් අතට ලැබුණේ කොහොමද?
මම සහභාගි වුණ 'වොයිස්' තරගාවලියට පෙර මේ ගීතය සංගීතය සංකලනය කළ උවිඳු දියමුල්ල මල්ලි මට මේ සංගීත පථය (music track) ලබලා දීලා “අයියට හොඳයි කියලා හිතනවානම් මේකෙන් වැඩක් ගන්න” කියලා කිව්වා. තරගය ජයග්‍රහණය කළාට පසුව ඇවිත් සංගීත පථ මොනව හරි තියෙනවද කියලා අහද්දී මම මේ සංගීත පථය මල්කි අක්කට දුන්නා. ඒත් සමඟම මම තනුවකුත් ලබලා දුන්නා. ටික දවසකට පස්සෙ මල්කි අක්කා ඒකට ලස්සන වචන ටිකක් එකතු කරලා මට ලබලා දුන්නා. ඒ විදිහට තමයි මේ ගීතය නිර්මාණය වුණේ.
කවුරු කොහොම කිව්වද ප්‍රේමය ප්‍රේමයමයි.... කවුද මේ ගීතයේ සාර්ථකත්වය පිටුපස ඉන්නේ?
ඔව් මේ වීඩියෝ සංකල්පය මල්කි විජේමාන්න අක්කගේ නිර්මාණයක්. මේක නිර්මාණය වෙන්නට කලින් අපි ඒ සම්බන්ධව මේ ක්ෂේත්‍ර යේ වගේම අපිට වෙනස්ම සමීප කිහිපදෙනෙක් එක්ක ඒ ගැන කතා කළා. චන්න දේශප්‍රිය, රොහාන් පෙරේරා, තනුජා ජයවර්ධන, තිසර ඉඹුලාන, මීෂා ගුණවර්ධන, වැනි ප්‍රවීණයන් එක්ක අපි මේ ගැන කතා කළා. ඔවුන්ගේ අදහස් එකතු කරගත්තා. ඒ අනුව තමයි මල්කි අක්කගේ සංකල්පයකට මෙම වීඩියෝව නිර්මාණය වුණේ.
ගීතයට සහ වීඩියෝවට ලැබෙන ප්‍රතිචාර ගැන අද හරිත්ට මොකද හිතෙන්නේ
ඇත්තටම ගොඩාක් සතුටුයි. ඒක ගැන කියන්න ඇත්තටම මට වචන නැති තරම්. මම හිතුවාටත් වඩා හොඳ ප්‍රතිචාර ගීතයට වගේම වීඩියෝවට ලැබුණා. තවමත් ලැබෙමින් පවතිනවා. මේ ගීතය අන්තර්ජාලයට මුදා හැරලා දින දෙක තුනක් ඇතුළත ඉතා විශාල ප්‍රේක්ෂක පිරිසක් වීඩියෝව නරඹලා තිබුණා. කවුරු කොහොම කිව්වද ‘ප්‍රේම ප්‍රේමයමයි’ කියන මල්කි අක්කගේ අදහස ගොඩක් අය අගය කළා. ඒ නිසා ඇත්තටම ගීතයට ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ගීතය නරඹපු, ගීතයේ හොඳ නරක කියපු හැමෝටම ගොඩක් ස්තූති කරනවා.
මේ දවස්වල ඔබ මොනවද කරන්නේ?
මම වෛද්‍ය විද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබනවා. ඒ අනුව මේ දිනවල දකුණු කොළඹ ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු ලෙසින් පුහුණුවීමේ යෙදෙනවා. ඊට අමතරව සංගීත වැඩකටයුතුත් කරගෙන යනවා. මේ දිනවල ප්‍රසංග කිහිපයකටම ආරාධනා ලැබුණා. ඉගෙනීමේ කටයුතුත්, සංගීත කටයුතුත්, සමබරව කරගෙන යනවා. තරගයට සහභාගි වෙද්දීවත් මම මගේ ඉගෙනුම් කටයුතු අතපසු කරගන්නේ නැහැ.
හරිත් බොහෝ දරුවන්ගේ ළමා කාලයේදී තියෙන බලාපොරොත්තුව ‘ලොකු වුණාම දොස්තර කෙනෙක්’ වෙන්නයි. ඒ හීනය ළමා කාලයේදී ඔබේ හිතෙත් තිබුණාද?
ඔව්. මම පුංචි කාලේ ඉඳන් ‘ඩොක්ටර්’ කෙනෙක් වෙන්න ආසා කළා. ඒ නිසා උසස් පෙළට ජීව විද්‍යාවෙන් ඉගෙන ගත්තා. කොහොම හරි මගේ ඒ හීනයත් මට හැබෑ කරගන්න පුළුවන් වුණා. පුංචි කාලේ ඉඳන් මම සංගීතයටත් හරි ආසයි. මගේ ඇඟ ඇතුළේ ‘'ගායකයෙක්’ ඉන්නවා කියලා මුලින්ම මගේ පවුලේ අය තමයි හඳුනා ගත්තේ. පුංචි කලේදී නෑදෑයින් එකට එකතු වෙද්දීත් ‘හරිත් සිංදුවක් කියන්න පුතා.’ කියලා මාව ඉස්සරහට යොමු කළා. ඉතින් මමත් ආසාවෙන් සිංදු කිව්වා. මම ඉගෙන ගත්තේ කොළඹ රාජකීය විදුහලෙයි. පාසැලේ ප්‍රසංගවලදී අත්වැල් ගායනයන්ට මුලින්ම මම සම්බන්ධ වුණා. ඒ හරහා මම බොහෝ දේවල් ඉගෙන ගත්තා. කාලයක් ගියාට පසුව පාසැලේදී මම ඒකල ගායනයට සම්බන්ධ වුණා. විශ්ව විද්‍යාලයට ආවට පස්සේ ඒ ගායනය මම දිගටම පවත්වාගෙන ආවා. ඒ ජීවිතයත් හරි සුන්දරයි. මේ වෙද්දී මම දෙවැනි ගීතයටත් සූදානමින් ඉන්නේ. ඒකත් වෙනස් විදිහේ ගීත නිර්මාණයක්.
I දිශානි
සේයාරූ- සුමුදු හේවාපතිරණ