කවිය ඔබ,
අහසයි ඔබ මට,
නිල් මහනෙලක්.
සුදු හංසිනි
මේ කිසිවක් ඇයට කියන නම් නොවේ. ඇය ගයන ගීතයන්ය. එහෙත් ඇවැසි නම් නිල් මහනෙලක්, සුදු හංසිනී වැනි සොඳුරු නමකින් ඇය ඇමතිය හැකිය. ඒ උපමා ඇයට මොනවට ගැලපෙන බැවිනි. වසර කිහිපයක දරුණු නිහැඬියාව බිඳිමින් ඇය යළිත් ගී ගයන්නීය. ප්‍රසංග වේදිකාව ඇගේ සොඳුරු රුවින්ද, මියුරු හඬින්ද යළිත් පිරෙන්නට පටන් ගෙනය. ඉතින් මේ මොහොත ඇය සමග කතා කරන්නට හොඳම මොහොත නොවන්නේද? ඇය දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ය.
පහුගිය අවුරුද්දක් දෙකක්ම ඔබ හිටියෙ හැංගිලා? කතාකරපු කිසිම මොහොතක ඔබ දුරකතනයටවත් පිළිතුරු දුන්නෙ නැහැ.
“ඇත්ත. මම වසර දෙක තුනක්ම නිහඬව හිටියා තමා. ප්‍රධාන හේතුව වුණේ මගේ දරු පැටව් දෙන්නා. මව්වත් ගුණය තියෙන අම්මා කෙනෙක් විදිහට මට මගේ මුළු කාලයම මගේ දරු පැටව් දෙන්නා වෙනුවෙන් කැපකරන්න සිදුවුණා. ඒවගේම මගේ ආදරණීය අම්මා වෙනුවෙනුත් මගේ කාලය කැපකරන්න සිදුවුණා. ඒ සියල්ල සමග ප්‍රසංගවල ගී ගැයීම විතරක් නෙවෙයි මගේ සංගීත ශාලිකාවෙ ඉගැන්වීම් පවා නතර කරන්න සිදුවුණා. ’‘
නමුත් පහුගිය දවස්වල ඔබ නැවතත් ප්‍රසංග වේදිකාවට ගොඩවුණා ?
ලංකාවෙ විවිධ ප්‍රදේශවල ගෘහස්ත ප්‍රසංග කිහිපයකම ගී ගයන්න ආරාධනා ලැබුණා. ළඟදි බී. එම්. අයි. සී. එච්. ශාලාවෙ ‘ආවර්ජනා’ කියලා ලස්සන ප්‍රසංගයක් තිබ්බා. ඒක බලන්න රසිකයො අතුරු සිදුරු නැතිව පිරී සිටියා. සමහරු ඉඩ නැතිව කනගාටුවෙන් ආපසු ගිහින් තිබ්බා. මට පුදුමයි ඒවගේම සතුටුයි තවමත් රසිකයො අප වටා ඉන්නවා. රටේ මොන ප්‍රශ්න තිබ්බත් රසිකයො අපහසුකම් දරාගෙන ගී අහන්න එනවා. ඉතිං දුකින් තැවෙන ඔවුන්ගෙ හිත් නිවාගන්න ගී ගැයීම අපේ යුතුකමක්.
ඒ රසිකයන් ඉල්ලන්නෙ ඔබේ අලුත් ගීතද නැතිනම් පැරැණි ගීතද?
පැරැණි ගීත. මගේ පැරැණි ගීත රසිකයන් ආදරයෙන් වැළඳගෙන ඉන්නවා. ඒකට හේතුවක් තියෙනවා. ඒ ගී රේඩියෝ නාලිකා වලින් නිතර ඇහුණු ගී. සංගත තැටි වලින් රසිකයො නිතර නිතර අහපු ගී. ඒ නිසා මගේ පැරැණි ගී වලට තියෙන රසික ඉල්ලුම අති විශාලයි. ප්‍රසංග ශාලාවකට ඇවිත් මගේ ඒ ගීතාවලියෙ මිහිර විඳීම ඔවුන්ට සතුටක්.
ඒ රසික ඉල්ලුම අලුත් ගී වලට නැත්තෙ ඇයි?
ඒකට පිළිතුර කලින් පිළිතුරේම අනිත් පැත්ත. අපි කොයිතරම් අලුත් සිංදු කළත් ඒ ගී රසිකයන් අතරට යවන්න විදිහක් නැහැ. අලුත් ගීතයක් කළාම මුහුණු පොතට නැත්නම් යූ ටියුබ් දානවා විතරයි. ඒ මිස රේඩියෝ චැනල් වලින් මේ අලුත් ගී ප්‍රචාරය වෙන්නෙ නැහැ. එතකොට රසිකයන් වෙත ඒ අලුත් ගිී යන්නෙ නැහැ.
පහුගිය දවස්වල අතුල ජයදේව ලියපු ගීත දෙකක්ම ගායනා කළා. ඒ ගී දෙකම ඉතා විශිෂ්ට නිර්මාණ. මල කොතැන පිපුනම මොකද සහ ‘ඉරක් නැති විට ඉරක් වී සඳක් මත සිටියා’ කියන ගී. ඒවගේම ‘රිදී දෝලිය නංගියේ’ කියලා තවත් ගීතයක් ගායනා කළා. ඒත් ඒ එකක්වත් රේඩියෝවල යන්නෙ නැහැ. ”
ඒ වෙනුවෙන් විකල්පයක් ගැන හිතුවෙ නැද්ද?
කරන්න තියෙන එකම දේ ‘ෆෑන් පේජ්’ එකක් විතරයි. ඒ නිසා මම ඒ දේ කළා. මගෙ අලුත් ගීත ඒ හරහා රසිකයන්ට දුන්නා. ඒවගේම මගේ ගීත ගැන සංවාද, මම ලියන කවි, ආදිය මේ හරහා රසිකයන්ට දෙනවා. විශාල රසික පිරිසක් මේ හරහා මා සමග සම්බන්ධ වෙලා ඉන්නවා.
අද අලුතින් ගායක ගායිකාවො රැසක් බිහිවෙලා ඉන්නවා. නමුත් ප්‍රසංග වේදිකාවෙදි අපි දකින්නෙ දීපිකා, ශෂිකා, නිරෝෂා, සමිතා, උරේෂා, සුනිල්, ටී. එම්, අමරසිරි, එඩ්වඩ්, දිවුල්ගනේ විතරයි ?
එයින් තේරෙන්නෙ රසිකයො තවමත් ඉන්නෙ අප වටා කියන එකයි. මගේ එෆ්.බී පේජ් එක වටා ඉන්න රසික පිරිස් දාන ‘කමෙන්ට්ස්’ වලින් වැටහෙන්නෙත් ඔවුන් තවමත් ආදරය කරන්නෙ අප ගැයූ සුභාවිත ගී වලට කියන එකයි.
මේ වෙලාවෙ ඔබ අතීතයේ කළ සංගත තැටි මතක් වෙනවත් ඇති?
සිනා පොදක් වී. සරෝජා, මල් වරුසා, නුඹට ඉන්නෙ මං විතරද?, සුදු හංසිනි මම කරපු කැසට් පට. මේ සියල්ල කළේ සිංග්ලංකා ආයතනය. මේ සංගත තැටි නිසා අලුත් , හරවත් ගුණාත්මක ගීත රැසක් බිහිවුණා. ඇත්තටම ඒ වගේ අලුත් ගීත නිර්මාණය කරන්න ආයතනයක මැදිහත්වීම නැතිව ගායකයකුට හරි ගායිකාවකට හරි තනියම අමාරුයි. මට මතකයි ඒ කාලෙ අපි ගීතයක් නිර්මාණය කරන්න වෙහෙසුනු තරම. හොඳ පද රචනා හෙව්වා. ඒ පද රචනා පවා සමහර තැන් වෙනස් කරගන්න ගිීත රචකයන් සංගීතඥයන් එක්ක පැයගණන් කතා කළා. ඔයාට මතක ඇතිනෙ ආයුබෝවන් පෙම්බරානෙනි ගීතය. එය පවා ඔයාට කියලා නැවත ලියවා ගත්තනෙ ඒවගේ තමා හැම ගීතයක්ම. රුචිර පරණවිතාන බොරලු ඇනෙන පය රිදවෙන ගීතය සමග තව ගීත සියයක් විතර එවලා තිබ්බා. නමුත් මම තෝරගත්තෙ බොරලු ඇනෙන ගීතය විතරයි. ආචාර්ය රෝහණ වීරසිංහයන් ඒ පද මාලාවට ඉතාම මිහිරි තනුවක් සංගීතයක් නිර්මාණය කළා. ඒ කාලෙ එක ගීතයක් නිර්මාණය කරන්න අපි කොච්චර නම් වෙහෙසුනාද? රෝහණ අයියලා, කුලේ අයියලා ගේ ඒ වෙහෙස නිසා තමා කල් පවතින ගීත රැසක් මට ගයන්න ලැබුණෙ.
රසිකයො අදටත් ඉල්ලන්නෙ ඒ ගීතමයි. ඒ විතරක් නෙවෙයි, එදා අපි අලුත් ගීතයක් ගැයුවාම ගුවන් විදුලියෙ නිවේදකයො නිවේදිකාවො අපෙන් ඒ අලුත් ගීත ඉල්ලනවා. තමතමන්ගෙ වැඩසටහන් වලින් ප්‍රචාරය කරන්න. ඒත් අද එහෙම ප්‍රතිචාර ලැබෙන්නෙ නැහැ. යූටියුබ් වලින් ෆේස්බුක් වලින් එකපාරට ‘විව්ස්’ පෝලිමට එනවා. ඒත් ඒ ‘විව්ස්’ ඒ වෙලාවට විතරයි. ඉන්පස්සෙ අමතකයි. ඒ නිසා අද අපි ගයන හුඟක් ගිීත මතුවෙන්නෙ නැහැ. පවතින්නෙත් නැහැ. ඒ ගැන නම් දුකක් තියෙන්නෙ.
අද ‘කවර් සොන්ග්’ කියලා ජාතියක් බිහිවෙනවා. ඒ සමහර ‘කවර් සොන්ග්ස්’, මුල් නිර්මාණ යටකරගෙන ජනප්‍රිය වෙනවා. මේ තත්වය නිසා මුල් ශිල්පීන්ට වෙන්නෙ අසාධාරණයක් කියලා සමහරු කියනවා. ඔබේ අදහස මොකක්ද?
‘කවර් සොන්ග්ස්’ බිහිවෙන්නෙ ලංකාවෙ විතරක් නෙවෙයි. ඒක ලෝකෙ පුරා සිදුවෙන දෙයක්. හැබැයි ‘කවර්ස්’ රේඩියෝවලින් ප්‍රචාරය වෙද්දි මුල් නිර්මාණකරුවන්ට අසාධාරණයක් වෙන කතාවෙනම් ඇත්තක් තියෙනවා. මොකද කවර්ස් රේඩියෝ නාලිකාවලින් ප්‍රචාරය වෙන්න ගත්තාම අලුත් රසිකයො හිතන්නෙ ඒ ගීත කවර්ස් කරපු අයගෙ කියලයි. මුල් නිර්මාණකරුවන් ගැන ඒ අය දන්නෙ නැහැ. ඒක මහන්සි වෙලා මුදල් වියදම් කරගෙන ගීත හදපු මුල් නිර්මාණ කරුවන්ට කරන බරපතල අසාධාරණයක් කියන කතාව මටත් පිළිගන්න වෙනවා.
අද ජනප්රියවෙන රියැලිටි වැඩසටහන්වලත් අලුත් තරගකාරයො තරගකාරියො ගයන්නෙ ඔබේ පරපුරේ ජනප්‍රිය වුණු ගීත. ඒ ගැන ඔබේ අදහස?
ඒක මට සතුටක්. ඒ අය අපේ ගීත ගායනා කළා කියලා දුකක් කනගාටුවක් නැහැ. ඒ ගැන මගේ විරෝධයකුත් නැහැ.
ඔබ කිව්වා ඔබේ සෞන්දර්ය ශාලිකාව යළිත් ආරම්භ කළා කියලා?
මට සෞන්දර්ය ශාලිකාව වහන්න වුණේ කොවිඩ් කාලෙ. පස්සෙ මගෙ දරුවො දෙන්න වෙනුවෙන් කාලය කැපකළ නිසා මට එය යළි පටන්ගන්න බැරිවුණා. නමුත් බොහෝ මව්පියන් ආයෙත් ශාලිකාව පටන්ගන්න කියලා කළ ඉල්ලීම් අනන්තයි. ඒ නිසාම පහුගිය මැයි මාසෙ මම සෞන්දර්ය ශාලිකාව නැවත පටන්ගත්තා. දීපශිඛා සෞන්දර්ය ශාලිකාව නමින්. එහි නවක සිසුන් බඳවා ගැනීම් ජනවාරි මාසය දක්වා සිදුවෙනවා. මේ දවස්වල අයදුම්පත් බාරගැනීම් සිදුවෙනවා. ඒ ගැන විස්තර‘[email protected]’ වෙබ් අඩවියෙන් ලබාගන්න පුළුවන්.
සියලුම වාදය භාණ්ඩ වාදනය වගේම ගායනය ගැන සියලුම දේ දක්ෂ ගුරුවරුන් යටතේ ඉගැන්වීම මගේ ශාලිකාව හරහා කරනවා.
දීපිකා ප්‍රියදර්ශනී ගෙ අලුත් තොරතුරු මොනවද කියලා රසිකයො අපෙන් අහනවා.
මගේ සැමියා චාමික හේරත්. ඔහු මේ දිනවල රැකියාව කරන්නෙ ඕස්ට්‍රේලියාවෙ. ඔහු බැංකු ක්ෂේත්රයේ වැඩකරන්නෙ. මගේ පුතාලා දෙන්නා ආෂී දම්සිත් සහ අග්‍ර අර්ජිත් සමග සතුටින් මම දවස් ගතකරනවා.
මේ පිළිසඳර නිමාකරන්න කලින් රසිකයන්ට තිලිණ කරන ඔබේ අලුත්ම නිර්මාණය මොකක්ද කියලා අහන්නද?
එකක් නෙවෙයි ගීත කිහිපයක්ම තියෙනවා එයින් පළමුවැන්න මිහිරිද මෙතරම් නමින් කසුන් කල්හාර සමඟ ගැයූ යුග ගීතය. ඒක හෙට අනිද්දාම රසික දෝතට පිරිනමනවා. අනිත් විශිෂ්ටතම ගීතය මහින්ද චන්ද්‍රසේකර ලියලා ආචාර්ය රෝහණ වීරසිංහයන් සංගීතවත් කළ. සම්බුද්ධ පරිනිර්වාණය පිළිබඳව ගැයෙන වෙනස්ම ගීතයක්. බොහෝවිට මේ වෙසක් මාසෙදි මේ ගීතය රසිකයන්ට දෙන්න හැකිවේවි.
ශාන්ත කුමාර විතාන