කවදාවත් මම සල්ලි බලාගෙන සින්දු කීවේ නෑ. - ලලිත් පොන්නම්පෙරුම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හැකියාවන් බොහොමයක් අප උපතින්ම ගෙන එනවා යැයි හැඟෙන, දැනෙන අවස්ථා එදිනෙදා ජීවිතයේ විවිධ තැන්වලදී අපට හමුවේ. ඒ බොහෝ හැකියාවන් අතර කලා හැකියාවන් පිළිබඳ අපි නිරතුරු සංවාදයට නගන්නෙමු. කිසිදු විධිමත් අධ්‍යාපනයකින් තොරව තම සහජ හැකියාව මත විශ්වාසය තබා ආ ගමනක දශක කිහිපයක් ගෙවාගෙන යමින් සිටින ගායන ශිල්පියෙකු හමුවන්න හදසර 'My story' තුළින් අපි අද සූදානම් වෙමු.

සඳට මුවා වී තනිවෙන්න එපා
හිරුට මුවා වී සැඟවෙන්න එපා
කඳුළුවලින් මා නෙත් තෙමනු එපා
ලොවට බියෙන් මා හැර යන්න එපා

80 දශකයේ මුල් යුගයේ ඇසුණු මේ ගීතයෙන් රසික සිත් ඇද බැඳගත් ඒ ගී හඬ හිමි ඔහුටය. ඔහු ගායන ශිල්පී ලලිත් පොන්නම්පෙරුමය. අද හදසර කතාබහ ඔහු සමඟය.

"මම ඉපදුණේ කොළඹ. මගේ දෙමව්පියන් බෙන්තර. මගේ පියාගෙ නම පියදාස පොන්නම්පෙරුම. අම්මා චාලට් පොන්නම්පෙරුම. මේ වනවිට මගේ මව, පියා දෙදෙනාම ජීවතුන් අතර නැහැ. මට ඉන්නෙ එකම එක සහෝදරයෙක් පමණයි. ඔහු පාලිත පොන්නම්පෙරුම. නමුත් මේ වනවිට ඔහු ඉන්නෙත් විදේශ ගතවෙලා, දැන් වසර 20ක් පමණ සිට. මම ඉගෙන ගත්තේ ඉසිපතන විද්‍යාලයේ. පාසල් යන කාලයේ ඉඳන්ම ගීත ගායනයට මගේ විශාල උනන්දුවක් හා කැමැත්තක් තිබුණා. ඒ කාලේ මම හරියට ගීත ගයනවා. විවිධ ජනප්‍රිය ගායන ශිල්පීන්ගේ ගීත ඒ අතර තිබුණා. සංගීතයට, ගායනයට ආදී ලෙස තිබූ කැමැත්ත නිසාම පාසලේ මම ගායකයෙකු ලෙස ඉදිරියෙන්ම සිටියා. මගේ විනෝදාංශය වුණේ ගීත ගායනය. එසේ වුණත් වෘත්තිමය ගායකයෙකු වන්නට මගේ බලාපොරොත්තුවක් තිබුණේ නැහැ."

පාසල් අධ්‍යාපනය හමාර වූ පසුද ඔහුගේ මේ ගීතයට සහ සංගීතයට තිබූ කැමැත්ත, ආශාව අඩුවක් වූයේ නැත. තම මිතුරු මිතුරියන් සමඟ එක්ව ඔහු හැකි විටෙක සංගීත ප්‍රසංග නැරඹීමට ගියේය.

"1980 දී තමයි මම පළමු ගීතය පටිගත කළේ. ඒ ගීතය ඇතුළත් කරලා කැසට් පටයක් එළිදැක්වූයේ 1981 වසරේදී. ඒ මා ගැයූ පළමු ගීතය. පද මාලාව, තනුව සහ සංගීතය සියල්ල ජයන්ත ගමගේ. ගීතය 'සඳට මුවා වී තනිවෙන්න එපා'. ඒ ගීතය ඇතුළත් කරලා නිකුත් කළ කැසට් පටයේ නම 'සඳට මුවා වී'. ඒ කැසට් පටයේ තිබූ මගේ ගීත කිහිපයක්ම ජනප්‍රිය වුණා. 'කඳුළු අරණක තනි වෙමී' ගීතයත් ඇතුළත් වුණේ ඒ කැසට් පටයට. ඊට පසුව කැසට් සඳහා මා ගැයූ 'දිනක අප හමුවුණා', 'සඳ තාරකා නිවා', 'ඔබේ සිනා මල් පිපී', 'අවසන් සැඳෑවයි ආදී ගීත ගායනා කළා. ඒ වගේම ක්ලැරන්ස් විජේවර්ධන නම් නිර්මාණ ශිල්පියා මට හමුවීමත් සුවිශේෂ වුණා. ඔහු ලියා සංගීතවත් කොට මා ගැයූ 'ඇසුණු ගීතිකා' ගීතය අදටත් බොහෝ දෙනා අතර ජනප්‍රියයි. 1979ත් 80ත් අතර කාලයේ, ඒ කියන්නේ කැසට් පට කරන්න ආරම්භ කළ කාලයේදීම මා ගුවන්විදුලි සරල ගී පරීක්ෂණයට පෙනී සිටියා. එම පරීක්ෂණයෙන් ඉතා ඉහළින් සමත් වුණා. ගුවන්විදුලියේ 'A' ශ්‍රේණියේ ගායකයෙකු බවට පත්වීම සැබැවින්ම මා හට ඉතා විශාල ජයග්‍රහණයක් වුණා. මේ සියල්ල එකම කාලයේ, ඒ කියන්නෙ වසරක් වැනි කාලයක් තුළ සිදු වුණා. ඒ සමඟ කලා ක්ෂේත්‍රයට මගේ පැමිණීම සිදු වුණා. ඇත්තටම කියනවා නම් මම අදටත් කියන්නෙ ගීත ගායනයට තියෙන කැමැත්ත නිසා ආවා මිසක් ගායනයෙන් මුදල් උපයන අපේක්ෂාවෙන් මා ආ ගමනක් නෙවෙයි."

 

80 දශකයේ ඇරඹුණු ඔහුගේ ගමන තුළ 80 දශකයේ මැද භාගය, එනම් 1985 වනවිට ඔහු ගායනය වෘත්තියක් බවට පත් කර ගත්තේය. 

"ඒ තමයි මගේ ජීවිතයේ ගායකයෙකු ලෙස ගත කළ හොඳම කාලය. 1995 වන තුරුම වසර 15ක පමණ කාලයක් ගායනයේදී ජනප්‍රියත්වයෙන් ඉහළින්ම රැඳෙන්න මට හැකි වුණා. ප්‍රසංග සඳහා නිරන්තරයෙන් එක් වුණා. ගීත ජනප්‍රිය වීමත් එක්ක මට රසික ආදරය වගේම මුදල් ද නොඅඩුව ලැබුණා. ඒ වසර පහළොව කියන්නෙ ඇත්තටම ඉතාම සුන්දර කාලයක්. ඒ වගේම මගේ ගීත ගුවන්විදුලියේ තමයි මුලින්ම ප්‍රචාරය වුණේ. ඒ වෙළෙඳ සේවයේ. ඒ ගෞරවය හැමදාම මගේ හිතේ තියෙනවා. ඒ කාලේ වෙනත් ගුවන්විදුලි හෝ රූපවාහිනී නාලිකා තිබුණෙ නෑනෙ. අපිට ගුවන්විදුලියෙන් ලැබුණු ඒ අත්වැල සවිමත්. අදටත් ඒ අතීතය මා ඉතා ගෞරවයෙන් ආදරයෙන් සිහි කරනවා."

ලලිත් පොන්නම්පෙරුම නම් වූ ගායකයෙකු මෙරට ගායක නාමාවලියට එක්වීමේදී ඒ වෙනුවෙන් මූලික ලෙස මැදහත් වූ අයෙකු පිළිබඳව ඉතා ආදරයෙන් ගෞරවයෙන් සිහි කළ යුතු වග ලලිත් පවසයි.

"මගේ මුල්ම කැසට් එක කළේ ඇන්ටන් මාල් කියන ව්‍යාපාරිකයා. ඔහු 70 දශකයේ සිටම කැසට් නිෂ්පාදනය කළ පුද්ගලයෙක්. ඒ දවස්වල මම හිටියේ තිඹිරිගස්යායේ. ඇන්ටන් මාව හොයාගෙන තිඹිරිගස්යායේ මගේ ගෙදරටම ආවා. ඒ ඇවිත් මාත් එක්ක කතා කළා. එහෙම කතා කර කර ඉඳලා එකපාරටම ඇහුවා ලලිත් අපි කැසට් එකක් කරමුද කියලා. මට හිතාගන්න බැරි වුණා. ඇත්තටම ඒක ඒ මොහොතේ මට මහ විශාල පුදුමයක් වුණා. මම ඒ තරම් ජනප්‍රිය කෙනෙක් නෙවෙයි. ගීත එතරම්ම තිබුණෙත් නැහැ. ඒ නිසා මම පුදුමයෙන් ඔහුගෙන් ඇහුවා "ඇන්ටන් මල්ලි, මම කැසට් එකක් කළොත් මිනිස්සු අහයිද? කැසට් ගනීවිද?" කියලා. ඊට පස්සේ තමයි ඇන්ටන් සැබෑ සිද්ධිය මට කිව්වේ. කැසට් නිෂ්පාදකයෙකු නිසාම ඇන්ටන් කැසට් අරගෙන රෙකෝඩ් බාර්වලට යනවනෙ. මෙහෙම යද්දි ගොඩක් රෙකෝඩ් බාර්වලින් අහලා තිබුණා එක්තරා ගීතයක් ගැන. ගුවන්විදුලියේ සහ අයි.ටී.එන්. එකේ ඇහුණු මේ ගීතය ගොඩක් අය පටිගත කර දෙන්න කියලා ඉල්ලුවලු. නමුත් ඔවුන්ට මේ ගීතයේ ශිල්පියා හෝ විස්තර සොයාගන්න බැරිවෙලා. එනිසා තමයි ඇන්ටන්ගෙන් මේ ගීතය සොයා දෙන්න කියලා ඉල්ලලා තිබුණෙ. ඒ ගීතය තමයි 'සඳට මුවා වී තනිවෙන්න එපා' කියන ගීතය. මගේ මුල්ම ගීතය. ඒ අනුව මේ ගීතය ගුවන්විදුලියේ ප්‍රචාරය වීම නිසාම තමයි මට ඒ අවස්ථාව ලැබුණේ. ඇන්ටන් කියන්නෙ හොඳ ඉදිරි දැක්මක් සහිත ව්‍යාපාරිකයෙක්නෙ. ඔහු ගීතය ගැන විස්තර හොයාගෙන යද්දි මා ගැන තොරතුරු ලැබිලා මාව හොයාගෙන මගේ නිවසටම ආවා. ඒ අනුව ඔහුගේ ආරාධනයත් එක්ක තමයි 'සඳට මුවා වී' නමින් වූ මගේ ප්‍රථම කැසට් පටය රසික ප්‍රජාව අතට පත්වුණේ. ගීත දහයයි කැසට් පටයට ඇතුළත් වුණේ. ඔහු ඉක්මනින්ම පටිගත කළ කැසට් රෙකෝඩ් බාර්වලට ගෙන ගියා. මාස හයයි ගියේ. කැසට් සියල්ලම අලෙවි වුණා. ඒ සමඟ තමයි මගේ ජනප්‍රියත්වය ඉහළ ගියේ. ඇන්ටන්ටත් එයින් හොඳ ආදායමක් ලැබුණා. නමුත් මට නම් මුදල් ලැබුණෙ නැහැ. හැබැයි මට මුදල් අවශ්‍ය වුණෙත් නැහැ. මොකද මුදලට වඩා වැඩි ජනප්‍රියත්වයක් මට ලැබුණා. 'සඳට මුවා වී' ගීතයේ නමින් රසිකයන් මාව ආදරයෙන් වැළඳ ගත්තා. ඇන්ටන් මේ වනවිට ජීවතුන් අතර නැහැ. මා ඔහුව අදටත් බොහොම ගෞරවයෙන් ආදරයෙන් සිහිපත් කරනවා. ඔහු එදා මට දැක්වූ ඒ අනුග්‍රහය නිසාමයි ගායකයෙකු ලෙස වඩා ස්ථාවර තැනකට යන්නට මට හැකි වුණේ.

කුමන ක්ෂේත්‍රයක ඉදිරියට ගියද ආරම්භය බොහෝ විට කටුක වීම බහුතර අත්දැකීමයි. ආරම්භය ඉතා දුෂ්කර, දුක්බර බව තමා ප්‍රිය කරන ක්ෂේත්‍රයක ඉදිරියට ආ බොහෝ දෙනෙකු තම අතීතය පිළිබඳව සිහිපත් කරමින් පවසයි. අතීතයේ ඒ දරාගැනීම්, කැපකිරීම් බොහෝ දෙනෙකුට අභිමානයෙන් සිහි කළ හැක්කේ ද එනිසාම විය හැකිය. ලලිත් පොන්නම්පෙරුම ගායන ශිල්පියාට ද එවන් අතීතයක් හිමිය.

"ඉස්සර මම ප්‍රසංග බලන්න ගියා යාළුවන් එක්ක. ගිහින් ප්‍රසංගය නිමා වෙනකල් බලා හිටියා. හරිම ආසයි ගීත ගයනවා බලාගෙන ඉන්න. සමහර වෙලාවට ප්‍රසංග සංවිධායකවරුන්ගෙන් මටත් ගීයක් ගයන්න අවස්ථාව ලබා දෙන්න කියලා ඉල්ලුවා. බොහෝ විට ප්‍රතිචාර ලැබුණෙ නැහැ. මොකද එයාලත් අසාධාරණ නැහැ. ඒ වෙද්දි මට ගීත ගායනා කරන්න පුළුවන් කියලා මා දැන සිටියාට මම ගීත ගයලා කවුරුත් මාව දැනගෙන හිටියෙ නැහැනෙ. හැබැයි කැසට් එක කරලා වසරක් ගතවෙද්දි මට ප්‍රසංග ආරාධනා ගලාගෙන ආවා. කැසට් එක කරන්න පෙර වූ සිද්ධියක් මට හොඳටම මතකයි. දවසක් වැල්ලවත්ත හන්දියේ පැවැත්වුණා ප්‍රසංගයක්. මාත් යාළුවෝ එක්ක ඒක බලන්න ගියා. මෙහෙම බල බලා ඉද්දි යාළුවො කිව්වා "ලලිත් ඔයාටත් පුළුවන්නෙ සින්දුවක් කියන්න" කියලා. මමත් පැයක් දෙකක් බලාගෙන ඉඳලා ඇහුවා. කවුරුත් ගණන් ගත්තෙ නැහැ. නමුත් මම ආයෙත් ඇහුවා. කොහොම හරි ටික වෙලාවක් ගියාට පස්සෙ කිව්වා හරි හරි කියනවා බලන්න කියලා. මම ඒ වෙලාවෙ ප්‍රවීණ ගායන ශිල්පී මිල්ටන් පෙරේරාගෙ ගීතයක් ගැයුවා වේදිකාවෙ. හැමෝම කිව්වා මම හොඳට ගීත ගැයුවා කියලා. ඒ වගේම ඉදිරියේදි තව අවස්ථා ලබා දෙන්නම් කියලත් කිව්වා. මේ සිද්ධිය වුණේ 1971 වසරේදි. එහෙම තමයි ආරම්භය. මගේ පවුලේ සංගීතයට සම්බන්ධ කවුරුත්ම නැහැ. මාව සංදර්ශන වේදිකාවට යොමු කළේ ජයතිස්ස හෙට්ටිආරච්චි කියන ගායන ශිල්පියා සහ බන්දුල සපරමාදු කියන ප්‍රසංග සංවිධායකවරයා. 1974 පමණ වෙද්දි මම එක් වුණා Mount chimes කියන සංගීත කණ්ඩායමට. ඒ රංජිත් ඩයස් හා නිමල් ඩයස් දෙදෙනාගේ සංගීත කණ්ඩායම. ඉන්පසු මම ලංකාවේ ජනප්‍රිය සංතගී කණ්ඩායමක් වූ ආර්නස්ට් සොයිසා ප්‍රමුඛ 'Super stars' සමඟ එක්වෙලා වසර තුනක් පමණ ගී ගැයුවා. මේ වෙද්දි 90 දශකයේ මුල් භාගය. මගේ ගීතත් තිබුණා. මෙහිදී මිල්ටන් මල්ලවාරච්චි නම් ගායන ශිල්පියාත් ඉතා ආදරයෙන් සිහි කරනවා. මම ඔහුගේ ගී ගැයුවා. ඔහු මට ප්‍රසංග සඳහා අවස්ථාත් ලබා දුන්නා. 2000 පමණ වනතුරු ඉතා හොඳ කාලයක් ගෙවුණා. දැන් නම් ප්‍රසංග ඉතා අඩුයි. ජීවත් වීම පවා විශාල ගැටලුවක් ලැබෙන ආදායමත් එක්ක. මම විවාහ වුණේ රොෂාණි සමඟ. අපිට ඉන්නෙ එක දුවයි. ඇය දුලංජලී. දුව විවාහකයි. බෑණා කෝලිත. මට මුණුපුරන් දෙදෙනෙකු සිටිනවා, චේතක සහ සෙනෝම්. එයාලා තමයි දැන් ජීවිතයේ එකම සතුට." 

යුගයක් විචිත්‍රවත් කළ ඒ හඬ තවමත් එලෙසමය. ඔහුගේ හඬ ඔබේ ප්‍රසංගයට, වැඩසටහනට යොදා ගැනීම ඔහුගේ හෙට දවස වෙනුවෙන් ඔබට ලබා දිය හැකි ආදරයයි. හදසර අපි ඔහුට යහපත් හෙට දවසක් වේවායි පතමු.

I මොනිකා සේරසිංහ