කොවි්ඩ් - අර්බුද - අරගල මැද්දේ සිහින සමීකරණ කල් ගියා - සසික හේරත්
Q “සිහින සමීකරණ" කියන්නේ සසික හේරත්ගේ කුඳුළුල් අධ්‍යක්ෂණයයි. මේ නිර්මාණය බිහිවෙන්නේ කොහොමද?
මම සහාය අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කරලා දැන් අවුරුදු පහළොවකට වැඩියි. මේ අතරේ දෙවැනි සහාය අධ්‍යක්ෂකවරයෙක් ලෙස වැඩ කරලා, පසුව පළමු සහාය අධ්‍යක්ෂක ලෙසත් මම බොහෝ ඉවසීමෙන් වැඩ කළා. 2019 වගේ කාලයේදී සුජීව ජාගොඩ කියන මගේ යාළුවෙක් මාර්ගයෙන් මට මහාචාර්ය චරිත් ජයතිලකව මුණගැහුණා. ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක්. මායි සුජීවයි කැලණිය විශ්වවිද්‍යාලයට ගිහින් ඔහුව මුණගැහුණා. ඒ අපි දෙතුන්දෙනා අතරේ සිදුවුණු කතාබහක ප්‍රතිඵලයක් ලෙසින් තමයි අවසානයේදී "සිහින සමීකරණ" නිර්මාණය වුණේ.
Q මේ කතාව කාගේද?
මේ කතා තේමාව මහාචාර්ය චරිත් ජයතිලකගේ. ඒ අනුව මම මේ පිටපත ලියන්න දර්ශන විද්‍යා අරවින්ද තෝරගත්තා. මෙය ඔහුගේත් ප්‍රථම සිනමා තිර පිටපතයි. චිත්‍රපටය සම්බන්ධයෙන් මූලික වැඩ කටයුතු කරගෙන යන අතරතුරේ මහාචාර්ය චරිත මේ නිර්මාණයේ නිෂ්පාදන කටයුතු සඳහා ඔහුගේ මිතුරකුත් සම්බන්ධ කර ගත්තා. ඔහු කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි පාසලක ගුරුවරයෙක්. ඒ අනුව චරිත ජයතිලක සහ ධම්මික ගී කියනගේ දෙදෙනා මෙහි සම නිෂ්පාදනයෙන් දායක වුණා.
Q සසිකගේ කුළුඳුල් සිනමා අධ්යක්ෂණයට නළු නිළියන් තෝරා ගත්තේ කොහොමද?
මෙහිදී මේ නළු නිළියන් සම්පූර්ණයෙන්ම තෝරාගත්තේ මමයි. ඒ සඳහා නිෂ්පාදකවරුන් පූර්ණ නිදහස මට ලබා දීලයි තිබුණේ. හැබැයි ඒ තෝරාගන්නා කිසිම කෙනෙක් මම සහාය අධ්‍යක්ෂණය කළ කිසිම නිර්මාණයකට සම්බන්ධවෙලා හිටියේ නැහැ. මේ අය කරපු වැඩ දකිද්දී මොවුන්ට හැකියාවක් තියෙන බව මට තේරුණා. පිටපතේ තිබුණු චරිත, ඒ අයගේ වයස් සීමා එක්ක මට අලුත් මුහුණු කිහිපයක් එකතු කරගන්න අවශ්‍ය වුණා. කසුනි කාවින්දි ප්‍රනාන්දු, රෙබෙකා දිල්රුක්ෂි, පූජන දන්දෙණිය, රන්දික ගුණතිලක, අද වගේ ඒ කාලේ නිර්මාණ බොහොමයකට දායක වෙලා හිටියේ නැහැ. නමුත් ඔවුන් දක්ෂ බව මට තේරුණා. අපි ඔවුන්ව සම්බන්ධ කරගත්තට පස්සේ පෙර පුහුණුවීම් කළා. ඊට පෙර අපි එකට වැඩ කරලා නැතිවුණත් පෙර පුහුණුවීම් අවසානයේදී නිර්මාණය කරද්දී ඔවුන්ගෙන් මට විශාල සහයෝගයක් ලැබුණා. ඒ වගේම සජිත ඇන්තනී, අශාන් ඩයස්, මොරින් චාරුණී, වසන්ත විට්ටච්චි, නයනි හෙට්ටිආරච්චි වැනි ප්රවීණයන්ගෙන්ද මට ලොකු සහයෝගයක් ලැබුණා.
Q සිහින සමීකරණ රූගත කිරීම් සිදුවුණේ කොයි කාලයේදීද?
මෙම චිත්‍රපටය 2020 පෙබරවාරි මාසයේදී රූගත කිරීම් ආරම්භ වුණා. අපි දින විසි පහක් පමණ රූගත කිරීම් කළා. වැඩිම රූගත කිරීම් සිදුවුණේ පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ. ඊට අමතරව කොළඹ සහ පල්ලෙකැලේ රූගත කිරීම් කළා.
Q චිත්‍රපටය රූගත කිරීම් කරලා වසර හතරකට පසුවයි තිරගත වුණේ?
ඔව්... ඒකට හේතු කිහිපයක්ම බලපෑවා. රූගත කිරීම් කරලා සතියකින් කොවිඩ් වසංගතය රට පුරා ඇතිවුණා. ඒ නිසාම පසු නිෂ්පාදන කටයුතු කරන්න අපිට බැරි වුණා. කොවිඩ්වලින් පසුව රටේ අර්බුද, අරගල ඇතිවුණා. ඒ නිසාම තිරගත වීම තවත් ප්‍රමාද වුණා. ඔය අතරේ තිරගත කරගන්න අවස්ථා කිහිපයක්ම තිබුණා. නමුත් රටේ ජනතාවට බලන්න පුළුවන් වටපිටාවක් රටේ නැතුව චිත්‍රපටය තිරගත වීම් ආරම්භ කළාට වැඩක් නැහැ. ඒ නිසා මම හිතන විදිහට මේ තමයි හොඳම කාලය.
Q ඔබ අද වෙද්දී සිනමා අධ්‍යක්ෂකවරයෙක්. මේ ගමන ඇරඹෙන්නේ කොතැනින්ද?
මම 2007 වසරේ ජාතික තරුණ සේවා සභාවෙන් කැමරාකරණ පාඨමාලාවක් හැදෑරුවා. 2007 වසර අවසානයේදී පෞද්ගලික නාලිකාවක සහාය කැමරා ශිල්පියෙක් ලෙස වැඩ කළා. ඔය අතරේ දෙවැනි සහාය කැමරා ශිල්පියකු ලෙසට ටෙලිනාට්‍යවලටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. මෙතැනදී මම ලක්ෂ්මන් පුෂ්පකුමාර අධ්‍යක්ෂකවරයාව ඉතා ආදරෙන් මතක් කරනවා. ඔහුගෙන් මම බොහෝ දෑ ඉගෙන ගත්තා. ඒ වගේම අනුරුද්ධ ජයසිංහ නම් අධ්‍යක්ෂකවරයා සමඟ මට වැඩි වශයෙන් නිර්මාණවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. එහෙම කලාවේ වැඩ කරමින් ඉන්න අතරතුරේ තමයි මට සිනමා අධ්‍යක්ෂකවරයෙක් වෙන්න අවස්ථාව ලැබුණේ. මට මගේ හීනය සැබෑ කරගන්න නිර්මාණයේ නිෂ්පාදකවරුන්ගෙන් ලොකු හයියක් ලැබුණා. නිර්මාණයේදී අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන්න ඔවුන් මට සියයට සියයක්ම නිදහස ලබා දුන්නා.
Q පුංචි කාලෙ ඉඳන් සසිකගේ ආසාව කැමැත්ත වුණේ මේ ක්ෂේත්රයට එකතු වෙන්නද?
මෙහෙමයි... මගේ ගම සඳලංකාව. මම ඉගෙන ගත්තේ සඳලංකාව මධ්‍ය මහා විදුහලෙන්. ගමේදිවත් පාසලේදිවත් මට සිනමාවට, කලාවට එන හැඟීමක් තිබුණේ නැහැ. අපේ ගෙවල් ළඟම සඳලංකාව සිනමාහල තිබුණා. ඒකෙ මගේ ඥාති මාමා කෙනෙක් සේවය කළා. ඒ නිසාම මම බොහෝ චිත්‍රපට බැලුවා. චිත්‍රපට බලනවට වඩා ඒ මාමා එක්ක මම ඒ ප්‍රොජෙක්ටර් එක වැඩ කරන හැටි බලන්න ආසා කළා. ඔය අතරේ අපේ ගමේ සුදත් රෝහණ මහතා අධ්‍යක්ෂණය කළ "අඹු දරුවෝ" ටෙලිනාට්‍ය රූගත කිරීම් කළා. මම කැමරාවක් පිටුපස නිර්මාණයක් බිහිවෙන්නේ කොහොමද කියලා දැනගත්තේ ඒ නිර්මාණය හරහායි. ඒ හැම දවසකම රූගත කිරීම් බලන්න මම එතැනට ගියා. ඉස්කෝලෙ ඉඳන් ගෙදර ඇවිත් කෑම කාලා බයිසිකලේ අරගෙන මම ඒ රූගත කිරීම් කරන තැනට ගිහින් කැමරාව පිටිපස්සට ගිහින් ඒවා රූගත කිරීම් කරන හැටි බලාගෙන හිටියා. කලාවට මගේ හිත යොමු වුණේ එතැනදියි. ඒ නිසා එතැනින් කැමරාව පිටිපස්සේ ඉන්න අධ්‍යක්ෂකවරයෙක් වෙන්න මම ආසා කළා. හැබැයි මගේ කිසිම දන්න කියන කෙනෙක් ඒ වෙද්දි මේ ක්ෂේත්රයේ හිටියේ නැහැ.
Q “සිහින සමීකරණ" තිරගත වෙන්න දැන් සියල්ල සූදානම් නේද?
ඔව්... දැන් සියල්ල සූදානම්. ජූනි මාස හත් වැනිදා සිට "සිහින සමීකරණ" තිරගත වෙන්න නියමිතයි.
දිශානි