කලා ක්ෂේත්‍රයට එන්න හැකියාවම තිබිලා මදි ඒකට වාසනාවත් ඕනා
තරුණ රංගන ශිල්පියෙකු වූ සමන්ත කුමාර සුබසිංහට මෙවර සාරවිට තුළින් අප මෙසේ ඉඩක් වෙන් කළා. දැනට කලා නිර්මාණ කිහිපයක් ඔස්සේ ඔබ දැක ඇති සමන්ත ප්‍රේක්ෂකයින් අතරද තරමක් ජනප්‍රිය වී සිටියි. රංගන ශිල්පියෙකු මෙන්ම අධ්‍යක්ෂවරයෙකු ලෙසද කලා ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්නට බලාපොරොත්තුවෙන සමන්ත ඒ ගැන අප සමග තොරතුරු බෙදාහදා ගත්තේ මෙලෙසිනි.
සමන්තට නළුවෙක් වෙන හිනේ ඇති වුණේ කොයි කාලේද..
පාසල් අවදියේම තමා. මම රඟපාන්න මුලින්ම එන්නේ දහම් පාසැල් වේදිකාවෙන්. මම හිතන්නේ මගේ ඇගේ රංගනය කියන දේ තියෙනවා කියලා මම තේරුම් ගත්තේ ඒ කාලේදී. ඒ එක්කම ගමේ අවුරුදු උත්සව කිහිපයකම අවුරුදු කුමාරයා විදිහට මම තේරුණා. ඉතින් හොඳ පෙනුමක් තිබුණ නිසා මම නළුවෙක් වෙන්න ඒ කාලේ ඉඳලා හීන දැක්කා. පාසල් අධ්‍යාපනය නිමා කරලා මම විශ්වවිද්‍යාල අධ්‍යාපනයට තේරුණා. ඒ කාලේදී මම රඟපාන්න තියෙන කැමැත්තට රංගනය ගැන ඉගෙන ගත්තා. ඊට අමතරව නර්තනය වගේම සටන් ක්‍රම ගැනත් ඉගෙන ගත්තා. මොකද, රඟපාන්න මේ හැම දෙයක්ම අවශ්‍ය වෙන නිසා. 2000 වසරේදි මම වේදිකා නාට්‍යය කිහිපයකටම සම්බන්ධ වෙනවා. බුදු තෙමඟුල, ආලවක දමනයක, වෙස්සන්තර ජාතකේ ඒ අතරින් කිහිපයක්.
මතකද මුලින්ම කැමරාවක් ඉදිරියේදී නළුවෙක් විදිහට රඟපාපු හැටි..
ඔව්, තාමත් ඒ මතකය තියෙනවා මට. මගේ මිතුරෙක් වුණ චමත්ගේ මාර්ගයෙන් තමා මම රඟපාන්න එන්නේ. ඒ හිරු රූපවාහිනි නාළිකාවේ විකාශය වුණ 33 කාමරය ටෙලි කතා මාලවේ ඇගේ කතාව කියන කතාංගයේ තමයි මම මුලින්ම රඟපැවේ. ඇත්තටම පළමු රංගනය නිසා තරමක් මම චකිතයෙන් තමා රගපැවේ. දෙබස් පවා කිහිපවරක් පැටළුණා. කොහොම වුණත් ඒ දර්ශන රූපවාහිනියේ දකින කොට පළමු රංගනය හොඳට කරලා තියෙනවා කියලා මට හිතුණා. ඊට පස්සේ හිරු නාලිකාවේ විකාශය වෙන රැල්ලට වෙරළ ආදරේයි ටෙලි නාට්‍යයේ වගේම දෙරණ රූපවාහිනියේ විකාශය වෙන සංගිතේ ටෙලි නාට්‍යයවලට මම රංගනයෙන් දායක වුණා.
හැබැයි සමන්තට තිබුණේ නළුවෙක් වෙනවට වඩා අධ්‍යක්ෂවරයෙක් වෙන හීනයක්..
එහෙම කිව්වොත් හරි. ඒ පැත්තට යොමු වෙන්න තියෙන ආසාව නිසාම මම ධර්මසේන පතිරාජ මහතා ළඟ වසරක් වගේ කාලයක් අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, කැමරාකරණය වගේ දේවල් ඉගෙන ගත්තා. අධ්‍යක්ෂවරයෙක් වෙන්න තිබුණ කැමැත්ත නිසාම මම පස්සේ කෙටි චිත්‍රපට දෙකක් අධ්‍යක්ෂණය කළා 2015 වසරේ කැඩපත හා 2016 වසරේ පරිත්‍යාගය කියලා. මේ කෙටි චිත්‍රපට දෙකටම විවිධ සම්මාන උළෙලයන් වලදී ඇගයිම් සම්මාන එහෙමත් ලැබුණා. ඊට පස්සේ සුගත් මහදිවුල් වැව වගේම ජයන්ත චන්ද්‍රසිරි යන ප්‍රවිණ අධ්‍යක්ෂවරුන් යටතේ මට ඉගෙන ගන්නත් ලැබුණා. නළුවෙක් වගේම අධ්‍යක්ෂවරයෙක් විදිහට මේ ක්ෂේත්‍රය තුළ ඉදිරියට යන්න මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.
ඉදිරි කලා කටයුතු කොහොමද ඔබගේ..
මේ දිනවලත් කලා නිර්මාණ කිහිපයකම වැඩ කරමින් ඉන්න නිසා තරමක් කාර්යබහුල ජිවිතයක් තමා ගත කරන්නේ. හිරු රූපවාහිනියේ මේ දිනවල විකාශය වෙන අකුරට යන වෙලාවේ ටෙලි නාට්‍යයේ මම රඟපානවා. ඒ වගේම තවත් කලා නිර්මාණ කිහිපයකටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. සූර්යා හා කුසුමාසන දේවි කියන චිත්‍රපටවල පසුගිය කාලේ මම රංගනයෙන් දායක වුණා. එහි රූපගත කිරිම් කටයුතු දැන් නිමාවෙලා තියෙනවා. තව මදර් ශ්‍රී ලංකා චිත්‍රපටයටත් මම දායක වුණා. එහි සංස්කරණ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතිනවා. මේ දිනවල අකුරට යන වෙලාවේ හා මා කියන ටෙලි නාට්‍යයවල රූපගත කිර්ම් කටයුතුවලට සම්බන්ධ වෙලා වැඩ කරනවා.
ආපු ගමන ගැන හැරිලා බැලුවොත්..
ගොඩක් සතුටු වෙනවා. මොකද, කලා ක්ෂේත්‍රයට එන්න හැමෝටම බැහැ. රංගන හැකියාව වගේම වාසනා ගුණයත් ඒකට තියෙන්න ඕනා. ඉතින් කලාකරුවෙක් වෙලා කලාවට සේවයක් කරන්න ලැබුණ එක ගැන නිහතමානි ආඩම්බරයක් මට තියෙනවා. මේ ගමන එන්න ගොඩක් අය උදව් කළා. විශේෂයෙන්ම මගේ පවුලේ අය. ඊට අමතරව අනුර, චමත්, මධුරංග, කමල්, රෝහණ, දිල්රුක්ෂි හා ඩයස් කියන අය විශේෂයෙන්ම මතක් කරන්න ඕනා. ඒ අය හින්දා තමා අද මම කලා ක්ෂේත්‍රය තුළ මේ වගේ සාර්ථක ගමනක් ඇවිල්ලා තියෙන්නේ.
ඡායාරූප - දුලිත ශ්‍රිනාත්