කලාව කොතැනද මම එතැන - සැබෑ ජීවිතේ රඟපෑමක් නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ගහේ කටු උල් කරන්න ඕනෑ නැහැලුනේ. ඒ කියමන ඔප්පු කර පෙන්වූ තවත් කලා පවුලක චරිතයක් ලෙස කරළියට ඇවිත් සිටින මන්ජිත ලංකේෂ තෙන්නකෝන් නම් කරන්න පුළුවනි. දන්නවනෙ මේ මන්ජිත කවුද කියලා? ප්‍රවීණ කලාකාරියක වන රත්නා ලාලනී ජයකොඩි සහ පසුගියදා අප අතරින් වියෝ වූ සම්පත් තෙන්නකෝන් ප්‍රවීණයාගේ එකම පුතුය. සංගීතය ජීවිතය කරගෙන ඒ අතරේ රංගනයට ද අද එක්ව සිටින රත්නා-සම්පත් යුවළගේ එකම පුතු මන්ජිත පුවත්පතක පිළිසඳරකට එක්වන පළමු අවස්ථාවයි මේ.

 

රත්නා - සම්පත් එකම පුතු, සම්පූර්ණ නම කියමු?

“මුදියන්සේලාගේ මන්ජිත ලංකේෂ තෙන්නකෝන්.”

සෑහෙන්න උසයි නේද?

“අඩි 6යි අඟල් 3යි.”

තෙන්නකෝන් පවුලේ උසම කෙනා ද?

“තෙන්නකෝන් පවුලේ සහ ජයකොඩි පවුලේ උසම කෙනා.”

මන්ජිත කියන්න ද? ලංකේෂ කියන්න ද?

“හැමෝම ලෙහෙසියට කතා කරන්නෙ මන්ජි කියලයි. ඒක ලෙහෙසියි.”

අම්මා කතා කරන්නෙ?

“පුතා කියලා තමයි. අප්පච්චි ආදරේට මචං, බබා ඒ වගේ කතා කළේ. අපි දෙන්නා යාළුවෝ වගේ හිටියේ. අන්තිමට තාත්තා කතා කළෙත් එහෙමයි.”

තාත්තා මිය යාමට පෙර අන්තිමට මොන වගේ දෙයක් ගැන ද කතා කළේ?

“සිංදු කියන්න කිව්වා, මම මියුසික්වලට කැමැති නිසා, වාදනයට ලැදි නිසා. අප්පච්චි කැමැති වුණේ ගායන ශිල්පියකු ලෙසයි. මියුසික් කරන, සිංදු කියන කෙනෙක් දකින්න ආසයි කියලා කිව්වේ. අප්පච්චිත් සිංදු කියන්න ආසයි. වාදනයට අමතරව සිංදු කිව්වා, තව වටිනාකමක් එනවා කියලා. රඟපෑමත් කිරීම තවත් ආලෝකයක් වේවි කිව්වා. අම්මයි අප්පච්චියි දෙන්නාම රඟපෑම වගේම ගීත ගායනයත් කළ නිසා ඒ ආභාෂය තමයි මටත් ලැබුණේ.”

මන්ජිගෙ වයස?

“අවුරුදු 27යි මැයි 8 වැනිදාට (අදට).”

උපන් දිනය කොහොම ද සමරන්නේ?

“මේක පුවත්පතකට කරන මගේ ප්‍රථම සම්මුඛ සාකච්ඡාව. ඒකම මට විශේෂයක්. උපන් දිනය දවසට දානය දීමට සහ අව්වැසි නොතකා වැඩ කරන අපි වෙනුවෙන් ශ්‍රමය උපරිමයෙන් වැය කරන කෙනකුට අවශ්‍ය දෙයක් දෙන්න පුළුවන් නම්, ඒක වඩා අරුත්බරයි කියලා මම හිතනවා.”

මන්ජි’ ටිකක් වෙනස්ව හිතන කෙනෙක් වගෙයි පෙන්නන්නේ?

“ඒක මගේ යාළුවොත් කියන දෙයක්, කතා කරද්දී මගේ අදහස් වෙනස් කියලා. මම, මම විදිහට දකින්න ආසයි. රඟපෑවත්, සිංදු කිව්වත් ඒවා වේදිකාවට විතරයි. සැබෑ ජීවිතේ රඟපෑමක් නැතුව සරලව ඇත්ත විදිහටම ඉන්න ආසයි.”

මන්ජිතට, මන්ජිත ගැන හිතෙන්නෙ කොහොම ද?

“සෑම මොහොතකම සංගීතය ජීවිතයට සමීප කරගත් පුද්ගලයෙක්. කාටවත් කරදරයක් නැතුව, ස්වභාවධර්මයට අනුකූලව ඉන්න කැමැති කෙනෙක්. සල්ලි හම්බ කරන්න කියලා මහා බලාපොරොත්තු නැහැ. ජීවත් වෙන්න ප්‍රමාණයට තිබුණාම ඇති. වස්තු පොදි බඳිනවාට වඩා මිනිස්සු හම්බ කරන්න ආසයි. අපේ අප්පච්චිත් ඒ විදිහයි. මුදලට වස්තු පොදි ගහනවාට වඩා, තාත්තා හම්බ කළ ලොකුම සම්පත මිනිස්සු. එච්චරටම අප්පච්චි මිනිස්සු අතරම හිටපු කෙනෙක් කියලා මම දැනගත්තෙ අප්පච්චිගෙ මරණින් පසුවයි. මිනිස්සුන්ට උදව් කරගෙන හොඳ මතකයක් ඇති චරිතයක් වෙන්න ආසයි.”

මන්ජිත ඉගෙන ගත්තෙ මොන අරමුණකින් ද?

“පාසල් ගියේ කොළඹ රාජකීය විද්‍යාලයට. උසස් පෙළට වාණිජ විෂයය කළේ. පසුව උපාධිය ලබාගත්තෙ පුද්ගලික සරසවියකින්. අලෙවි හා කළමනාකරණ අංශයේ උපාධියක් තියෙන්නේ. පසුව ආයතන තුනක විතර වසර හතරක් පහක් විතර සේවය කළා. එක තැනකට කොටු නොවී වැඩ කරන්න ආස කෙනෙක්. ඒ නිසා උදේ 8ට ගිහින් සවස 4ට එන ජොබ් එකක් මට අවශ්‍ය වුණේ නැහැ. පාසල් කාලයේදී නාට්‍ය සංගමයේ සභාපති වෙලා හිටියා, වාද්‍ය වෘන්දයේ බේස් ගිටාර් වාදකයා ලෙසත් හිටියා. කලා අංශයේ තරගවලින් සමස්ත ලංකා ජයග්‍රහණ රැසක් ලැබුවා. ඒ ඔක්කෝම කළේ පොතපත විෂයයට අමතරවයි. පාසලේදී කලාව කොතැන ද මම හිටියෙ එතැන. ඒ වෙලාවලදී අම්මගෙන් බැණුම් පවා අහලා තියෙනවා. කොහොම හරි ඔක්කෝම ටික සමබරව කරගන්න පුළුවන් වුණා.”

අම්මා - තාත්තාට අවශ්‍ය වුණේ මන්ජිත මොන ක්ෂේත්‍රයක නියැලෙනවාට ද?

“කැමැති දේ කරන්න කිව්වා. සතුටින් කරන්න පුළුවන් දේ කරන්න කිව්වා. මම කැමැති දේ හොයා ගන්නවාට එයාලා බලපෑමක් කළේ නැහැ. පොඩි කාලයේදී මම ලැජ්ජාශීලී කෙනෙක්. ඒ නිසා ඒ කාලයේදී මේ වගේ වේවි කියලා හිතුවේ නැහැ.”

අද මන්ජිතගේ වෘත්තිය?

“බේස් ගිටාර් වාදකයකු ලෙස සංගීත කණ්ඩායමක (ඕමි - Ohme) කටයුතු කරනවා. එහි ගායකයකු ලෙසත් කටයුතු කරනවා. ඊට අමතරව තමයි රඟපාන්නෙ. සතුටින් කළ හැකි දේ ඒ විදිහට කරනවා. මගේ වර්තමානය සතුටින් කිව්වොත් හරි. රංගනය හදාරන අතරේ රඟපානවා කිව්වොත් හරි. ප්‍රසන්නජිත් සර්, ජෙරොම් ඩී. සිල්වා සර් ඇතුළු ප්‍රවීණයින්ගේ වැඩමුළුවලට සහභාගි වෙනවා. ඒ අතරේ සංගීත අධ්‍යක්‍ෂණයෙන් ද දායක වෙනවා. කොළොම්බියා යූටියුබ් සීරිස් එකට.”

මන්ජිත, ඔබගේ අලුත්ම ගීත නිර්මාණය ගැන කියමු ද?

“සිංදුවේ නම ‘අරෝෂිකා’. පද රචනය සහ සංගීත නිර්මාණය කළේ මම. මේ ගීතය රිලීස් කරන්න හිටියෙ මීට කලකට පෙරදී. ඒත් විවිධ හේතු නිසා කල් ගියා. උපන් දිනය දා අද මැයි 8 රිලීස් කරන්න තමයි හිතාගෙන ඉන්නේ.”

මීට පෙර ඔබ ගැයූ ගීත මොනවා ද?

“ ‘මිරිඟුවක් බලා’ ගීතය කළේ ඕමි (Ohme) සංගීත කණ්ඩායම එක්ක. ඒකෙ රූප රචනයකුත් තියෙනවා. ඒක තමයි කණ්ඩායමක් එක්ක කළ මගේ ප්‍රථම ගීතය. නමුත් මගේම වූ ප්‍රථම ගීතය තමයි ‘අරෝෂිකා’.”

කවුද මේ අරෝෂිකා?

“අරෝෂිකා කියලා දන්නා අය ඉන්නවා. මේකෙ තේරුම අරෝෂිකා කියන්නෙ තරහක් නැහැ කියන එකට. තරහ නැහැ කියන එක තමයි කියැවෙන්නේ.”

කා එක්ක ද තරහා නැත්තෙ?

“මම කා එක්කවත් තරහා නැහැ. මේක මගේ අත්දැකීමක් නෙවෙයි. ප්‍රේමයක් බිඳවැටුණාම තරහා නොවී, යාළුවෝ විදිහට ඉන්න කියන දේ කියන්නයි මට ඕනෑ වුණේ. අනෙකාට වෛර කරන්න එපා කියන දේ කියන්නයි මට ඕනෑ වුණේ.”

මන්ජිතගෙ සැබෑ ප්‍රේමය කොහොම ද?

“තවම මගේ අනාගත කටයුතුවලට යාළුවෝ - යෙහෙළියන් ඉන්නවා. අනාගතයේදී ඒ අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට වේවි.”

අපි ‘රැල්ල වෙරළට ආදරෙයි’ නාට්‍යයේ චරිතය ගැන කියමු ද?

“සන්තුෂ්.”

මේ ඔබගේ කීවැනි රඟපෑම ද?

“මීට පෙර මම ප්‍රියන්ත කොළඹගේ මහතාගේ ‘සකූගේ ලෝකය’ නාට්‍යයේ සුළු චරිතයක් රඟපෑවා.”

සන්තුෂ් කියන්නේ?

“ඇමැතිවරයකුගෙ පුතෙක්. පිටරට ඉඳලා ආව, සෙල්ලක්කාර විදහට ජීවිතය ගත කරන චරිතයක්. කුමාර තිරිමාදුර මාමා සහ ෆර්නි රෝෂිනි නැන්දා අම්මයි, තාත්තයි ලෙස රඟපානවා. ඒක මට ලොකු හයියක් වුණා. බිමල් ජයකොඩි අයියා වගේම රංග ජයකොඩි අයියත් මේකෙ රඟපානවා. ඒ දෙන්නා තමයි මාව යෝජනා කරලා තිබුණෙ මේ චරිතයට. ප්‍රවීණයින් ගොඩාක් එක්ක මට ලැබුණෙ ලොකු අවස්ථාවක්. නිවන්ත ප්‍රසාර අධ්‍යක්‍ෂවරයා ඇතුළු මුළු නාට්‍ය කණ්ඩායමම ලොකු සහයෝගයක් ලබා දෙන්නේ.”

මන්ජිත, අම්මයි අප්පච්චියි එක්ක රඟපාලා නැද්ද?

“නිර්මාණයකට දායක වෙන්න ලැබුණෙ නැහැ. ඒ කාලයේ අවස්ථාවක් ලැබුණත් ඒ කාලයේදී සබකෝලය නිසා ඒවා ප්‍රතික්ෂේප කරලා තියෙනවා.”

දැන් අප්පච්චි නැහැනේ. අම්මා සහ ඔබ අතර බැඳීම මොන වගේ ද?

“අපි ඇත්තටම යාළුවෝ වගේ තමයි. දැන් අපි දෙන්නට අපි දෙන්නා විතරනේ. අප්පච්චි අසනීප වූ මොහොතේ ඉඳලා අම්මා මහන්සි වුණේ අප්පච්චි ගොඩ ගන්න. ඒ දිනවල මාව වැඩිපුර බලා ගත්තෙ ලොකු නැන්දා. ඉස්සරට වඩා මට අද අම්මා කෙරෙහි ලොකු බැඳීමක් තියෙන්නේ.”

අම්මා මෙතෙක් රඟපෑ චරිත අතරින් ඔබට එකවර මහකයට එන්නේ?

“ගුරුතරුව සංගීත ගුරුතුමිය වූ ‘මාලිනි’. අම්මා සැබෑ ජීවිතයේදීත් ගුරුවරියක්.”

සඳුන් ගමගේ