කලාවට දක්ෂ ලංකාවේ ගොඩක් අය කටාර්වල ඉන්නවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ගීත රූප රචනා හා කෙටි චිත්‍රපට රැසක් නිර්මාණය කළ තරුණ නිර්මාණකරුවෙකු සමග මෙවර සාරවිට අප කතා බහ කළා. ඔහු නමින් ශානාස් ෂබ්ඩින්ය. මේ වනවිට මාධ්‍ය සම්බන්ධිකරණ නිලධාරිවරයෙකු ලෙස දෝහා කටාර් රජය සමග සම්බන්ධව කටයුතු කරන ශානාස් සිය කලා කටයුතු ගැන අප සමග මෙසේ තොරතුරු පැවසුවා.

මතකද ශානාස් මුලින්ම කරපු වැඩේ?

ඔව්, 2018 වසරේදී තමයි මම මුලින්ම ගීත රූප රචනාවක් නිර්මාණය කළේ. ඒ අන්සාෆ් අමිර් මල්ලිගේ රකුසන්.. කියලා ගීතයකට. මේක කාන්තා හිංසනය සම්බන්ධව රචනා වුණ ගීතයක්. බොහෝම සරළ විදිහට තමයි මේකේ රූප රචනාව කළේ. පළමු අත්දැකිම ගොඩක් හොඳට වුණා. ඒ වගේම මේ ගීතය ශ්‍රාවකයින් අතර ගොඩක් ජනප්‍රිය වුණා. රැප් ශෛලයේ ගීතයක් නිසා වෙනස්ම විදිහකට තමයි මේ ගීථය නිර්මාණය වුණේ.

දැනට කොපමණ නිර්මාණ ප්‍රමාණයක් ඔබ නිකුත් කරලා තියෙනවාද?

රකුසන්.. ගීතයෙන් පස්සේ මගේ බබි කෝ.. කියලා ගීතයක් කළා. ඒකත් අන්සාෆ් මල්ලිගේම ගීතයක්. මේ ගීතය දෝහා කටාර්වල තමයි රූපගත කළේ. දැනට ලක්ෂ හයකට වැඩි ප්‍රමාණයක් මේ ගීතය යූ ටියුබ් නාලිකාවෙන් පමණක් නරඹලා තියෙනවා. ඒක මම ඇතුළු අපේ කණ්ඩායම ලබපු ලොකු ජයග්‍රහණයක් විදිහට මම දකිනවා. මොකද, විදෙස් රටක කරපු ගීතයක් මෙහෙම සාර්ථකත්වයක් ලබන්නේ කලාතුරකින් නිසා. ඊට පස්සේ තුවාන් හෂිම්ගේ සේපාලිකා,. රූබිනා ශබ්නම්ගේ සූරලී.. අන්සාෆ් අමිර්ගේ වැහිදිනක්.. ඇතුළු ගීත කිහිපයකටම මම රූප රචනා කළා.

ගීත රූප රචනා විතරද ඔබ අතින් නිර්මාණය වුණේ?

නැහැ. මම කෙටි චිත්‍රපට කිහිපයකුත් කළා. කාමරේ කියලා කොමඩි පැත්තට බර කෙටි චිත්‍රපටයක් කළා. ඊට අමතරව කොවිඩ් වසංගත කාලයේ මම මට ෆොසිට්ව් කියලා තව කෙටි චිත්‍රපටයක් කළා. මේ මාසේ මම නිකුත් කරන්න හිතාගෙන ඉන්නවා මනස කියලා තව කෙටි චිත්‍රපටයක්.  මගේ යහළුවෙක් ඉන්නවා රොකී කියලා. ඔහුත් එක්ක ඉදිරියේදී ඉංග්‍රීසි කෙටි චිත්‍රපටයක් කරන්න සැළසුම් කරමින් ඉන්නවා. ඒක ටිකක් ත්‍රාසය, භිතිය, කුතුහලයෙන් පිරුණු වෙනස්ම විදිහේ කතාවක් පාදක කරගෙන නිර්මාණය කරන එකක්.

විදෙස් රටක මේ වගේ වැඩ කරන ඒක අසිරු වැඩක් නේද?

ඔව්, හැබැයි ඉතින් අපි කාලය කළමණාකරණය කරගෙන තමයි වැඩ කරගන්නවා. අපි හැමෝටම නිවාඩු තියෙන දවස්වල තමා මේ වැඩ කරන්නේ.  අපිට තියෙන ලොකුම වාසිය තමා මෙහේ වැඩ කරන්න නිදහස තියෙනවා. මම ඇතුළු මගේ කණ්ඩායම මේ වැඩේට තාම අලුත්. ඉදිරියට අපි මේක වෘත්තියක් විදිහට ලියාපදිංචි කරලා වැඩ කරන්න හිතාගෙන ඉන්නවා. එහෙම කරන කොට ගොඩක් පහසුයි මෙහේ වැඩ කරන්නත්.

දිගටම කරන්න වැඩ තියෙනවාද?

ලංකාවේ ගොඩක් සංගීතය පැත්තට දක්ෂ අය දෝහා කටාර්වල රැකියාවල නිරත වෙලා ඉන්නවා. ඇත්තටම මට ඒ වගේ කිහිප දෙනෙක් දැන් මුණ ගැහිලා තියෙනවා. අන්සාෆ්, රූබිනා, තුවාන් කියන්නේ ඒ වගේ කිහිප දෙනෙක්. විශේෂයෙන්ම අන්සාෆ් මල්ලිට හොඳ දක්ෂතාවයක් තියෙනවා. ගායකයෙක් පද රචකයෙක් වගේම රංගන ශිල්පියෙක් විදිහට හොඳ අනාගතයක් තියෙනවා.  දැනට මම වැඩ කරන්නේ ඒ මම දන්න කිහිප දෙනා එක්ක. තව ඒ වගේ දක්ෂයෝ මට මුණ ගැහිලා ඉන්නවා. ගොඩක් වෙලාවට අපි කරන්න උත්සාහ කරන්නේ ලංකාවේ අයගේ වැඩ කරන්න.  

මොනවද ඔබේ ඉදිරි සැළසුම්?

දැනට මම මගේ වෘත්තිය කරගෙන යන ගමන් තමා මේ වැඩ කරන්නේ. ඉදිරියේදී පුර්ණ කාලීනව මේ වැඩේට අතගහන්න සූදානමක් තියෙනවා. ඒ වගේම ලංකාවෙන් දෝහා කටාර්වලට එන කලාව පැත්තට යම් දක්ෂතාවයක් තියෙන අයට මා සමග එකතු වෙලා වැඩ කරන්න පුළුවන් අවස්ථාවක් නිර්මාණය කරලා දෙන්නත් මගේ සැළසුමක් තියෙනවා. ගායනයට, සංගීතයට, පද රචනයට හා රංගනයට දක්ෂ ඕනෑම කෙනෙක්ට මම මගේ ඉදිරි වැඩවලදි අවස්ථාව දෙන්න සූදානමින් ඉන්නවා.

මේ තැනට එන්න ඔබට උදව් කරපු පිරිසකුත් ඇති?

මේ ක්ෂේත්‍රයට එන්න මට උදව් කළේ ලංකාවේ මගේ මිතුරන් දෙන්නෙක්. ඒ දමිත් පන්නිල හා සුමුදු ප්‍රනාන්ඳු දෙන්නා. සුමුදු අයියා නම් දැන් ජිවතුන් අතර නැහැ. ඊට පස්සේ මතක් කරන්න ඕනා රොකී ශේෂියා හා ඇන්ජලෝ දෙන්නා. ලොකු සහයෝගයක් දෙනවා ඔවුන් දෙන්නා මට. අන්සාෆ්, රූබිනා, තුවාන්, මොහොමඩ් හෂින්ව මතක් කරන්න ඕනා. තව මා විසින් නිර්මාණය කරපු ගීත කිහිපයක්ම සංගීතවත් කළ දිලිප ලියනගේ වගේම තරිඳු මල්ලි. මගේ බිරිඳව විශේෂයෙන්ම මතක් කරන්න ඕනා. ඇය තමයි මගේ හයිය. මේ හැම වැඩකටම මාව උනන්ඳු කරලා මාව මේ තැනට ගෙන්න ගොඩක් උදව් කළේ ඇයයි.

බුද්ධික සේනාධීර