කලක් තිරයෙන් දකින්න නොලැබුණු කඩවසම් තරුව, ගිවන්ත අර්ථසාත් අතීත මතක ගැන කියන කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ගිවන්ත අර්ථසාත් කියන්නෙ කාලයක් තරුණියන්ගේ සිහින කුමාරයා කිව්වොත් හරි. මොකද ඔහුට ඇත්තේ සැනින් හිත ඇදී යන ආකර්ෂණීය රූපයක්. ඔහු කාලයක් තිරයෙන් දකින්න ලැබුණේ නෑ. තවමත් ඔහුව නිතර නිතර දකින්න ලැබෙන චරිතයක් නෙවෙයි. පහුගිය කාලයේ ඔහු සිය ජීවිතයේ අත්දැකීම් රැසකට මුහුණදීලා තිබුණා.

ඒ ගැන ඔහු Saana show යූටියුබ් නාලිකාවට තම අතීත අත්දැකීම් මේ විදියට දක්වලා තිබුණා.

ඔහු පවසන හැටියට රංගනය ඔහුට අහම්බෙන් මුණගැහෙන දෙයක්. ඒ ඔහු එක්තරා ආයතනයක සේවය කරමින් සිටින අතරතුර කාලයේදීයි. ඒ යම්කිසි ගෙවීමක් සහිතව පත්තරයක ඡායාරූපයක් පළකිරීමෙන් ලැබෙන අවස්ථාවක්.

එහෙම පටන් ගත්ත ගමන අද ඔහු තරුණියන්ගේ සිත් දිනාගන්නට තරම් සමත් වූවෙක්.

"ක්ලාස් එකේදී කෙල්ලෙක් මට කැමතියි කිව්වා කියලා මම ක්ලාස් ගියෙත් නෑ..." තමන් හරිම ලජ්ජාශීලි අයෙක් බව ඔහු ඒ විදියට පවසනවා. ඊට හේතුව ලෙස ඔහු පවසන්නේ තම පවුල් පරිසරයයි.

කෙසේ නමුත් ඔහු දැන් පියෙක්. නමුත් ගිවන්තගේ පවුල් ජීවිතය විවිධ වූ හැල හැප්පීම් එක්ක ගෙවුණු බවයි ඔහු පවසන්නේ. ගිවන්ත පුතෙක්ගේ තාත්තා කෙනෙක්. පුතා තමන්ගෙන් දුරස්ව උන්නත් පුතුට අසීමිතව ආදරය කරන පියෙක් බවයි ඔහුගේ කතාවෙන් හැඟී යන්නේ....

"මගේ පුතා තමයි මගෙ ලෝකෙ.... පුතාව මට එළියෙදී හම්බෙනවා... මගේ කියලා ඉන්නෙ මගේ පුතා විතරයි. එයාට දැන් 15ක්. මටත් වඩා උසයි පුතා දැන්..."

ඔහු කාලයක් නිර්මාණ තුළින් දකින්න නොලැබීමට හේතුත් මේ විදියට දක්වලා තිබුණා.

නවක පිරිසගේ පැමිණීමත් ඊට හේතුවක් ලෙස‍යි ඔහු පවසන්නේ. ඒ වගේම පහුගිය කාලයේ රට තුළ පැවති තත්වයත් ඒ හේතු අතර අහන්න ලැබුණා.

ඔහු කාලයක් රෝහල්ගතව උන්නු බවත් ඉන් ඔහු බරපතල ලෙස අසාධ්‍යව උන්නු බවත් ආරංචි වුණා.

" ඔව්.. ඒ මම ආපුම කාලේ. මගෙ උණ්ඩුකපුච්ඡය බඩ ඇතුළෙන් පිපුරුවා. එක නර්ස් කෙනෙක් කිව්වා සියයට අසූවක් අනූවක් විතර මැරෙනවා කියලා. මගෙ වාසනාවට මම තවම ජීවත් වෙනවා. ඇඟ වේලෙන්න ගත්තා. නිය කළු වුණා. කොන්ඩෙ යන්න ගත්තා. හරියට කරවල කෑල්ලක් වගේ. අවුරුදු එක හමාරක් දෙකක් විතර මම ආපස්සට ගියා. වාසනාවට මගේ ජීවිතය බේරුණා."

ඔහුගේ කතාව අවසානයේ ඔහු පවසන්නේ තමන්ට බලාපොරොත්තුවක් නැති බවත් සිංදු ලියන්න, චිත්‍ර අඳින්න, කලාවට ඇති දැඩි ඇල්මත් එක්ක ජීවිතය ඉදිරියට ගෙන යන බවයි. ගිවන්ත කියන්නෙ එදා වගේම අදත් තරුණියන්ගේ සිත්වල ඉඩක් වෙන්කරගත් ආකර්ෂණීය අපූරු රංගන ශිල්පියෙක් වග මේ ඡායාරූප එකතුව දකින ඔබට වඩාත් පැහැදිලි වේවි.