කරන විලාසිතාවක් නිසා මම කවදාවත් අපහසුතාවයට පත් වෙලා නැහැ
සෙනාලි ෆොන්සේකා ඇයට රඟපෑමේ හැකියාව උරුම වන්නේ උපතින්ම ය නිළි රැජින මාලිනී ෆොන්සේකා මහත්මිය ආදරණීය ලොකු නැන්දා වීම ම ඇය ලැබූ ලොකුම භාග්‍යයකි. දුටුවන්ගේ නෙත් සොරා ගන්නා පියකරු ඇය සමඟ මෙවර අපි ෆැෂන් පිටුව සරසන්නෙමු.
දැන්මම ලංකාවට එන්න අදහසක් නැද්ද ?
තව මාස කීපයක් එංගලන්තේ ඉන්න වෙනවා. තාත්ති නැති වුණාට පස්සේ මෙහෙ ගෙවල් දොරවල් බලන්න එන්න බැරි වුණා .අම්මත් අසනීපෙන් ඉන්න නිසා වැඩ ටික ඉවර උන ගමන් ඉක්මනින්ම ලංකාවට යනවා.
ඔබට අවශ්‍ය ඇඳුම් පැළඳුම් එහෙමත් එංගලන්තයට ආවාම වැඩිපුර ගෙනියනවද?
ඔව්. ගොඩක් වෙලාවට ලංකාවට අලුතින් එන විලාසිතා බොහොමයක් මීට මාස ගණනාවකට පෙර එංගලන්තයේදී දක්නට ලැබීම සාමාන්‍යයි. රටවල් දෙකක හිටියත් මොන තරම් විලාසිතා නෙත ගැටුනත් හැමදාමත් මම විලාසිතා කළේ තෝරාබේරාගෙන. මට ගැළපෙන දේ පමණයි .
සාමාන්‍යයෙන් ඔබ විලාසිතාවක් කිරීමේදී මොන වගේ කරුණු ගැන ද සැලකිලිමත් වෙන්නේ?
ප්‍රධානම දේ පහසුව. මොනතරම් වටිනා විලාසිතාවක් වුණත් ඒක ඇඳන් ඉන්නේ අපහසුවෙන් නම් එවැනි විලාසිතා වලින් වැඩක් නැහැනෙ. ඒ නිසා එවැනි විලාසිතා නම් මම කීයටවත් තෝරා ගන්නේ නැහැ ....අනිත් දේ තමයි කුමන විලාසිතාවක් කරන්න ගියත් මගේ වයස හා ඇඟේ හැඩය ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා. බොහෝ විට අපි සිනහවට ලක් වෙන්නේ ඇඟේ හැඩය ගැන සැලකිල්ලක් නොදක්වා විලාසිතා කරන්න යාම නිසයි. ඒ නිසා ඒ ගැන නම් ගොඩක් සැලකිලිමත් .
පුංචි කාලෙ ඉඳලම මම මට ගැළපෙන විලාසිතා බොහෝ විට තෝරා ගත්තේ අම්ම්ගෙනුයි, තාත්තිගේ නුයි අහලා. අදටත් එයාලගේ තේරීම් වලට මම ගරු කරනවා. ඒ හැරෙන්න වටේ පිටේ ඉන්න ඔක්කොම අයගේ කමෙන්ට් වලට නම් මම එච්චර ඇහුම්කන් දෙන්නේ නැහැ. මම ආස නම් , මට ගැළපෙනවා නම් ඕනෑම විලාසිතාවක් මම කරනවා.
ඔබේ ශරීරයට වඩාත් ම ගැළපෙන විලාසිතාව?
ඔසරිය ඇන්දම කාගේත් ආදරණීය අගය කිරීමට ලක් වෙනවා. මමත් ආසම ඇඳුම ඔසරිය. ඊට අමතරව සාරිය ,දිග ගවුමත් මට ගොඩක් ගැලපෙනවා. බටහිර පන්නයට සැරසුනාමත් ඒ හැමෝගෙන්ම” වාව් ”එකක් ලැබෙනවා .
විලාසිතා කිරීමේ දී වැඩිපුර ම තෝරා ගන්නේ කුමන පාටවල්ද?
මම ආසම සුදු පාට ටයි රෝස පාටටයි. නමුත් දැන්නම් විශේෂතා නැතුව ශරීරයට ගැලපෙන ඕනෑම පාටක් අඳිනවා.
ඔබ කරන විලාසිතා අන් අයගේ අනුකරණයට ලක් වෙනවාද?
ඔව්.බොහෝ විට අහන්න ලැබෙනවා ෆොටෝශුට් වලට එහෙම අඳින ඇඳුම් වලට වගේම මම විශේෂ උත්සව වලට සකසා ගන්නා ඇඳුම් වලටත් ආදරණීය ප්රේක්ෂකයන්ගෙ ලොකු ඉල්ලුමක් තියෙනවා කියලා . ඒ විදියටම ඒ විලාසිතා කරන්න උත්සාහ කරනවා කියලා. රඟපෑම වෙනුවෙනුත් අඳින ඇඳුම් වලටත් ලොකු ඉල්ලුම් ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම විජයබා කොල්ලය, සිරිපැරකුම් චිත්‍රපටයෙ මම ඇදපු ඇඳුම් ආයිත්තම් වලට වගේම නාඩගම් කාරයෝ ටෙලි වෘතාන්තයේ මං ඇඳපු චීත්ත ගවුම් වලටත් ලොකු ඉල්ලුමක් ලැබිලා තිබුණා. වර්තමානයේ තරුණ යුවතියන් අතර චීත්ත ගවුම් වලට ලොකු කැමැත්තක් නාඩගං කාරයෝ හරහා ඇති වී තිබුණා .
ඔබ විලාසිතාවක් කිරීමේ දී යම් කෙනෙක් අනුකරණය කරන්න උත්සාහ කරනවාද?
නැහැ. කිසිම විලාසිතාවක් සියට සීයක් අනුකරණය කිරීම කිසි විටෙකත් ගැලපෙන්නෙ නැහැ. බොහෝ වෙලාවට මට ගැළපෙන විලාසිතා කර ගන්න අවශ්‍ය වුණාම මම අදටත් ඇඳුම් මෝස්තර නිර්මාණකරණයේ යෙදිලා ඉන්න අයගෙන් උපදෙස් ලබා ගන්නවා .....එවිට අපිට ගැළපෙන විදිහටම විලාසිතා කරන්න පුළුවන්.
සැබෑවටම විලාසිතාවක් කියන්නේ කුමක් විදිහට ද ඔබට දැනෙන්නේ?
කෙනෙකුට හිතෙන්න පුළුවන් ලස්සනට අඳින එක,පාට ගලපන එක, විවිධ ඇඳුම් අදින එක විලාසිතාවක් කියලා. නමුත් මම පෞද්ගලිකව හිතනවා විලාසිතාවක් කියන්නේ තමන් කවුද කියලා දැනගෙන ප්‍රවේශමෙන් තෝරා බේරා ගෙන තමන්ගේ පෞරුෂත්වයට ගැලපෙන විදියට කළ යුතු දෙයක් කියලා.එහෙම නොවුනොත් අපි නිතැතින්ම සිනාවට ලක්වෙනවා.
විලාසිතාවකින් කෙනෙකුව මනින්න පුළුවන්ද?
බැහැ .උදාහරණයක් විදිහට රංගන ශිල්පිනියක් ගත්තොත් ඇයට ඇය නියැලෙන වෘත්තියේ ස්වභාවය අනුව විවිධ විලාසිතා කරන්න සිද්ධ වෙනවා. එවැනි අවස්ථාවක අඳින ඇඳුමෙන්ම කෙනෙක්ව මැනීම ලොකු අසාධාරණයක්. කොටට ඇඳුමක් ඇන්ඳ පලියට, ශරීරය පේන්න ඇඳුමක් ඇන්ද පලියට අපිට ඇයව නරක කෙනෙක් කියලා හංවඩු ගහන්න බැහැ. මම හිතන්නේ කෙනෙක්ව අපිට නිවැරදිව මැනිය හැක්කේ විලාසිතාවලින් නොවෙයි . ගතිගුණ වලින්.
ඔබ කරන විලාසිතා වලට ගැලපීම සිද්ධ කරන්නේ කොහොමද?
එය සහභාගි වන තැන අනුව සහ මුඞ් එක අනුව වෙනස් වෙනවා .මේ කාලවල දී නම් ගැළපීම් ගැන ලොකුවට හිතන්නේ නැහැ .මොකද නොගැලපීම් ගොඩක් එකතු වුණාමත් ලස්සන විලාසිතාවක් නිර්මාණය වෙන නිසා. සමහර වෙලාවට අඳින ඇඳුමට වටිනාකමක් දෙන්න කොණ්ඩය සකසා ගැනීම, මේකප් එකගැලපෙන විදිහට දාගන්න මම පුරුදු වෙලා ඉන්නවා. සාමාන්‍ය ගමනකදී නම් මම මේකප් කරන්න, ජුවලරි පලඳින්න කැමති කෙනෙක් නොවෙයි.
ගැලපෙන විදිහට විලාසිතාවක් කරහම හිතට මොකක්ද දැනෙන්නේ?
ප්‍රධානම දේ හිතේ හැටියට ලස්සනට සැරසිලා කන්නාඩියක් ඉස්සරහට ගියාම ඉස්සරවෙලාම හිතට ලොකු සතුටක් වගේම තමන්ට තමන් ගැන ලොකු ආදරයකුත් දැනෙනවා .ලස්සන හදවතින්ම විඳිනවා .ඊට අමතරව ආත්ම ශක්තියකුත් , ආත්ම විශ්වාසය කුත් හිතට දැනෙනවා ගැලපෙන විදිහට විලාසිතාවක් කරහම.
පුංචි කාලෙදි විලාසිතා කරපු විදිහ මතකයේ තියෙන්නෙ කොයි විදිහටද?
අම්මි හැම වෙලාව දීම මාව ලස්සනටම අන්දවාගෙන එක්ක ගිය බව නම් මතකයි. ඊට අමතරව පුංචි කාලයේදී ලොකු නැන්දි (මාලිනී ෆොන්සේකා) විලාසිතා කරන විදිහට.ඇය අඳින ලස්සන ලස්සන ඇඳුම්, සාරි ,ජුවලරි, සපත්තු , ඇඳ පැලඳගෙන උස අඩි සපත්තු දාගෙන මමත් නිතරම හැඩ බලනවා. ඊට අමතරව ඉස්සර මගේ අම්මා රූපලාවන්යාගරයක් කරපු කෙනෙක්. ඇය අතින් නිතරම වගේ මනාළියන් හැඩගැන්වුණා. මමත් පුංචි කාලයේදී ඒ බඩු අරං මේකප් කරගෙන පුංචි වේල් කෑලි ඔළුවේ දාගෙන උස අඩි සපත්තු දාලා කණ්නාඩිය ඉස්සරහට වෙලා හැඩ බල බල ඉන්න විදිහ අදටත් මතකයි ..
විලාසිතා කිරීමේ කිරීමේදී අම්මගෙනුයි තාත්තාගෙනුයි පුංචි පුංචි තහංචි එහෙම වැටිලා නැද්ද?
පුංචි කාලේ ඉඳලම මම මට ගැළපෙන විලාසිතා කරන්න පුරුදු වෙලා හිටපු නිසා ලොකුවට නං ගෙදරින් තහංචි වැටිලා නැහැ. නමුත් ගොඩක් කොටට විලාසිතාවක් කලොත් දුව ඔය මොකක්ද ඇඳන් ඉන්නේ කියලා නං තාත්ති අහන වෙලාවල් තිබුණා.කොහොමටත් මම වයස අවුරුදු පහළොවේ දාසයෙ ඉඳලා අද වෙනකන්ම කරන විලාසිතා ඇඳුම් අම්මගෙන් අහලා තමයි කරන්නෙ. ඒක මට ගැලපෙනවද නැද්ද කියලා අම්මා තමයි මට මුලින්ම කියන්නේ . කරන විලාසිතාවක් නිසා මම කවදාවත් අපහසුතාවයට පත් වෙලා නැහැ. විලාසිතාවක් කියන්නේ අපේ පෙනුම වැඩි කරන දෙයක්. ඒ නිසා විලාසිතාවක් කරලා කාගෙවත් හිනාවට ලක් විය යුතු නැහැයි කියන එක මම නිතරම හිතනවා.
අසුන්තා එදිරිසූරිය / ඡායාරූප - සජීව ලක්ෂාන්