කොයි වෙලාවකවත් රංගනයට සමු දෙන්න තීරණයක් තිබුණෙත් නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පුංචි තිරයෙන්, සිනමාවෙන් ඇයගේ රංගන දායකත්වය පිළිබඳ කතා කරන්නට අටුවාටිකා අවශ්‍ය වන්නේ නැහැ. මන්ද ඇය තෝරා බේරා ගෙන රංගනයන්ට දායක වුවත් ඕනෑම චරිතයකින් ප්‍රේක්ෂකයා ඇද බැඳ ගන්නට ඇය සමත් වුණා. ඇය රංගන ශිල්පිනී අනුරුද්ධිකා පාදුක්කගේ. මේ දිනවල හිරු TV ඔස්සේ විකාශනය වන ‘අකුරට යන වෙලාවේ’ ටෙලි නාට්‍ය තුළින් ඔබ හමුවට එන ඇයගේ ඉදිරි කලා කටයුතු පිළිබඳවත් කතා කරන්නට අනුරුද්ධිකාව කතාබහකට එකතු කර ගත්තා.

අනුරුද්ධිකාව පුංචි තිරයෙන් දකින්නේ කාලෙකට පස්සේ දෝ කියලා හිතෙනවා.

ඇත්තටම පහුගිය කාලේ වැඩ කළේ බොහොම අඩුවෙන්. ඒ වගේම මම දීර්ඝ ටෙලි නාට්‍යවල වැඩ කරේම නැහැ. ඒත් මම ටෙලි චිත්‍රපට පෝය නාට්‍යවලට නම් දායක වුණා. ඔය අතරේ තමයි අකුරට යන වෙලාවේ ටෙලි නාට්‍යයට ආරාධනා ලැබෙන්නේ.

මේ දිනවල විකාශනය වන අකුරට යන වෙලාවේ ටෙලි නාට්‍යයේ මැණිකාගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මම මේ තාක් රඟපෑ චරිතවලට ලැබුණු ප්‍රතිචාර වගේම හොඳ ප්‍රතිචාරයක් රුවන්ගේ මව මැණිකාගේ චරිතයටත් ලැබෙනවා. කොහොමත් මම අම්මාවරුන්ගේ චරිතවලට කැමැතියි. ඒ චරිත රඟපානකොට මට මගේ පුතාලා දෙන්නම නිතරම මතක් වෙනවා. හැබැයි මම එකම චරිතයකට කොටු වෙන්න කැමැති නැහැ. විවිධ චරිත රඟපාන්න මම ගොඩක් කැමැතියි.

මෙතනදී මැණිකා කියන මව මට හරි විශේෂයි. මැණිකා කියන්නේ ද්‍රරිද්‍රතාවයෙන් පෙලෙන පවුලක පවුලේ ආර්ථික හයියට ශක්තියක් වෙන්න ලණු අඹරලා මුදලක් හොයාගන්න උත්සාහ කරන කරුණාවන්ත මවකගේ චරිතයක්. ඇය සියලු දුක් දරාගෙන දරුවන්ට හොඳට උගන්වන්න දඟලන මවක්. මව්වරුන්ගේ චරිත අතර මැණිකා කියන්නේ මම බොහොම ආසාවෙන් කරන චරිතයක්.
පුංචි තිරයෙන් එක දිගට දකින නිසා ගොඩක් ප්‍රතිචාරත් මැණිකාට ලැබෙනවා.

ඔබ නිර්මාණ තෝරා ගැනීමේ දී පිටපත ගැන ගොඩක් හිතන කෙනෙක්. අකුරට යන වෙලාවේ තෝර ගන්න විශේෂ හේතුවක් තිබුණ ද?

මම දීර්ඝ කාලයක් තිස්සේ හිරු නාලිකාවේ පෝය ටෙලි නාට්‍ය, ඒකාංගික ටෙලි නාට්‍ය, ටෙලි චිත්‍රපට රැසකට දායක වෙලා තියෙනවා. එතනදී තමයි සුදත් දේවප්‍රියගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ අකුරට යන වෙලාවේ ටෙලි නාට්‍යයට ආරාධනා ලැබුණේ. විශේෂයෙන් මම මේ නිර්මාණයට දායක වෙන්න විශේෂම හේතුව වුණේ අඹ යාළුවෝ අධ්‍යක්ෂණය කරපු සුදත් දේවප්‍රිය මහත්මාගේම නිර්මාණයක් නිසා. අඹ යාළුවෝ කියන්නෙත් එක යුගයක් ප්‍රේක්ෂකයන්ව වශී කරවපු නිර්මාණයක්. මේ නිර්මාණයත් ඒ හා සමානම ගුණාත්මක බවකින් යුක්තව ඇති කියලා මම හිතුවා.

කොහොම වුණත් අනුරුද්ධිකා කියන්නේ කැමරාව ඉදිරියේ ඉඳහිට දකින කෙනෙක් කිව්වොත් පිළිගන්නව ද?

ඔව්, මම ඒක පිළිගන්නවා. ඇත්තටම දැන් හොඳ නිර්මාණ බිහිවෙනවා ගොඩක් අඩුයි. මම රඟපාන්න ආරම්භ කරපු දා පටන්ම මම උත්සාහ කළේ හොඳ පිටපත්, හොඳ අධ්‍යක්ෂවරුන් යටතේ වැඩ කරන්න.

දීර්ඝව ඇදෙන ටෙලි නාට්‍යවලට මම කොහොමත් සම්බන්ධ වුණේ නැහැ මුලදී. දීර්ඝ නාට්‍ය ප්‍රතික්ෂේප කලා නෙවෙයි. දුවන ගමන් ලියන පිටපත්වලට රඟපාන්න මම කැමැති නැහැ.

අනිත් කාරණය දීර්ඝ නාට්‍යවලට දායක වෙන්න මුල් කාලේ ඒ වෙනුවෙන් ලොකු කාලයක් කැප කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මොකද මගේ පුතාලා දෙන්නා ගොඩක්ම පුංචි නිසා ඒ වෙනුවෙන් ලොකු කාලයක් වෙන් කරන්න සිද්ධ වුණා. 

කාලයක් ඔබ රංගනයෙන් සමු අරන් කියලත් රාවයක් පැතිරුණා

අනේ නැහැ. කොයි වෙලාවකවත් රංගනයට සමු දෙන්න තීරණයක් තිබුණෙත් නැහැ. රංගනයට සමුදීලා හිටියෙත් නැහැ. වැඩිය පේන්න නැති නිසා සමහර අය මගෙනුත් අහලා තියෙනවා. ඇත්තටම රංගන කටයුතු සීමා කරන්න වුණේ මගේ පුතාලා දෙන්න නිසා. විවාහ වුණාම ඉතින් වගකීම් ගොඩක් පැවරෙනවනේ. අංක එක පවුලට දෙන්න ඕන. මම රඟපානවා කියලා පවුලේ වගකීම් අතපසු කරන්න බෑනේ. දැන් නම් පුතාලා දෙන්නා ටිකක් ලොකුයි. ඒ නිසා කලා වැඩවලට වැටුන සීමා ටිකක් ලිහිල් වෙලා තියෙනවා. 

සිනමා ජීවිතේ ගැන කතා කළොත් ?

සම්මාන පවා මට ලැබුණේ සිනමාව නිසා. ප්‍රභාකරන්, ගාමිණි වගේ යුද්ධය තේමා කරගත් චිත්‍රපට වගේම ටෙලි නාට්‍ය කිහිපයකත් මට රඟපාන්න අවස්ථාව ලැබුණා. මගේ කලා ජීවිතේට ප්‍රභාකරන්, ගාමිණි චිත්‍රපට ගොඩක් විශේෂ වූ නිර්මාණ.
අදටත් මගේ වැඩි කැමැත්ත තියෙන්නේ සිනමාවට.

ඒ කාලේ දමිළ චරිතවලට ඔබ නැතුවම බැරි කෙනෙක් වුණා!

ඇත්තටම ඔව්, සිනමාවෙන් ටෙලි නාට්‍යවලත් දමිළ චරිත ගොඩක් මට නිරූපනය කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. එක කාලයක් තිබුණා මට ආරාධනා ලැබුණෙම දමිළ යුවතියන්ගේ චරිතවලට.

ඉදිරියට අපිට අනුරුද්ධිකාව දිගටම පුංචි තිරයේ දකින්න ලැබේවි ද?

අකුරට යන වෙලාවේ කියන ටෙලි නාට්‍ය තමයි මම රඟපාන පළමු දීර්ඝ ටෙලි නාට්‍ය. දිර්ඝ වුණාට මේකේ පිටපත අවසන් කරලා තිබුණා. අනිත් එක මේකේ කතා කරන්නේ පහේ ශිෂ්‍යත්ව කඩ ඉමට මූණ දෙන දරුවන් මූණ දෙන දේවල්. මම අනිත් එක දරුවෝ එක්ක වැඩ කරන්න හරිම ආසයි. මේකෙන් පස්සේ තවත් දීර්ඝ ටෙලි නාට්‍යයකට යන්න නම් තාම බලාපොරොත්තුවක් නැහැ.

කොහොම ද ජීවිතේ ?

ජීවිතේ සාමාන්‍ය විදිහට ගෙවී ගෙන යනවා. පුතාලා දෙන්නා දැන් ලොකුයි. ලොකු පුතා දැන් 7 ශ්‍රේණියේ පොඩි පුතා 4 ශ්‍රේණියේ ඉගෙන ගන්නවා. ඉසිපතන විද්‍යාලයේ ඒ දෙන්නම ඉගෙන ගන්නේ. එයලා වෙනුවෙන් තමයි ලොකු කාලයක් කැප කරන්නේ.

රංගන ජීවිතේට සැමියාගෙන් ලැබෙන සහය කොහොම ද?

ඇත්තටම මගේ රංගන ජීවිතේ සාර්ථකත්වයට මගේ පිටුපස ඉන්න ශක්තිය තමයි මගේ සැමියා. දරුවන්ගේ වැඩවලට මගේ කලා වැඩවලට සහය දෙන්න පුළුවන් උපරිමයෙන් ඔහු මට උදව් කරනවා. නිර්මාණවල අඩු පාඩුවක් තිබුණත් එයා පෙන්නලා දෙනවා. රංගනයට කවදාවත් තහංචි දාලා නැහැ. මම කොහොමත් අඩුවෙන් තෝර බේරා ගෙන වැඩ කරන නිසා ගැටලු නැහැ.

නදීශා අතුකෝරළ