කදිර දිව්‍යරාජ චිත්‍රපටයේ වල්ලිට පණ පොවන සොනක්ෂි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තවත් නොබෝ දිනකින් ප්‍රදර්ශනය කිරීමට නියමිත සුනිල් ආරියරත්න ශූරින්ගේ කදිර දිව්‍යරාජ චිත්‍රපටයේ වල්ලි කුමරියට පණ පොවන දකුණු ඉන්දීය සිනමා නිළි සොනක්ෂි සිං රාවත් කෙරෙහි මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව පවති.

මුම්බායි හි උපත ලද සොනක්ෂි උසස් අධ්‍යාපනය ලැබුවේ රිතම්බ්‍රා විද්‍යාලයෙන් වන අතර, පසුව ඇය නිරූපණයට සම්බන්ධව විය. රංගනයට ඇති කැමැත්ත නිසාම ඇය මුම්බායි හි රංගන පාඨමාලාවක්ද පසුව හදාරනු ලැබීය. කෙසේ වෙතත්, සොනක්ෂිගේ කලා ජිවීතය වෙනස් කරනු ලැබුවේ 2018 වසරේ පැවති කලර්ස් ෆෙමිනා මිස් ඉන්ඩියා තරගයට රාජස්ථානය නියෝජනය කරමින් සහභාගී වීමත් සමගය. විශාල තරගකාරියන් පිරිසක් සහභාගි වූ මෙම තරගයේදී ඇය මිස් ඉන්ඩියා වෙස්ට් ලෙස කිරූළ දිනා ගන්නටද සමත් විය. එය ඇයගේ ජිවීතේ ලැබු සුවිශේෂි කඩඉම් අතරින් එකක්ද විය.

සෝනක්ෂි මුලින්ම සම්බන්ධ වූයේ දකුණු ඉන්දීය චිත්‍රපට සඳහාය. 2018 වසරේදී ඇය රංගනයෙන් දායක වූ ශිව ගංගාධර් විසින් අධ්‍යක්ෂණය කරන ලද නා ලව් ස්ටෝරි තෙළිඟු චිත්‍රපටය හරහා ඇය විශාල ජනප්‍රියත්වයක් හිමි කර ගැනීමට සමත් වූවාය. එය ඇයගේ පළමු සිනමා රංගනයද වීම විශේෂත්වයකි. ඉන් පසුව දකුණු ඉන්දීය චිත්‍රපට හා ටෙලි නාට්‍යය කිහිපයකටද සම්බන්ධ වූ ඇයව තවත් නුදුරු දිනකයකදී ශ්‍රී ලංකාවේ සිනමා ශාලාවලදිද දැකගත හැකිය. ඒ සුනිල් ආරියරත්න ශූරින් අධ්‍යක්ෂණය කළ කදිර දිව්‍යරාජ චිත්‍රපටයේ වල්ලි කුමරිය ලෙසිනි.

ඉන්දියාවේ ඉහළ ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටින සන්සිල්ක්, රෙක්සෝනා හා ලොරිල් සුවද සබන් ආලේපන සඳහා නිර්මාණය වූ වෙළෙඳ දැන්වීම් ගණනාවක් සඳහාද සොනක්ෂි පෙනී සිට ඇත. එමෙන්ම පසුගිය වසරේ ඇය මාර්තු මාසයේදී 'මි බෙලා' නම් ගීත රූප රචනාවක් සඳහාද රංගනයෙන් දායක විය. එය පසුගිය වසරේ බොහෝ දෙනෙකු අතර, ජනප්‍රිය වූ ගීත රූප රචනාවක්ද වීම කැපී පෙනෙන්නකි.

නිතරම අභියෝගවලට මුහුණ දෙන්නට කැමති සොනක්ෂි වෙහෙස මහන්සි වී වැඩ කරන්නේ නම්, තමන්ට ජිවිතයේ අවශ්‍ය ඉලක්කය යා හැකි බවත් එය කිසිවෙකුටත් නතර කළ නොහැකි බවත් තරයේ විශ්වාස කරන්නීය. එමෙන්ම සිහින දැකීමෙන් සහ ඒ සිහින සඵල කර ගැනීඹට වෙහෙස මහන්සි වී වැඩ කරන්නේ නම් ජිවිතයේ අමාරු ඉලක්ක වලටද ඉතා පහසුවෙන් ළඟා විය හැකි බව ඇයගේ මතයයි.

බුද්ධික සේනාධීර